ආදරණීය පුතා වෙත,
ඔබ නැතිව දැන් මාස ගණනක් ගත වුණා. කිසිවෙක් නොමැතිව තනිව ගෙවෙන ජීවිතය මට දැන් වෙහෙසකරයි. උඹේ අක්කා පහුගිය දවසක ඇවිත් මාව බලලා ගියා. කෙල්ල මට යන්න කතා කලත් මම මගේ ගෙදර දාලා කොහේ යන්නද? මම ඉපදුන තැනම මැරෙන්නත් ඕන. උඹ අවුරුදු 5ක් හිරේ ඉඳලා නිදහස් වෙලා එනකං මට ඉන්න තිබුනොත් ඇති. අනේ පුතේ උඹ නැතුව මම මේ වැඩ තනියම කරන්නේ කොහොමද ? දැන් පස් පෙරළලා අර්තාපල් බීජ හිටවන්න කියාපු කාලේ. උඹ නැතුව නාකි මට විතරක් මේ දේවල් තනියම කරන්න පුළුවන්කමක් නැහැ දැන්. මට මතක් වෙනවා ඒ කාලේ අපේ පවුල කොයි තරම් සතුටින්ද හිටියේ...? අම්මා ඉන්න කාලේ අක්කයි උඹයි මමයි අම්මයි මේ අර්තාපල් යාය එක වීරියට වගා කරපු හැටි මට මැවිලා පේනවා. ඒ කාලේ මෙහෙම දුකක් අපිට උරුමයි කියලා හීනෙකින්වත් හිතුවද? ඒවා එහෙම තමයි. ඒත් උඹ දැන් ජීවිතේ පාඩමක් ඉගෙන ගනින්. අර්තාපල් හිටවිල්ල ඔහොම්ම නතර උනාවේ. උඹ හිරේ ඉඳලා ආපු කාලෙක මේවා බලා කියා ගනින්. උඹට දෙවි පිහිටයි...!
තාත්තා
ලිපිය යවා දින ගණනාවක් ගත වූ පසුව පියාට පුතුගෙන් පිළිතුරු ලිපියක් ලැබුණි. එහි මෙසේ සඳහන් විය.
ආදරණිය තාත්තේ ..,
තාත්තාගේ ලිපිය ලැබුණා. මම කරපු වැරදි ගැන අනේක වාරයක් දුක් වෙනවා. මං ආයේ කිසිම අපරාධයකට හවුල් වෙන්නේ නැහැ. දෙවියම්පා... ඒත් තාත්තේ මට බයක් තියෙනවා. මම මංකොල්ලේට පාවිච්චි කරපු ආයුධ වගයක් අපේ අර්තාපල් ඉඩමේ මං හැංගුවා. වැරදිලාවත් ඒක අහු උනොතින් මට තවත් අමතර අවුරුදු 5ක් හිරේට යන්න වෙනවා. කොහොමහරි දැන්ම ඒක හොයාගන්න. ඉඩම පෙරලලා හරි ඒක හොයාගෙන විනාස කරලා දාන්න. දැනට නවතින්නම්. මේ ලියුම මම එවන්නේ රහසිගත විදිහකට. මේක කියවලා ඉක්මනින්ම පුච්චලා දමන්න.
එයින් මාස දෙකක් පමණ ගත වූ තැන නැවතත් සිපිරිගෙයි සිටින පුතුට පියාගෙන් ලිපියක් ලැබෙන්නේය.
ආදරණිය පුතා වෙත,
පුතේ මම මුළු ඉඩමම ආයේ පෙරළුවා. කණ පිට ගැහුවා. ඒත් කිසිම දෙයක් හොයාගන්න මට බැරි උනා. ඒත් මං ආයෙත් පෙරලපු පස් යට අර්තාපල් බීජ යට කළා. මට ආයෙත් අතීතෙට ගියා වගේ දැනුනා. කවුරුවත් නැති උනත් මගේ ඇඟේ හයිය තවම තියෙනවා. මට තේරෙනවා උඹ කරපු බොරුව. උඹ කොහොමත් මගේ පුංචි කපටියා නොවැ. උඹ දන්නවා පුතෙක් වෙනුවෙන් තාත්තෙක්ට කරන්න බැරි දෙයක් නැති බව. ඉතිං උඹේ බොරුවට රැවටිලා මං මුළු ඉඩමම පෙරළුවා. උඹට ඕන උනේ ආයෙත් මං ලවාම වගාව හිටවන්න බව මං දන්නවා. උඹට දෙවි පිහිටයි. උඹ එනකං මං වගාව කරනවා. දෙයියන්ගේ පිහිටෙන් මට ඒ හයිය තවම තියෙනවා. උඹට පිං මට ඒක දැනෙන්න දුන්නට.....
තාත්තා
(ඔබ කොහේ කොතැන සිටියත්, අනෙකාව දිරිමත් කිරීමට, වැටෙන්නට නොදී තනිව නැගී සිටීමට ශක්තිය දීමට ඕනෑ තරම් ක්‍රම ඇත. අවශ්‍ය වන්නේ ඒ වෙනුවෙන් සංවේදී වීම පමණයි....)
_අයේෂ් ලියනගේ_
(විදෙස් කතාවක් ඇසුරින් පරිවර්තනය කළෙමි)
_අයේෂ් ලියනගේ_
(විදෙස් කතාවක් ඇසුරින් පරිවර්තනය කළෙමි)
No comments:
Post a Comment