"ඇගේ ඇස අග" සිනමාපටය හුදෙක් ස්ත්‍රීත්වය පිළිබඳව වූ නිර්මාණාත්මක ස්පර්ශයක්ද? නැත. එය තුළ ස්ත්‍රීත්වයේ පිළිබිඹුවක් තිබෙන නමුත් එය ස්ත්‍රීත්වයට අර්ථකථනයක් සැපයීම පමණක් අරමුණු කළේය යන්න විශ්වාස කළ නොහැක. ඒ තුළ මානවීය ගුණයක් ඇතැයි මම සිතමි. ඊර්ෂ්‍යාව,අයිතිකරගැනීම,වෙන්වීම වැනි මානවීය ගැටුම් අතරේ දෝලනය වන්නාවූ සිතුවිලි අතරින් අනෙකාට කරුණාබරිත වන්නේ කෙසේද කියා ඇගේ ඇස අග ප්‍රේක්ෂකාගාරයට යම් ඉඟියක් සපයයි.
මහාචාර්යවරයාගේ බිරිඳ (ස්වර්ණා මල්ලවාරච්චිගේ) චරිතය තුළ මා දකිනුයේ උපේක්ෂාව උගනින මනුෂ්‍ය ජීවිතයකි. ඇය තුළද ඊර්ෂ්‍යාව, තණ්හාව ආදී වූ ක්ලේෂයන් පවතින නමුත් ඇය ඇය තුළින්ම සිය ආවේගයන් පාලනය කරනා ගැහැනියකි. එවන් චරිත ඉතා ශුද්‍ර වශයෙන් අප සමාජයේ සිටී. අධ්‍යක්ෂවරයා මෙවර සිය නිර්මාණයට කිසියම් ආගමික මුහුණුවරක් ගෙන එන්නේ ඔහුගේ පෙර නිර්මාණ වල වූ තේමාවන්ට වඩා වෙනස් ආකාරයකින් යැයි සිතෙන තරමට ඔහු ඒ තුළට කිඳා බැස ඇති බවක් දිස්වෙයි. අධ්‍යක්ෂවරයෙක් යනු අත්දැකීම් සහ මුහුකුරයාම සමග පරිණත වන්නෙක් බව හඳගමයන් ප්‍රත්‍යක්ෂ කර ඇතැයි මට සිතේ.
සියලු ක්ලේශාත්මක ආවේගයන් පරයා කරුණාව මතුකිරීම තුළ ජීවිතයේ සරල සැහැල්ලු බව අත්විඳින්නේ කෙසේද යන්න පිළිබඳව එකී චරිත තතු සපයයි. ගැහැනියකගේ ඉවසීමේ සීමාවන් ඉක්මවා යන අවස්ථාවන් අතර සිය ස්වාමියා තවත් ගැහැනියක සමග නිදි වැදීම අයත් වන්නේ ඉවසීමේ උපරිමය විය යුතුය. එකී උපරිමය තුළදී සිය සීමාව කුමක්දැයි පෘථග්ජන ගැහැනියකට සිහිඑලවා ගැනීම අතිශය අපහසුය. එය පුද්ගල මානසික මට්ටම් හා සමපාත වූ දෙයකි. ඉන් ඔබ්බට ගොස් ජීවිතය දෙස වෙනස් කෝණයකින් බැලුම් හෙලීමට ගන්නා උත්සාහය "ඇගේ ඇස අගින්" අපි දුටිමු.
ජීවිතයේ වූ ඒකාකාරිත්වය සිනමා රූපය තුළට අධ්‍යක්ෂවරයා ගෙන එන්නේ ප්‍රේක්ෂකයාට ඒකාකාරී නොවූ නමුත් ඒකාකාරී සිනමා සම්පිණ්ඩනයකිනි. ඒ ඒ මොහොතේ තුළ සිදුවන වෙනස්වීම් සියුම් ලෙස අවස්ථානුකුලව නිරූපනයකොට ඇති අයුරු සාදනීය වේ. එම වෙනස්වීම් එදිනෙදා ජීවිතයේ සිදුවන හැලහැප්පීම් සමග සහසම්බන්ධ වන ලෙස නිරූපනය කළ අයුරු සිනමාත්මකය.
පුරුෂයෙකුගේ ජීවිතයේ ජීවිත අපේක්ෂාවන් සහ ආශාවන් වියපත් වීමත් සමග ස්වයං පාලනයකට යටත් කරගන්නා ආකාරය මැනැවින් නිරූපිතය. ස්වාමිපුරුෂයෙක් තුළ වුව පියෙකු තුළ වුව ජීවත්වන පිරිමියාගේ යථා ස්වභාවය යනු වයසත් සමග වියපත් වන්නක් නොවේය යන්න අධ්‍යක්ෂවරයා මතු කරන්නට උත්සාහ දරන්නේදැයි විටෙක සිතෙන තරම්ය. නමුත් හදවත හා බුද්ධිය අතර වූ ගැටුමේ ජය බුද්ධියට ජය ගැනීමට අධ්‍යක්ෂවරයා ඉඩ ලබාදේ. එය යථාර්තයම නොවුනත් බුද්ධියට කළ ගෞරවයක් වන්නට ඇතැයි අපි සිතමු.
මවක්,දියණියක්,තරුණියක් සහ පුරුෂයෙක් යන සීමිත චරිත ප්‍රමාණය අතර දෝලනය වන නිර්මාණයේ ඇතුලත කියැවෙන කතාව හුදෙක් ස්ත්‍රිය අරමුණු කරගත් යමක් නොවේයැයි කියා අපට දනවන්නේ එහි සමස්ථයේ වූ ආගමික නැඹුරුවයි. කෙසේ හෝ ස්ත්‍රිය මූලිකකොටගත් මානවීය හැඩතලයකින් සිනමාපටයේ අවසානය සිදුවේ. කවදත් සේම ස්වර්ණා මල්ලවාරච්චි රංගවේදිනියගේ රංගනය නිර්මාණය පුරා ආලෝකයක් ලෙස විසිරි පැතිරී යයි. නවක රංගන ශිල්පිනියක ලෙස රිතිකා අභියෝගාත්මක රංගනයක නියැලේ. එය පැසසිය යුත්තකි. ස්වර්ණා වැනි රංගන ශිල්පිනියන් ඇසුරෙන් ඇය තවත් හැදෑරිය යුතු දෑ බොහෝය. මහාචාර්යවරයාගේ චරිතයට කලින් තීරණය කළ ලෙසට ධර්මසිරි බණ්ඩාරනායක රංගවේදියා යොදාගත්තේනම් තවත් නිර්මාණයට ආලෝකයක් නොවේදැයි අනේක වාරයක් නොසිතුනා නොවේ. එය පෞද්ගලික හැඟීමක් පමණි.
කෙසේ වෙතත් සීමිත දින ගණනකට සිනමා ශාලාවට ඇවිත් යන්න පැමිණි "ඇගේ ඇස අග" තවත් දික් වුවානම් කොතරම් වටිනේද? එසේ වූවානම් ඇගේ ඇස අගින් සුවහසක් ප්‍රේක්ෂක සිත් අගට එය හෙමි හෙමින් කාන්දු වන්නට ඉඩ තිබුණි.
___අයේෂ් ඩිෂාන් ලියනගේ___
Sunday, May 29, 2016
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment