අද උදේ රාජගිරිය හන්දියේදී 176 බස් එකට නැග්ගේ වයලීනයක් අතින් ගත්ත මැදි වියත් ඉක්මවූ මනුස්සයෙක්. මම ඉඳපු ආසනයට බර දීලා ඒ මනුස්සයා වයලීනය දිග ඇරලා ඔහු තේමා වාදනයක් ඉදිරිපත් කරන්න යන බව මගීන්ට කියා සිටියා. බස් රථවල ගීත ගායනා කරන මිනිස්සුන්ගේ සමහර ඒකාකාරී ගායනා හැමදාම බස්වලදී අහන්න සිද්ධ වුනත් වාදන භාණ්ඩයකින් එන තේමා වාදනයක් අහන්න ලැබෙන්නේ ඉතාම කලාතුරකින්. ඒත් මේ මනුස්සයගෙන් රසවිඳින්න පුළුවන් විදිහේ වාදනයක් අහන්න වෙයි කියලා මට ලොකු අදහසක් හිතට ආවේ නෑ. මම කවුළුවෙන් එළිය බලාගෙන හිටියා. ඔහු වාදනය කළේ සුනිල් එදිරිසිංහයන්ගේ ගීතයක්.ඒ ස්වර තාලවලට මම හොඳින් කන් දුන්නා. ඇත්තටම හිතුවාට වඩා රහක් ඒ වාදනයේ තිබුණා.
ඉබේටම වගේ ඔහු ගැන හිතේ ඇතිවුණේ පැහැදිලි හැඟීමක්. මම හිතන්න වුණා ඔහුට තිබෙන හැකියාව ගැන. ඒ හැකියාව බස් රථවල නිකරුනේ දියවෙලා යනවාදැයි කියා මට හැඟෙන්න වුණා. සුනිල් එදිරිසිංහයන්ගේ සංගීත ප්‍රසංගයක වයලින් වාදනය කරන ශිල්පියෙකුගෙයි මේ ශිල්පියාගෙයි ඇති වෙනස මට දැනෙන්න වුණා. ඒ පරතරය ගැන සිතන්න ගත්තා. රාජගිරියේ ට්‍රැෆික් එකේ ගතවුණු කාලය දැනුනේ නැති තරම්. ප්‍රයිවට් බස් එකක කසිකබල් සිංදුවක් අහගෙන ට්‍රැෆික් එකේ හිරවෙලා ඉද්දි දැනෙන කර්කශබවට වඩා මෙය කොයි තරම් වටිනවාදැයි කියා බස් රථයේ ඉඳපු බහුතරයකට දැනෙන්න ඇතැයි කියා මට හිතෙනවා.බස් රථයේ සිටි බොහෝ දෙනෙකුගේ මුහුණෙන් පෙනුණේ එවැනි ප්‍රසන්න ආකල්පයක සේයාවක්.
මගේ අත පර්ස් එකට ගියා. යම් මුදලක් අතට ගත්තා. මෙහෙම මනුස්සයෙක්ට කීයක්වත් නොදී අහක බලන් ඉන්න හිතෙන් ඉඩක් නැති බව දැනෙන්න වුණා. ඔහුගේ වාදනය අවසන් වුණා. බස් රථයක ආධාරයක් නැතිව වයලීනය වාදනය අපහසු බවත් යම් අඩුපාඩුවක් සිදුවුණානම් සමාවන ලෙසත් ඔහු ඉල්ලා සිටියා.
අනතුරුව ඔහු තවත් තේමා වාදනයක් වයන්න වුණා. ඒකත් සුනිල් එදිරිසිංහයන්ගේම ගීයක්. 'පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ළඳුන්'. පෙර වැයූ ගීයටත් වඩා හෘද සංවේදී ලෙසින් එය වාදනය වුණා. කිසිම ආධාරකයක් නැතිව බස් රථයේ ආසනයකට පමණක් බරදීගෙන බ්රේක් පාරවල් ඉවසමින් ඔහු එය වාදනය කළා. මම අතට ගත්ත මුදල නැවත පර්ස් එකට දැම්මා. මගේ අතේ තිබුණු මුදල ඔහුට දුනන්නම් ඒක ඒ හැකියාවට කරන මදිකමක් කියලා මට හිතුණා. ඊට වැඩි ගාණක් මම අතට ගත්තා. සංගීත සංදර්ශනේකදී වගේ one more කියන්න හිතුනේ මට විතරද කියන්න මම දන්නේ නෑ. ඒත් ඔහුට තවත් බස් රථයකට ගොඩ වදින්න,කීයක් හරි තව හොයාගන්න එතැනින් නික්මෙන්න අවශ්‍ය වුණු බව තේරුණා. ඔහුගේ වාදනයට අසන්නෝ සාධාරණයක් කළා කියලා මට හිතුනේ හැම මනුස්සයෙක්ම වගේ තමන්ට ඇති හැකි විදිහට මේ ශිල්පියාට කීයක් හරි දුන්න නිසා. එය සතුටට කාරණාවක්. වයලීනය පෙට්ටියේ දාගෙන ඒ ලැබුණු මුදලත් අරන් ඒ මනුස්සයා බස් එකෙන් බැහැලා ගියා. බස් එක එතකොටත් රාජගිරිය ආයුර්වේද හංදියේ ට්‍රැෆික් එකේ.
අපි යූ ටියුබ් ගිහින් කැමති කැමති සිංදු අහන්න,මියුසික් අහන්න සිය දාස් ගණනින් ඩේටා කාර්ඩ්වලට සල්ලි වියදම් කරනවා. indoor සංගීත සංදර්ශන අහන්න ටිකට් වලට විය පැහැදම් කරනවා. ඒ හැමදේමත් කරන්නේත් කන පිනවන්න. හිතට යම් සහනයක් ගන්න. මේ ශිල්පියාගෙන් ලැබුණෙත් ඒකමයි. ඉතිං ඒ වගේ ශිල්පියෙක්ගේ හැකියාවට යම් සාධාරණයක් සිද්ධ විය යුතුයි. ඇමරිකාවේ ප්‍රකට වයලීන් ශිල්පියෙක්වන ජෝෂුවා බෙල් වරක් කළ සමාජ සමීක්ෂණය මට සිහිවෙනවා. ඇමරිකාවේ දුම්රිය පොළකදී ඔහු ඉතා ප්‍රකට සංගීත කණ්ඩයක් වාදනය කළා. එතැනින් කලබලයේ එහා මෙහා ගිය කිසිවෙක් එය හසුකරගත්තේ නෑ. ඔවුන් එය සැලකුවේ සාමාන්‍ය දෙයක් විදිහට. ඇමරිකානු සංගීත රසිකයන් ඔහුගේ ප්‍රසංගයක් නැරඹීමට ඩොලර් දහස් ගණනින් වියදම් කරනවා. නමුත් දුම්රිය පොළකදී ඔහු කිසිදු අය කිරීමකින් තොරව ලබාදුන් ඒ සංද්වනියයට සවන් දීමට කිසිවෙක් සිටියේ නෑ. ඔහු ඒ බව පවසා තිබුණා.
අන්තිමේ අවබෝධ වූ දේ තමයි මිලක් තියෙන්නේ හදවතට දැනෙන දේට නෙමෙයි. නමකට. මේ ලෝකේ මිලක් තියෙන්නේ නමකට විතරයි. ඒත් නමක් නැති, ඇඩ්රස් එකක් නැති,ආතක් පාතක් නැති ඒත් හදවතට දැනෙන තැන් ජීවිතේදී හමු වෙනවා. එහෙම යමක් හමුවුනොත් එතැන ටිකක් නවතින්න,සවන් දෙන්න. පුළුවන්නම් ඒකටත් මිලක් දෙන්න.
___අයේෂ් ලියනගේ___
Really, nice story.
ReplyDeleteThank you so much
DeleteReally, nice story.
ReplyDeleteනියමයි යාලුවා. අපූරු කියැවීමක්.
ReplyDeleteThank you so much
Delete