Sunday, November 13, 2016

පරණ ගම සොයා කොග්ගලට - මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය


අතීතයේ ගම නම් වූ සංකල්පය ගැන අපට තිබෙන්නේ සිතින් මවාගත් චිත්ත රූපයක්. අතීතයේ මිනිසුන් ඇන්ද පැළන්ද විදිහ, කාපු බීපු විදිහ, ගමන් බිමන් ගියපු විදිහ ගැන අසා දැනගත් කරුණු සහ ඒ සමාජ වකවානුව සම්බන්ධව කියවීමෙන් ලබාගත් දැනුමින් තමයි අපි මේ චිත්ත රූප ගොඩ නගාගෙන තිබෙන්නේ. සමකාලීන සමාජය ගැන යථාවත්ව සහ රසවත්ව ලියූ ලාංකීය ලේඛකයා කවුද කියා යමෙක් මගෙන් ඇසුවොත් මා දෙන පිළිතුර තමයි 'මාර්ටින් වික්‍රමසිංහ'. ඔහුගේ ලේඛනයේ සාරය තමයි ගැමි ජීවිතය. අදටත් රුහුණේ අතීත මූදුබඩ ගම ගැන සිතේ ඇඳී තිබෙන සිතුවම් මාර්ටින් වික්‍රමසිංහගේ ලියවිල්ලකින් පැමිණි දෙයක් ලෙසයි මට හැඟෙන්නේ. එදා ඔහු ලියූ ඒ ගැමි පරිසරය අද රුහුණට ගියොත් සොයා ගැනීමට නැහැ. නමුත් ඒ අතීත ගමේ ශේෂයක් සොයාගෙන මෑතක අපි කොග්ගලට ගියා. ඒ මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරයට.

ලෝකයේ ජීවත්ව සිටි විශිෂ්ට ලේඛකයින්ගේ මතක තැන්පත් කරපු කෞතුකාගාරයන් ලෝකයේ බොහෝ රටවල තිබෙනවා. නිදසුන් විදිහට රුසියාවේ 'යාල්ටාවේ' පිහිටා තිබෙන ඇන්ටන් චෙකොෆ් ගේ නිවස, ඇමරිකාවේ ෆ්ලොරීඩාහි 'කී වෙස්ට්' හි පිහිටා තිබෙන අර්නස්ට් හෙමිංවේගේ නිවස ලෝ ප්‍රකට කෞතුකාගාර ලෙස ජන ආකර්ශනය දිනාගෙන තිබෙනවා. අපේ රටේ එවැනි තැනකට තිබෙනවානම් තියෙන්නේ කොග්ගල මලලගම පිහිටි මේ මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරය පමණයි. ඒ නිසා මේ ස්ථානය ජාතික වස්තුවක් ලෙස හැඳින්වීමත් වරදක් නෑ. මොකද ලංකාවේ සාහිත්‍ය රසිකයෙක්ට වෙනත් රටක අයෙක් ඇසුවහොත් අපිටත් මෙහෙම දෙයක් තියෙනවා කියලා හරි පෙන්නන්න තිබෙන්නේ මේ ස්ථානය විතරක් නිසා.

ඒකාකාරිව ගෙවෙන නාගරික ජීවිතයෙන් මිදෙන්න හිතුනු වෙලාවක අපේ තේරීම වුණේ ගාල්ල කොග්ගල පිහිටි මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය. වැහිබර දවසක උදේ අපි කොග්ගල මලලගමට පිටත්ව වුණේ ඒ රුහුණේ ශේෂ වූ ගම හොයාගෙන. අහසේ තිබුණේ අඳුරු ගතියක්. පරිසරයේ තිබුණේ සීතල මුහුවෙච්ච තෙත් ගතියක්. මාර්ටින් වික්‍රමසිංහයන් ඒ වකවානුවේ මේ පරිසරය දෑසින් දැක්ක විදිහ 'අපේ ගමේ' 'මඩොල් දූවේ' 'උපන් දා සිට' 'අපේ විත්ති' යන කෘතිවලින් යහමින් කියවූ අයුරු මට මේ ගමනේදී සිහිවුණා. ඔහුගේ සෑම කෘතියකම කොග්ගල අවට වූ මතකයේ සුවඳ ගෑවී තිබුණා. ඔහු උපන් ද සිට කෘතියේ ලියූවක් මෙසේ උපුටා දක්වන්නේ ඒ මතක සුවඳ ඔහුගේ සාහිත්‍ය ලෝකයට කොතරම් උත්තේජනයක් සැපයූවාදැයි පවසන්නට ඕනෑ නිසයි.

"මම අවුරුදු 30 කට වැඩි කලක් කොග්ගල ජීවත් වූයෙමි.බොහොම සුන්දර ඔය හා ගැමියන් නිසා මා තුල දැඩි ඇල්මක් හටගත්තේය.ඔය,ලඳු,බැදි සතුන් හා මිනිසුන් ද සහිත ගැමි පරිසරය සිහිකිරිමෙන් මම දැනුදු සන්තෝෂයක් ලබමි.මාගේ නවකතාවලට පමණක් නොව විචාර නිබන්ධනවලටත් සංස්කෘතික මානව විද්‍යාව හා දර්ශන පිළිබද"සත්ව සන්තතිය"ටත් පිටුපසින් පවා මගේ ගැමි අත්දැකිම් හා ගැමි පරිසරය මා කෙරෙහි පෑ බලයද සැගවි සි‍ටියි.මගේ නවකථාවල චරිත මා වර්ණනා කළ ගැමි පරිසරය නිසා පණ ලබයි.ඔවුන්ගේ හුස්ම ඒ ගැමි පරිසරයයි.ඒ හුස්ම නොමැතිව ඔවුනට ජීවත් විය නොහැකිය. මාගේ කෙටිකතාවලට වස්තු වුයේ අවුරුදු විස්සක් වන්ට පෙර ගමේ ජීවත් වීමෙන් පසක් කොට ගත් අත්දැකිම් සමූහයකි.ඒ අත්දැකිම් තිස්හැවිරිදි වියට පැමිණෙන්නට පෙර ගමේ ජීවත් වීමෙන් සිතේ කාවදින සේ තැන්පත් වූ ගැමි ජීවිතය පිළිබද තොරතුරු වේ"

ඉතින් අපි කොග්ගලට ආ බව කියන්නට උවමනාය. මේ ලිපිය කියවන යමෙක් , සාහිත්‍යට ලැදි යමෙක්, අතීතයේ ගම පිළිබඳව ශේෂයන් සොයා යන්නෙක් තවමත් මෙහි ගොස් නැතිනම් ඔබට ලැබෙන එක් දිනක විවේකයක හෝ කොග්ගලට ගොස් මේ ජන කෞතුකාගාරය නරඹා පැමිණෙන්න දෙවරක් සිතන්න එපා යැයි යෝජනා කරන්න කැමතියි. ඔබ අගනුවර සිට යනවානම් දැනට අධිවේගී මාර්ග පහසුකම් ඇති නිසා පැය දෙකක් ඇතුලත කොග්ගලට පැමිණීමට හැකියාව තිබෙනවා. දවසක් තුළ මේ අවට නරඹා යම් දැනුමක් උකහාගෙන නැවත පැමිණීමට පවා වෙනදාට වඩා දැන් ඔබට හැකියාව තිබෙනවා. ගාල්ලේ දෙස සිට පැමිණෙනවා නම්, උණව‍ටුන, තල්පේ, හබරාදුව පසු කළ විට කොග්ගල හමුවෙනවා. කොග්ගල වෙළඳ කලාපය පසුකළ පසු ෆොර්ට්රස් ( Fortress) හෝටලය හමුවන අතර ඒ ඉදිරියෙන් (මාතර දෙසට වම්පසින්) ඇති අතුරු මගේ මීටර එකසිය පනහක් පමණ පයින් යනවිට මේ ආකර්ශනීය ස්ථානය ඔබට හමුවේවි.

එදා වැහිබර දවසක් නිසා අවට තිබුණේ හරිත පැහැයක්. සතියේ දිනයක් වූ නිසා බොහෝ පිරිසක් සිටියේත් නෑ. රුපියල් පනහක් වැනි සුළු මුදලක් ගෙවා දේශීය සංචාරකයෙක්ට මේ භූමියට ඇතුල්වන්න පුළුවන්. ඇතුල්වන ස්ථානයේම පිහිටා තිබෙන පොත්හලෙන් යමෙක්ට උවමනානම් මාර්ටින් වික්‍රමසිංහයන් ලියූ කෘති මිලදී ගැනීමටත් හැකියාවක් තිබෙනවා. සියයට විස්සක වට්ටමකුත් පොත් මිලදීගැනීමේදී හිමිවෙනවා. මෙතැනින් කෞතුකාගාර භූමියට ඇතුල්වුණාම දැනෙන්නේ අමුතුම වෙනසක්. දශක ගණනාවක් අතීතයට ගිහින් ඒ වකවානුවේ ගමකට ගොඩ වැදුනා වගේ හැඟීමක් ඔබටත් මෙහි පැමිණිවිට දැනුනොත් එහි පුදුමයක් නැහැ.

වෙනස් ආකෘතියකට නිර්මාණයකළ ගොඩනැගිලි කිහිපයක්ම මේ භුමියේ පිහිටා තිබෙනවා. පරණ ගම සිහිකරවන කෞතුක භාණ්ඩ තැන්පත්කර තිබෙන්නේ මේ ගොඩනැගිලි තුළයි. ප්‍රමාණවත් කාලවේලාවක් අරගෙන මේ ගොඩනැගිලි එකින් එකට ගිහින් නිස්කලංකේ දැකබලා ගන්න කාල වේලාව ඇතිව පැමිණියහොත් බොහෝ වටිනවා. අපි එහි සිටින අවස්ථාවේ පැමිණි පිරිසක් කෑ කෝ ගසමින් පැයක් වැනි කාලයක් ඇතුලත පුදුම හදිස්සියකින් ඒ සියල්ලේ දිවගිය අයුරුද මේ මොහොතේ සිහිවේ. යන්නං වාලේ නොගිහින් විවේක පාඩුවේ මේවා දැකබලා ගන්නට යාම වඩා හොඳ යයි සිතේ.

මේ එක් එක් ගොඩනැගිල්ල තුළ පරණ ගම සිහිකරවන ආකාරයේ මෙවලම්,ආයිත්තම්,ආභරණ,ප්‍රවාහනය සඳහා භාවිත කළ කරත්ත තිරික්කල ආදියත් එකී මෙකී නොකී බොහෝ කෞතුක භාණ්ඩත් මේ පරිශ්‍රයේ තිබේ. ධීවර කර්මාන්තය, මැටි කර්මාන්තය, කොහු කර්මාන්තය, පැරණි ගොවිතැන සම්බන්ධව නිරූපනය කෙරෙන බොහෝ දෑ මේ තුළ ඇත. කෞතුක භාණ්ඩ තැන්පත් කර ඇති ගොඩනැගිලි ඇතුලත ජායාරූප ගැනීමට අවසරයක් නැති නමුත් ජායාරූප ලබාගැනීමට අවශ්‍යනම් කල් තබා අවසරගෙන තිබීම වැදගත් බවත් කිවයුතුය.

මේ සියල්ල පසුකර පැමිණිපසු අපට පෙනෙන්නේ මාර්ටින් වික්‍රමසිංහයන් උපන් නිවසයි. පොල් රුප්පාවෙන් වටවී හාත්පස තද හරිත පැහැයෙන් නිල්ල පිරුණු තෘණ භූමියයි. ඒ අවට තැනින් තැන දිය පිරුණු කුඩා පොකුණුය. ඒ කුඩා පොකුණුවලට එබී බැලූ පසු පෙනෙන්නේ පතුල පවා විනිවිද පෙනෙනා පැහැදිලි බවයි. මාර්ටින් වික්‍රමසිංහයන් වැනි වියතෙකුගේ පා පහස විඳි ඒ භූමියේ ඇවිදීමත් සතුටකි. පැරණි ගමක ගෘහ නිර්මාණශිල්පයට නිමවූ නිවසට ඇතුල්වන තැන තිබෙන පුවරුවක මෙවන් යමක් සටහන්ව තිබේ.

"එවකට කොග්ගල, ගෙවල් දහසකින් යුත් දැකුම්කලු ගම්මානයක් වී ය. පන්සල, ගුරු ගෙදර, වෙද ගෙදර, ඔපිසර ගෙදර එගම වැදගත් තැන් වූහ. 1942 දෙවැනි ලෝක යුද්ධ කාලයේ මෙගම වැසියන් පැය 24ක් ඇතුළත ඉවත් කොට ගෙවල් සියල්ල බිඳ දමා ගුවන් තොටක් හා හමුදා කඳවුරක් පිහි‍ටුවන ලදී. මාර්ටින් වික්‍රමසිංහ මහතා උපන් මේ නිවස පමණක් එදා ඉතිරි වූයේ එහි සොඳුරු පෙනුමට ඇලුම් කළ සුදු නිලධාරිනියක එය සිය නිල නිවස ලෙස යොදාගත් හෙයිනි. අහම්බෙන් වූ එම සිදුවීම ජාතියේ වාසනාවක් යයි අද හැඟේ. එකල ගිංපතලිය නමින් හැඳින්වූ ඉඩමේ පිහිටි මේ නිවස බ්‍රිතාන්‍ය හමුදා ඉවත්ව යාමෙන් පසු ලඳු කැලෑවෙන් වැසී ගියේය. 1962 දී එවකට පැවති රජය මඟින් මාර්ටින් වික්‍රමසිංහ මහතා වෙත ආපසු භාරදෙන ලද වසර දෙසීයක් පැරණි මේ නිවස හා ඉඩම එතුමාගේ අභාවයෙන් පසුව ජාතික උරුමයන් වශයෙන් පවත්වාගෙන යනු ලබන්නේ මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය විසිනි"

නිවස තුළට පැමිණිය පසු මාර්ටින් වික්‍රමසිංහයන් උපන් කාමරය දැකගත හැකිය. උපන්දා පොතේ ඒ මොහොත ගැන ඔහු ලියූ සටහන ඔබට මතක ඇති.

" මා උපන් දිනයේ අඩවන් කරන ලද දොර ඇති කාමරයෙහි උන් වින්නඹුව 'සරම' යයි කියනු ඇසූ තාත්තාත් සහෝදරියනුත් බෙහෙවින් සන්තෝෂ වූහයි මගේ නෑයන් කියනු මා නොයෙක් වර අසා ඇත. ඔවුන් එතරම් ප්‍රීති වූයේ පිට පිට කම්බා අටක් බිහිකළ අම්මා වැදු එකම 'සරම' මා බැවිනි"

මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ජිවිතයේ විවිධ මතක එක්කළ සේයාරූ එකතුවක්ද පැරණි නිවසට යාබදව ඉදිකළ කොටසේ ප්‍රදර්ශනයට තබා ඇත. මෙහි අපට හමුවූ වැදගත්ම පුද්ගලයා එම නිවස වසර තිස් ගණනක් පුරා බලාකියා ගන්නා පියදාස මහතාය. කොග්ගල ප්‍රදේශයේම උපන් වසර හැත්තෑවක් පමණ වයස ඇති ඔහු කුඩා අවධියේ මාර්ටින් වික්‍රමසිංහයන් පවා ඇසුරුකළ අයෙකි. තමා වයස අවුරුදු හයේ සිට මෙහි පැමිණීමට පුරුදු වී සිටි බවත් ඒ කාලයේ වික්‍රමසිංහ මහත්තයා හමු වූ බවත් ඔහු අප සමග පැවසුවා. සිය ජීවිතකාලයෙන් අඩකටත් වඩා මේ ස්ථානය වෙනුවෙන් කැපකළ ඔහු සිදු කර ඇත්තේ නිහඬ සේවයක් බව මට එවෙලේ සිතුණා.

නිවස නරඹා එළියට පැමිණි අපට දැකගත හැකිවූයේ කුඩා කණ්ඩියක් මත ඉදිකර තිබූ මාර්ටින් වික්‍රමසිංහයන්ගේත් එම මැතිණියගේත් දේහයන් තැන්පත් කළ සොහොන් භූමියයි. පාවහන් ගැලවූ නිරුවත් දෙපයින්ම අප පිණි සහිත තණපත් පාගමින් එතැනට පැමිණියා. කොග්ගල මලලගම ඉපිද සාහිත්‍ය ලෝකයක සැරිසැරූ මහා ගත්කරුවෙක් නැවතත් තමා උපන් භූමියටම පැමිණ මේ අයුරින් මිහිදන් වී සිටියා.

සටහන - අයේෂ් ලියනගේ

සේයාරූ - ප්‍රබෝධා හෙට්ටිආරච්චි








                            නිල්ල පිරුණු පොල් රුප්පාව






                         නිවස බලාකියාගන්නා පියදාස මහතා



No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators