සීමාවන් තුළ ජීවත්වන පොදු මනුෂ්‍යයා විටෙක ආගමේ, ජාතියේ, සහ වර්ගයේ වහලෙකි. ආගම හැමවිටෙකම අභෞතිකය. එය අධ්‍යාත්මිකය. නමුත් මිනිසාගේ පොදු ස්වභාවය වන්නේ එකී අභෞතික සහ අධ්‍යාත්මික කාරණාව වෙනුවෙන් භෞතික ලෝකයේදී යුද වැදීමයි. මිනිසා අන්ධ වන්නේ එතැනදීය. ජාතිවාදය හෝ වර්ගවාදය නම් මාතෘකාව අපි හඳුනාගන්නේ එකී කාරණාවත් සමගිනි. ආගමවත්, වර්ගයවත් මිනිසාගේ සටනට පළි නැත. සටන ඇරඹුණේ අනෙකා තමන්ගේ මතය ඉදිරියේ ශුද්‍රයන් විය යුතු යැයි මිනිසුන් සිතන්නට ගත් දා සිටයි.
ලෝක ඉතිහාසයේ වූ ලේ වැගිරීම් සත් මහා සාගරයටත් වඩා වැඩි යැයි මට සිතේ. ඒ ලේ වැගිරීම්වලින් අඩකටත් වඩා වර්ගවාදයත්, ජාතිවාදයත් ආගම්වාදයත් මූලික වූ බව ඉතිහාසයද සාක්ෂි දරයි. ඉතිං මිනිසා විමුක්තිය ලබයිද ? ආගම කාගේ නිමැවුමක් වුවත් එය කරමතින් ගෙනයනවුන් අතින් ආගමට වරදක් සිදුවී ඇත. මුස්ලිම් වේවා, ක්‍රිස්තියානි වේවා, හින්දු වේවා ,බෞද්ධ වේවා සියල්ලෝම කළ වරදක් මනුෂ්‍යත්වයට එරෙහි වී ඇත. තම ඇදහිල්ල සුද්ධ කිරීමට යාමෙන් මනුෂ්‍යත්වයට වරදක් සිදුවී ඇත. එය ලෝකය පවතිනතාක් නිවැරදි කළ හැකි වරදක් නොවේ. නමුත් පොදු ස්වභාවයෙන් මිදී හුදෙකලාව හිඳිමින් සත්‍ය තේරුම් ගැනීමට අපට ඕනෑතරම් අවස්ථාවන් ඇත. එයින් පොදු සමාජයට වැඩක් නැති වුවත් කාට හෝ පෞද්ගලිකව වැඩක් ඇති දෙයකි.
නිශ්ශංක විජේමාන්නගේ 'හඳ පළුව තනි තරුව' යනු අන්න ඒ කියන්නාවූ පොදු සමාජයට වැඩක් නැති ඒත් පෞද්ගලිකව හිතන්න යමක් ඇති නවකතාවකි. ඒ තුළ මානව සබඳතාවයේ ගැඹුර පෙන්වා ඇත. මානව බැඳීම සියලු බැමි සීමාවලට වඩා විශාල බවත්, ආදරය යනු භෞතික ලෝකයේ ලොකුම දහම බවත් ඔහු කියන්නට උත්සාහ දරයි. ඒ උත්සාහය විටෙක ෆැන්ටසියකි. එය ෆැන්ටසියක් වන්නේ මේ මොහොතේ අපි දකින ආගමික බෙදීමේ පරතරය අපිට පෙනෙනා නිසයි. ඒත් ඒ ෆැන්ටසිය අලංකාරය. ඉතිං ඒ ආලය විඳිය යුතුය.
'හඳ පළුව තනි තරුවේ' මා කැමතිම කොටස මෙසේය
"ජීවියෙක් එයා බිහිකරන කෙනාගෙන් වෙන්වුනාම එයා අයිති සොබාදහමට. ඒකයි ඇත්ත. අපි විශේෂයෙන් මිනිස්සු මේ ඇත්ත වෙනුවට සංස්කෘතියක් හදාගන්නවා. අම්මා, තාත්තා, ආදරේ, ජාතිය, ඔය කතන්දර ඔක්කොම හංද අපේ බැඳීම අපව අහුරනවා"
ඔබත් මෙය කියැවීම වටී. කියවා විඳින්න. විඳ විමසන්න. අවසානයේ අපෙන් දුර ෆැන්ටසියේ කිමිදෙන්න.
___අයේෂ් ලියනගේ___
No comments:
Post a Comment