රිචර්ඩ් මරා දමා අවුරුදු විසි අටක් ගෙවී ගිහින්. ඒ පහුගිය දහ අට වැනිදාට. රිචර්ඩ් වගේ මනුස්සයෙක්ගේ මතකය අමතක වෙලා ගියත් ඒක කොහෙන් හරි ආයේ මතකෙට එනවා. මම විශ්වාස කරන විදිහට ලංකාවේ මාධ්‍යකාරයෙක්ට රිචර්ඩ් ද සොයිසා කියන්නේ වෙනමම ලකුණක්. ඒත් හැම මාධ්‍යවේදීයෙක්ම ඒක ගන්නේ එහෙමම නෙමෙයි කියලා මේ මාධ්‍ය ජීවිතේ ඇතුලේ රස්තියාදුවක් ගහද්දී ඉබේටම දැනෙන්න ගන්නවා. රිචර්ඩ් ද සොයිසා කියන චරිතය භීෂණයෙන් පස්සේ බිහිවුණු අපේ පරම්පරාවට ඇසුරු කරන්න නොලැබීම අවාසනාවක්. නමුත් ඔහු ලියූ ඇතැම් කවි කියවන්නට අපේ පරම්පරාවට අවස්ථාව ලැබුණා. මිනිසෙක් විදිහට ඔහුගේ ඇතුල් සිත කියවන්න ඒ කවි පහසුවක් වුණා. කවිය හැමවිටම මිනිසෙක්ව ජීවමානව තියනවා. ඒ නිසා රිචර්ඩ් ජීවමාන වුණා.
ඔහු සජීවීව රංගනයෙන් දායක වුණු ඉංග්‍රීසි වේදිකා නාට්‍යයක් බලන්න අපේ පරම්පරාවට බැරි වුණා. නමුත් ඔහු රඟපෑ සිනමා නිර්මාණයක් දෙකක් බලන්න අපේ පරම්පරාවට හැකි වුණා. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ යුගාන්තය කියවද්දී ඔළුවේ මැවෙන මාලින් කියන රැවුල්කාරයා ලෙස්ටර් හදපු යුගාන්තයේ රිචර්ඩ්ගේ චරිතයෙන් අපි ජීවමානව දැක්කා. සිනමාව මිනිස්සු ජීවමානව තියනවා. එතැනදිත් රිචර්ඩ් ජීවමාන වුණා. අපේ පරම්පරාවට කලින් පරම්පරාවේ ඉඳපු මිනිස්සු රිචර්ඩ් ගැන කතා කියනවා. අපි ඒවා ඇහුවා. රිචර්ඩ් කියන චරිතය මෙහෙමයි කියලා අපි හිතින් මවාගත්තා. සිතිවිලි ඇතුලෙත් රිචර්ඩ් ජීවමාන වුණා.
ලෝකේ මරා දාපු ප්‍රගතිශීලි මිනිස්සු අතරේ මේ කොදෙව්වේ රිචර්ඩ් වගේ චරිතයකුත් අපේ මනසේ රැඳුණා. පෑනෙන්, කලාවෙන් හරඹ කරපු මිනිහෙක්ව තුවක්කුවකින් මෙල්ල කරන්න පුළුවන් කියලා සමහරු හිතුවත්, උණ්ඩය ඒ මිනිහාව ජීවමාන කරනවා. ඒක තමයි ඇත්ත. මැරුවත් තමන්ගේ මතය නියෝජනය කරන්න මිනිහෙක්ට ඒ ඇත්ත පාර කියනවා.
රිචර්ඩ් ගේ අම්මා මනෝරානි සරවනමුත්තු. ඇය තමන්ගේ මුළු ජීවිතකාලයම මරා දමපු තමන්ගේ පුතා ගැන මතකය හදවතේ දරාගෙන ඉඳලා මියගියා. පහුගිය දවසක ඇය සම්බන්ධ වාර්තා වැඩසටහනක් මම බැලුවා. ඒක බලද්දී ඒ දරාගැනීම කොයි තරම්ද කියන දේ පෙනුණා. ඒ දරාගැනීම රිචර්ඩ් කියන මනුස්සයාගේ අම්මට විතරක් දැනුණු දෙයක් නෙමෙයි. ලේ වගුරපු ඉතිහාසේ ආර්මිකාරයාගේ අම්මටත්, එල් ටී ටී කාරයාගේ අම්මටත්, ජේ වී පී කාරයාගේ අම්මටත් ඒ දුක දැනුණා. ඇය එක තැනක මෙහෙම කියනවා " ඔබට ඔබේ දරුවා අහිමි වුණු දවසේ, ඔබට ඔබේ ආත්මයම අහිමි වෙනවා" එතැනින් එහාට ඒ හඬ හිර වුණා.
සමාජය භීෂණයට යද්දී සමහර මිනිස්සු සමාජය නිවැරදි කරන්න උත්සාහ කරනවා. ඒ උත්සාහය නිසාම අවසානයේ ඒ මිනිහා භීෂණයේ ගොදුරක් වෙනවා. ඒක සදාකාලික සත්‍යයක්
___අයේෂ් ලියනගේ___
No comments:
Post a Comment