ඒ ජපානයේ ප්‍රකට පෙදෙසකි. නමින් නාගසාකිය. නාගසාකි ලෝ ප්‍රකට වූයේ අන් කිසිවක් නිසා නොව ඇමරිකාව විසින් 1945 වසරේදී එල්ල කළ පරමාණු බෝම්බ ප්‍රහාරය නිසාය. හිරෝෂිමාවට බෝම්බ හෙලා දින තුනක් ඉක්ම යන මොහොතේ නාගසාකි ප්‍රදේශයට බෝම්බ පතිත වූහ. ඒ 1945 වසරේ අගෝස්තු මස 9 වැනි දිනයි. හිතුවක්කාරී ලෙස යුද්ධයට අවතීර්ණ වූ ජපානය මෙල්ල කිරීමට ඇමරිකාවටද කළ හැකි අන් යමක් නොවුණි. කෙසේ වුවත් පරමාණු බෝම්බයෙන් පසු ජපානය කොන්දේසි විරහිතව අවි බිම තබා යටත් විය. ජීවිත ලක්ෂ සංඛ්‍යාත ගණනක් අහිමි විය. මුළු නාගසාකියම අළු ගොඩක් වී තිබුණි. ජීවිතය පමණක් ඉතිරි වූ මිනිස්සු අහසෙන් වැටෙන යමකින් කුස පුරවාගන්නට බලා සිටියහ. මහා වැසි වැටුණු පසු පොළොවෙන් අලුත් තණපත් උඩට ලියලා වැඩුණි. කුසගින්නේ සිටි මිනිස්සු ඒ ලා දළුවලින් කුස පුරවා ගත්හ. කාලයාගේ ඇවෑමෙන් බොහෝ දේ විසඳෙමින් තිබුණි. නාගසාකියේ මිනිස්සු අළු වී ගිය බිම් මත වී ඉස මහා කුඹුරු යායන් අස්වැද්දුහ. ජපානය යළිත් රටක් ලෙස නැගිටිමින් සිටියේය. ඒ පෙර සිටි ලෙස නොව ඊටත් වඩා සිය දහස් ගුණයක පරිශ්‍රමයකිනි. නිහඬ යෝදයකුගේ ශක්තියෙනි.
1995 වසරේ අගෝස්තු මාසයේ ජාත්‍යන්තර මාධ්‍ය කණ්ඩායමක් ජපානයට පැමිණියේ පරමාණු බෝම්බයේ 50 වසරක මතකය පිළිබඳව වාර්තා කිරීමටය. හිරෝෂිමාවේ සේම නාගසාකියටද ගිය ඔවුනට බොහෝ දේ රූගත කරගැනීමට හැකිවිය. නාගසාකියේ කුඹුරු යායක සිටිවියපත් ගොවියකු ඔවුන් සිය වාර්තාවට අහම්බෙන් සම්බන්ධ කර ගත්තේය. වයස හැත්තෑවක පමණ පෙනුමක් ඇති ඔහු ඉතා නවීන තාක්ෂණය යොදාගනිමින් ගොවි තැනෙහි යෙදුණු මිනිසෙකි. මාධ්‍ය කණ්ඩායම ඔහුගෙන් අනේකවිධ ප්‍රශ්න අසා සිටියා. ඒවා පරිවර්තනය කළේ වෙනම පුද්ගලයෙක්. ගොවි මහතා ඒ සෑම ප්‍රශ්නයකටම උත්තර ලබා දුන්නා. අවසානයේ එක් මාධ්‍යවේදියකු ඔහුගෙන් මෙවැන්නක් අසා සිටියා.
" 1945 අවුරුද්දේ පරමාණු බෝම්බයෙන් පස්සේ ජාතියක් ලෙස යටත් වීම ඔබලාට දැනුණේ කොහොමද ?
ඒ ප්‍රශ්නය පරිවර්තකයා ගොවි මහතාට පැහැදිලි කළේය. මද වෙලාවක් නිහඬව සිටි ගොවි මහතා මද සිනහවකට පසු මෙවැනි උත්තරයක් දුන්නා.
" කන්න නැතුව ඉඳපු අපි වැස්සට පීදිච්ච තණකොළ කාලා ජීවිත ගැටගහගත්තා. අපේ රට යටත් වුණේ නෑ. අපි වෙන විදිහකින් ලෝකෙම යටත් කරගත්තා"
ඒ කොහොමද ? මාධ්‍යවේදියා ඇහුවා
" බලන්න ඔබතුමන්ලා ඔය මගේ දිහාට මාන්නගෙන ඉන්න කැමරාවලින් භාගෙට භාගයක්ම අපේ රටේ හදපුවා නේද ? වයසට ගියත් ඒ නම් මට අඳුනන්න පුළුවන්. අපි එහෙමයි ලෝකෙම යටත් කරගත්තේ"
ඊට වඩා හොඳ උත්තරයක් කොහෙන් හොයාගන්නද ? මාධ්‍යවේදීන් නිරුත්තර වුණා. ආයෙත් හිනාවුණු ඒ වයසක ජපනා හෙමින් හෙමින් ඇවිදගෙන ගියා.
මම වෙන මොකුත් කියන්නේ නෑ. ශ්‍රී ලංකාව කියන මේ රටට ආපු ව්‍යසනවල තරමට මේ රට දියුණු වුණානම් අද අපි ලෝකේ කොතනද ඉන්නේ ? අපිට වැරදුනේ කොතනද ? හිතුවොත් දැනුත් පරක්කු නෑ.
___අයේෂ් ලියනගේ___
No comments:
Post a Comment