මෙම කතා සන්දර්භය තුළ සාකච්ජා වන මූලිකම කාරණාව ලිංගිකත්වය පමණක් බව මම විශ්වාස නොකරමි. ආර්ථික පීඩාව සහ සමාජ පීඩණය විසින් මිනිසෙකුගේ හෝ ගැහැණියකගේ සංස්කෘතික ජීවිතය කොතරම් දූෂ්‍ය කරන්නේද යන වග මේ නිර්මාණයේ ඇතුළාන්තය තුළින් මතු කර දක්වයි. මෙරට තුළ "වෙළඳ කලාප" බිහි වන්නේත් ඒවා තුළ මෙරට බහුතර කාන්තාවන් සමාජ ගැරහීම් තුළ හිඳිමින් සිය ශ්‍රමය වගුරවන්නේත් එකී ආර්ථික සහ සමාජ පීඩණයන්ගේ ප්‍රතිපලයක් ලෙසටයි. එහි ප්‍රතිපලයක් ලෙස අවසානයේ ඔවුනට හිමි වූයේ විකෘතියක් වූ සංස්කෘතික ජීවිතයකි. එකී "විකෘති සංස්කෘතික ජීවිතය" තුළ අනෙකාගේ මිනිහා සමග නිදි වැදීම, පියවරුන් නොමැති දරුවන් බිහි කිරීම හෝ නූපන් දරුවන් හට අනාගත අහිමි කිරීම අතිශය සාමාන්‍ය කාරණාවන් බවට පත් විය. එකී ඛේදාන්තය සත්‍යජිත් මාඉටිපේ සිය නිර්මාණය තුළ ප්‍රේක්ෂකයාට නිතැතින්ම දැනීමට සලස්වයි. තවද මෙම නිර්මාණය තුළ පුද්ගල චෛතසිකයන්ගේ ස්වභාවය මැනවින් දක්වා ඇත. කඳුකරයේ හුදෙකලාව "මංගලාට" සහ විශ්ව විද්‍යාල තරුණයා අතර වන සංවාදය තුළ සියලු දෙනා තුළ ඇති එහෙත් ප්‍රසිද්ධියේ නොපවසන පුද්ගල ජිවිතයේ කටුක සත්‍යය හෙළිදරවු වේ. එම දෙබස් සාවධානව සවන් දෙන්නේ නම් ප්‍රේක්ෂකයා හට එය මැනවින් ප්‍රත්‍යක්ෂ වනු ඇත.
මෙම නිර්මාණය කලෙක වාරණයට ලක් වන්නේ හුදෙක් ලිංගිකත්වය නම් තේමාව නිසා විය නොහැකිය. ඒ තුළ වන "දේශපාලනික කෙනිත්තීමට" වාරණ මණ්ඩලය බිය වූවා විය හැක. කෞෂල්‍යා ප්‍රනාන්දුගේ රංගනය පිළිබඳව මෙහිදී කතා නොකරම බැරිය. ඇය පණ පොවන කේන්ද්‍රීය චරිතය වන ගෝතමීගේ චරිතය තුළ කියවන්නට බොහෝ දෑ ඇති බව මගේ හැඟීමයි.කෞෂල්‍යා ප්‍රනාන්දු එම චරිතයට උපරිම සාධාරණත්වය ඉටු කරන අතර ඇයට එවැනි අපහසු චරිත නිරූපණය කිරීමේ ඇති හැකියාව විශිෂ්ට වේ. අධ්‍යක්ෂකවරයාගේ සිනමා සංකේත භාවිතාව ඉහළ මට්ටමක වූ අතර සිංහල සිනමා පටයක මා මෑතක දුටු හොඳම සංකේත භාවිතයද එය බව පැවසිය හැක. අවසන් වශයෙන් පැවසීමට ඇත්තේ සිනමා ශාලාව වෙත ගොස් නරඹා ඔබගේ විනිශ්චය කුමක්දැයි ඔබම තීරණය කිරීම ඉතා වටිනා බවයි.
අයේෂ් ලියනගේ
No comments:
Post a Comment