Saturday, March 28, 2015

පොත් ගුලක ගෙවූ සැඳෑවක්

මීට වසර හතරකට පමණ පෙර එක්තරා වැහිබර දවසක මා ගාලු කොටුවේ මාගේ නෑ හිතවතෙකුගේ නිවසකට ගොස් එමින් සිටියා. සවස තුන පසුවී විනාඩි තිහක් පමණ ගත වී තිබූ ඒ අවස්ථාවේ වැස්සක පෙර නිමිති පෙනෙන්නට තිබූ අතර මා සතුව කුඩයක්වත් තිබුනේ නැහැ. එක් වරම දහරානිපාතෙන් වැස්සක් කඩා වැටුන අතර මට කරන්නට කිසිවක් නොවූ නිසා ඒ අසල වූ නිවසක එළිපත්තට ගොඩ වූයේ කුඩයක් රැගෙන ඒමට නොහැකි වීම නිසා මටම දොස් පවරගනිමින්. එය මහල් දෙකකින් යුතු ඉතා පරණ මාදිලියේ නිවසකි. වීදියේ අද්දරටම වන්නට පිහිටා ඇති දොර අසල මා සිටගෙන සිටියත් සුළං පහර සමග පැමිණි වැහිකඩ මාගේ ඇඳුම් සියල්ල තෙත් කරමින් තිබුණා. මා අත් ඔරලෝසුව දෙස බැලුවේ තව කොපමණ වේලා මේ වැස්ස අල්ලා තිබේදැයි කියා සිතාගත නොහැකිවයි.

එක් වරම මා සිටි තැන වූ දොර විවෘත විය. වයස 75ක් පමණ යැයි අනුමාන කළ හැකි මහළු මිනිසෙක් එයින් හිස පිටතට දමා මා හා සිනාසුනා. මාද ප්‍රතිචාර වශයෙන් සිනහවකින්ම ඔහුට සංග්‍රහ කළා.

පුතා තෙමෙනවා නේද? එන්න ඇතුලට. ඔතන ඉන්න එක අමාරුයි

නෑ. කමක් නෑ මෙහෙම හොඳයි....

මේ වැස්ස පැයකටවත් අඩු වෙන්නේ නැහැ පුතා. ඔයා එන්න ඇතුළට


ඔහුගේ සුහද ආරාධනාව පිළිගෙන මා ඇතුළට පැමිණියා. ඔහු අත දිගුකොට පෙන්වූ ඒ අසල වූ පරණ මාදිලියේ පුටුව මතින් මා හිඳ ගත් අතර මා අවට බැලුවේ මේ නුපුරුදු ස්ථානයට අනුගතවීමේ අදහසින්. ඔහු මට එහි රැඳෙන්න යැයි පවසා නිවස තුළට ගියේය. මද වේලාවකට පසුව ඔහු සමග තවත් අයෙකු එහි පැමිණි අතර ඒ ඔහුගේ බිරිඳ බව මා අනුමාන කළෙමි. ඔහු විසින්ම ඇයව මා හට හඳුන්වාදුන් පසු ඇය මාහට සිනහවකින් සංග්‍රහ කළා. ඔවුන් දෙපළ ඉතා සුහදශීලි බව එවෙලේ මා වටහා ගත්තෙමි.

අවට සිසාරා බැලූ මට දක්නට ලැබුණු විශේෂත්වය නම් එහි තිබූ පොත් රාක්ක කිහිපයයි. පොත් පුරවා තිබූ ඒවායේ පොත් බොහෝ ප්‍රමාණයක් තිබෙන බව පෙනෙන්නට තිබුණා. ඇති වී තිබූ නිහඬතාවය බිඳීමේ උවමනාවෙන් මා ඔවුන් ඇමතුවා.


ඔබතුමා හොඳ පොත් කියවන්නෙක් වගේ....

මම විතරක් නෙමෙයි මගේ නෝනත් හොඳ පාඨකයෙක්. එයා ඉස්සර ඉංග්‍රීසි සාහිත්‍ය ගුරුවරියක් නිසා මේ යට තියෙන පොත් ගොඩාක් එයාගේ පොත්... පුතා පොත් කියවන කෙනෙක්ද?

අම්මෝ ඔවු... ඉඩක් ලැබෙන හැම වෙලාවකම මම පොතක් වරද්දන්නෙ නැහැ...

එහෙනම් එන්න යමු මා එක්ක... මම පෙන්නන්නම් මගේ පොත් ගුල ඔයාට... යමු උඩට...

ඔහු සමග මා ඉදිරියට ඇදුනා. සාලයේ කෙලවර වූ ලී තරප්පු පේලිය දිගේ ඔහු තරමක් අපහසුවෙන් නමුත් සිනාමුසු මුහුණින් උඩට නැග්ගා... ඔහුව අනුගමනය කරමින් මාද ඒ තරප්පු පෙළ නගින්නට උනා.... අප ඇතුළු උනේ ශාලාවක් වැනි ස්ථානයකට.
එක් වරම මා පුදුමයට පත් විය. එහි වූයේ පොත් පිරවූ විශාල රාක්ක පමණි. ශාලාවේ වටා වූ බිත්ති අසල තබා තිබූ එම පොත් ඇහිරූ අල්මාරි දුටු විට මා සිටින්නේ කොහිදැයි මටම අමතක විය. මාගේ පුදුමය වටහාගත් ඔහු මා අමතන්නට උනා..

මේ තියෙන පොත් ඔක්කොම මම තරුණ කාලේ ඉඳන් එකතු කරපුවා... අදටත් මං පොත් ගන්නවා. ඒත් ඉස්සර වගේ එළියට ගිහිල්ලා ඇවිදලා පොත් ගන්න දැන් මට ලොකු හයියක් නැහැ... බලන්න පුතා... ඔය හැම කබඩ් එකකම තියෙන්නේ ගොඩක් වටින පොත්. සමහරවිට ඔයාට දැන් හොයාගන්න බැරි ගොඩාක් පොත් ඔතන ඇති... ඔයාට කැමතිනම් ඔය ඕන පොතක් අරගෙන ගිහිං බලන්න. හැබැයි ආයෙත් ගෙනත්දෙන පොරොන්දුව පිට....

එසේ පවසා ඔහු සිනාසුනා... කිසිවක් නොකී මා එම කබඩ් එකක් විවෘත කොට පොත් බලන්නට උනා.

මා හට පොත් බැලීමට ඉඩ දී ඔහු පහල මාලයට යන බව තරප්පු පෙලේ ගැටෙනා ඔහුගේ අඩි ශබ්දයෙන් මා වටහාගත්තා. තවමත් වැස්ස තදින්ම ඇද හැලෙන බව පොත් රාක්කය අසල වූ කවුළුවෙන් එළිය බැලූ මට පෙනුණා. හුළඟ සමග පැමිණි වැහි බිංදු කවුළුව මත වැටී පහළට රූටා වැටුනා. මෙවන් මොහොතක අනපේක්ෂිත පොත් ගුලකට වැදීමේ ප්‍රහර්ෂය මා විඳිමින් සිටියා.

එම සෑම රාක්කයකම තිබූ පොත් එකිනෙක වර්ගකොට තිබුණා. පරණ සිංහල නවකතා, ඉංග්‍රීසි පරිවර්තන, රුසියානු පරිවර්තන සහ ඉංග්‍රීසි පොත් එකින් එක වර්ගකොට තිබුනේ ඉතා පිළිවෙලකට බව මට දැනුදු හොඳින් මතකය. මද වේලාවකට පසුව යළිත් ඔහු තරප්පු පෙළ නගින ශබ්දය මට ඇසුණා. එවර ඔහුගේ බිරිඳ ඉහලට පැමිණ සිටියේ පීරිසි කෝප්පයක්ද අතැතිවයි. ඇය මා වෙනුවෙන් කෝපි කෝප්පයක් පිළියෙළකොට තිබුණි.

ඇය මා සමග දොඩමලු වන්නට විය. ඔවුන්ගේ දරුවන් දෙදෙනා පිටරට වෙසෙන බවත් බොහෝ කාලයකින් ඔවුන්ව නොදුටු නිසා දැකීමට අසාවෙන් සිටින බවත් ඇය මා හා පැවසීය. වයෝවෘද අය සමගින් කතා කිරීමේදී ඇහුම්කන් දීම ඉතා වැදගත් බව මා අත්දැකීමෙන් දන්නා නිසා මා ඇයට ඉතා සාවධානව ඇහුම්කන් දුන් ආකාරයට ඇය ඉතා පැහැදුනු බව මම වටහා ගතිමි.

ඇය පිටවීමට පෙර මා හට පැවසුවේ කැමති පොතක් වේනම් රැගෙන යන ලෙසත්, අවශ්‍යනම් පැමිණ කියවීමටද හැකි බවත්ය. මම ඇයටද මාගේ හදපිරි ස්තූතිය පිරිනැමුවෙමි.

වැහිබර සැඳෑවක පරණ නිවසක පොත් ගුලකට වී කෝපි කෝප්පයක් තොළ ගාමින් මේ ගෙවෙන්නේ මාගේ ජීවිතයේ අහඹු හෝරාවක් බව මට හැඟුනි. නොදැනීම කාලය ගත විය. කවුළුවෙන් පිටත බැලූ මට පෙනුණේ වැස්ස මඳක් තුරන්වී ගොස් ඇති බවයි. අත්ඔරලෝසුව දෙස බැලූ විට වේලාව 5.30ට ආසන්න වී තිබුණි. කෝපි කෝප්පය අවසන් වී දැන් බොහෝ වෙලාය. නිවස බලා යෑමට වෙලාව පැමිණ ඇත. මා පොත් දෙකක් තෝරා ගතිමි. සතියකින් කෙසේ හෝ කියවා අවසන් කොට ලබන සතියේද පැමිණෙන බවට ස්ථිර වශයෙන්ම සිතා පහළට පැමිණියෙමි. තරප්පුපෙල අසල බිත්තියේ සවි කොට ඇති ලේඛකයන් දෙදෙනාගේ රාමු කරන ලද ජායාරූප දෙක මට තවමත් හොඳින් මතකය. එහි වූයේ චෙකොෆ්ගේ රුව සහ හෙමිංවේගේ රුවයි.

මා පහත මාලයට පැමිණෙන විට ඔහු කවිච්චිය මත වාඩි වී පොතක් කියවමින් සිටියේය. මා දුටු ගමන් මා හා සිනාසී මා පොත් තෝරා ගත්තාදැයි ඇසීය. මා පොත් තෝරාගත් බවත් තරමක් වේලා ගත වූ නිසාවෙන් ඉක්මණින් යායුතු බවත් මා ඔහුට පවසා සිටියා. ඔහු එය අනුමත කරමින් මේසය මත වූ කිසියම් පොතක් මත සටහනක් දැමූ බව මට හොඳින් මතකය. මා නිසැකවම මේ පොත් ලබන සතියේ රැගෙන එන බවට ඔහුට පැවසූ විට ඔහු මා හට සිනහවකින් සංග්‍රහ කළා. ඔවුන් දෙපළගේ සත්කාරයට නැවතත් ස්තුතිකොට මා නිවාස බලා පැමිණියා.

උසස් පෙළ අවසන්කොට සිටි එම කාලයේ පොත් කියැවීමට ඇතිතරම් වේලාව මා හට තිබුණා. එබැවින් නිරතුරුව මා ඔවුන්ගේ නිවසට පැමිණි අතරම ඔවුන්ද මාගේ පැමිණීම හැම විටෙකට අපේක්ෂා කළා. එය ඔවුන්ගේ හුදෙකලාවේ ගෙවුන ජීවිතයට විශාල සහනයක් වන්නට ඇතැයි මම සිතමි. ඒ පැමිණි බොහෝ අවස්ථා වල ඔවුන් මා සමග කතා කළේ පොත පත සහ සාහිත්‍යය පිළිබඳවයි. පොත පතට මේ තරම් ලැදිකමක් දක්වනා විවාහක දෙපළක් මාගේ ජීවිත කාලයේ තවමත් මා දැක නැත. ඔහු හැම විටෙකම පැවසූ එක් දෙයක් විය. එනම් යම් දිනෙක ඔහුගේ මරණයෙන් පසුව මෙම පොත් සියල්ල දුෂ්කර පළාත්වල දරුවන් ඉගෙනුම ලබනා පාසල් වල පුස්තකාල වලට බෙදා දිය යුතු බවයි. එය කොතරම් උසස් පරමාර්ථයක්දයි මා සැම විටෙකම සිතන්නට උනා.

මේ ආකාරයට කාලය ගත වී ගිය අතර මාගේ විශ්ව විද්‍යාල ප්‍රවේශය පැමිණි බැවින් මා හට ගාලු ප්‍රදේශයෙන් පිට වීමට සිදු විය. මා සතු වූ පොත් කිහිපයක් යළි බාර දීමට මා ඔවුන් වෙත ගිය අවස්ථාවේ මාගේ අනාගත ජීවිතයට ඔවුන් ඉතා ලෙන්ගතුව සුබ පැතීය. ඉඩක් ලැබුණු අවස්ථාවක නැවත පැමිණ ඔවුන්ව බැහැදකින ලෙස ඔවුන් කිහිප වරක්ම ඉල්ලා සිටියා. මම එම ආදරණිය දෙපලගෙන් සමු ගතිමි.


දින සති මාස ගත විය. ඉගෙනීමේ කටයුතු සමග මා හට නැවත එහි යාමට අවස්ථාවක් උදා නොවුන තරම්ය. වසර දෙකක් පමණ ගත වී මෑත දිනෙක මා හට ඔවුන් බැලීමට යාමේ අවස්ථාවක් හිමි විය. ගාලු කොටුවේ "පෙඩ්ලර් වීදිය" දිගේ ඇවිද ගොස් එහි කෙළවරක වූ නිවසේ දොර අසල මම නැවතුනෙමි. දුර්වර්ණ වූ සුදු පැහැයකින් යුතු විදුලි සීනුවේ බොත්තම එබූ මා එම ආදරණිය මහළු මිනිසාගේ හිනහපිරි මුහුණ දැකගැනීමේ අටියෙන් එහි රැඳී සිටියෙමි. දොර විවෘත විය. සරමකින් සහ බැනියමකින් සැරසුණ නන්නාදුනන මිනිසෙක් මාගේ ඉදිරියේ සිටගෙන සිටියේය.


කාවද හොයන්නේ....?

මෙහේ ඉඳපු අර වයසක දෙන්නා දැන් නැද්ද?

ආහ්... මහත්තයා දැන් අවුරුද්දකට උඩදී නැති උනා... නෝනා විතරයි හිටියේ. ඕස්ට්‍රේලියාවේ ඉන්න පුතා ඇවිත් නෝනව එක්ක ගියා තනියම ඉන්න දෙන්න බෑ කියලා... මම තමයි දැන් මෙහේ බලාගන්නේ

එතකොට අර උඩ තිබුණ පොත් එහෙම....?


ඒවාට මොනවා උනාද කියලනම් මම දන්නේ නැහැ... උඩ දැන් මොකුත් නැහැ... හිස්

හොඳයි. බොහෝම ස්තූතියි. මම යන්නම්....


ඔහු දොර වසා දැමීය. හීන් පොදක් වැටෙන්නට විය. අහස කළු කරමින්
වැස්සක සේයාවන් ඇඳී යන්නට විය. එදා මෙන් නොව අද මා අත කුඩයක් විය. ඉහළ මාලයේ කවුළුව දෙස බලා සිටි මා හට අතීතයේ එක් සැඳෑවක් සිහි විය. වැස්ස තදින් වැටෙන්නට විය. වැසි දිය මා තෙමීමට කලියෙන් මා කුඩය දිගහැර ගත්තෙමි. වැහි බිඳු විටෙක කඳුළු බිඳුද වන බව සිතමින් මම එන්නට මගට බැසීමි.

අයේෂ් ලියනගේ



5 comments:

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators