Monday, June 29, 2015

පතිවත සහ සති පූජා


අතීතගත භාරතීය සමාජය යනු අනේකවිද වූ ඇදහිලි විශ්වාස මත ගොඩනැගුනු බහු සංස්කෘතික සමාජයකි. එකී ඇදහිලි විශ්වාස තුළ සමාජ වටිනාකම් නිරූපිත දෑ සේම සමාජ පිරිහීම් මතු කළ දෑද වූ බව ඇතැම් ඇදහිලි විශ්වාස විශ්ලේෂණයේදී පෙනී යයි. භාරත සමාජයේ භාවිත වූ සති පූජාව යනු සමාජ වටිනාකම් නිරූපිත වූ ඇදහිල්ලක් නොව සමාජයේ පිරිහීම නිරූපිත ඇදහිල්ලක් බව සමාජ විශ්ලේෂකයන් පෙන්වා දෙයි. සති පූජාව යන්න සරල ලෙසම කියන්නේනම් බිරිඳට පෙර සැමියා මිය ගියේනම් ඇය ස්ව කැමැත්තෙන් තම සැමියා වෙනුවෙන් ඔහු සමගම මරණය වැළඳ ගැනීමයි. නමුත් ප්‍රශ්නය වන්නේ සැබෑ ලෙසම ඔවුන් ස්ව කැමැත්තෙන්ම දිවි පිදීමට ඉදිරිපත් වන්නේද යන්නයි. මෑත ඉතිහාසයේ සති පූජාව පිළිබඳව වූ පුවතක් ජනමාධ්‍ය ඔස්සේ වාර්තා නොවූ නමුත් 80 සහ 90 දශකයන් වල සති පූජා පැවැත්වූ බවට වාර්තා පල විය.


ඉන්දියානු සම්ප්‍රදායේ බමුණු සමාජය තුළ පමණක්ද මෙවැනි යාතිකර්ම සිදු වුයේ? නැත. අතීතයේ පුරුෂයා මූලිකකොටගත් අදිකාරියක් සහිත බොහෝ රටවල මෙම සම්ප්‍රදාය ක්‍රියාත්මක වූ බවට සාක්ෂි ලැබී ඇත. ඊජිප්තුව ඇතුළු මැදපෙරදිග කලාපයේ රටවල් කිහිපයකද චීනය සහ ඇතැම් නැගෙනහිර යුරෝපා රටවලද මෙය ක්‍රියාත්මක වූ බව ඇඟවෙන සාධක හමු වී ඇත. ඒ බොහෝ ස්ථාන වල එක් පිරිමි ඇටසැකිල්ලක් සමග කාන්තා ඇට සැකිලි කිහිපයක් හමු වී ඇත. බහු විවාහ සිදු වූ එම වකවානුවේ සැමියා මිය ගිය පසුව ඔහු හා සරණ ගිය සියලුම භාර්යාවන් මේ ආකාරයට පණපිටින් වළලන්නට ඇතැයි ඉතිහාසවේදීන් මත පළ කරයි. මේවා සාමාන්‍ය ජන සමාජය තුළ පමණක් නොව රාජ්‍ය මට්ටමින් සිදු වූ වතාවත් බව සාක්ෂි පෙන්වා දෙයි.

පුරුෂාධිපත්‍ය ඉතා තදින් ක්‍රියාත්මක වූ මෙවන් සමාජ වකවානු ඉතිහාසයේ අධර්මය රජ කළ කාල වකවානු ලෙස හැඳින්වීම වරදක් නොවේ. පතිවත රැකීම නීතියක් ලෙස ක්‍රියාත්මක වූ එම සමාජයේ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගීමට සංවිධාන වූයේ නැත. සැමියා ජීවත්ව සිටිනතාක් නොව ඔහුගේ මරණයෙන් පසුවද පතිවත රැකීම අත්‍යවශ්‍යය යන නියාමය මත මෙම සති පූජා වැනි සංකල්ප බිහි වන්නට ඇත. සති පූජාවට කැප වූ ගැහැනියක පිළිපැදිය යුතු චාරිත්‍ර ගණනාවකි.


* මරණයට කැප වූ දින සිට ඇය ඉතා හොඳින් පිරිසිදුව විවාහයකට සූදානම් වන මනාලියක ලෙස සැරසී සිටිය යුතුය.

* පූජාවට පිටවී යාමට පෙර සිය දෑත් වල ගිතෙල් තවරාගත යුතුය.

* පිටව යන අවස්ථාවේ තම දෑතේ ඇති ගිතෙල් නිවසේ ප්‍රධාන උළු අස්සේ තැවරිය යුතුය.

* සැමියාගේ දර සෑය වටා තුන් වරක් යාතිකා කියමින් පැදකුණු කළ යුතුය.

* අනතුරුව දර සෑයට නැගී ගිනි ඇවිලීමට පෙර මියගිය සැමියාගේ හිස තම උකුල මතින් තබා ගත යුතුය.


අවසානයේ පූජකයන් විසින් දර සෑයට ගිනි අවුළුවනු ලැබේ. එහිදී එය නැරඹීමට පැමිණෙන මිනිසුන් "සති මාතා කී ජායි" ලෙස හඬ නැගීම සිදු වේ. එයින් පැවසෙන්නේ "සති මාතාවට ජය වේවා" යන්නයි. මේ ආකාරයට ඇවිලෙන ගින්නට තව තවත් තෙල් වර්ග දමමින් දින දොළහකට ආසන්න කාලයක් දල්වා තබන බවට පැවසේ. දින දොළහ ඉක්ම ගිය පසුව එම ගින්න නිවා දමන්නේ ගින්නට එළකිරි දැමීමෙන් බව පැවසේ. තවද එසේ ගිනිබත් වූ ස්ථානයක "සති මාතා ස්මාරකයක්" තැනවෙන අතර එම ප්‍රදේශ වල අලුතෙන් විවාහ දිවියට ඇතුළු වන විවාහකයන් සිය ලිංගික ජීවිතය ආරම්භ කිරීමට පෙර එම සති මාතා ස්මාරකයක් වෙත ගොස් ආශිර්වාද ලබාගත යුතු විය.


සති පූජාවට කැප වූ කාන්තාවකට "සති මාතා" යන ගෞරව නාමය නිතැතින්ම හිමි වන්නකි. ඉන්දියාවේ සති පූජාවට කැප වූ ඇතැම් කාන්තාවන් දේවත්වයෙන් අදහනු ලබන අතර ඔවුන් උදෙසා කෝවිල්,දේවාල තනවා තිබෙන අතර අදටත් ඒවා පවතී. විදේශිකයන්ගේ ආක්‍රමණ සමග සති පූජා පිළිවෙත් පැවැත්වීමේ යම් අඩු වීමක් සිදු වූ නමුත් එය පුළුල් පරාසයක විහිදී ගියේ නැත. සම්ප්‍රධායික හින්දු මත විදේශිකයන් හට නීති මගින් වෙනස් කිරීම පහසු නොවූ අතර අධ්‍යාපනය සහ නාගරීකරණය වැනි දෑ සමාජය ආක්‍රමණය කරන විට එය ස්වභාවිකව අඩු වීම දැකගත හැකි විය. පැවසිය යුතුම කාරණාවක් වන්නේ ඉන්දියානු සමාජය තුළින්ම පැන නැගි ආගමක් වන බෞද්ධ ධර්මයේ බලපෑම මෙවැනි පුද පුජාවන්ට ප්‍රතිරෝධී ලෙස ක්‍රියාත්මක විය. බුදුන් වහන්සේගේ දේශනාවන් තුළ සෑම ජීවියෙකුටම ජීවත් වීමේ ඇති අයිතිය සමාජගත විය. ඒ ඔස්සේ සම්ප්‍රධායික බ්‍රාහ්මණ මත දැරූ දස දහස් සංක්‍යාත පිරිස් එම දහම සරණ යෑම ඔස්සේ සමාජ ශෝදනයක් ඇති විය. ඊට අමතරව එවක තිබූ ජෛන ආගම, ශික්වරුන්ගේ දහම සති පූජාව වැනි පිළිවෙත් බැහැර කරන්නට යෙදුනි.



කරුණු කාරණා සලකා බැලූ විට පෙනී ගිය කාරණයක් නම් සතියට කැප වූ කාන්තාවන් අතරින් බහුතරයක් එයට කැප වී ඇත්තේ ස්ව කැමැත්තකින් නොව සමාජයේ බල කිරීම මත බවයි. 1829 වසරේ සිට ඉන්දියාවේ විවිද ප්‍රාන්ත තුළින් සති පූජාව තහනම් කරමින් නීති පනත් සම්මත විය. වර්තමානය වන විට මුළු ඉන්දියාව පුරාම මෙය නීතියක් ලෙස ක්‍රියාත්මක වන අතර මෙය ක්‍රියාත්මක කරන්නන් හට මිනී මැරීමේ චෝදනාව යටතේ දඬුවම් කිරීමට කටයුතු කෙරේ. කෙසේ වෙතත් ඉන්දියාව වැනි ඉතා විශාල බහු වාර්ගික රටක් තුළ මෙය අකුරටම ක්‍රියාත්මක කිරීමට හැකිද යන්න ඉතා ගැටළු සහගතය. නිළ නොලත් මට්ටමෙන් ලැබෙන වාර්තා අනුව අදටත් හොර රහසේ සති පූජා උත්සව ඔස්සේ කාන්තාවන් මරණයට කැප කිරීම සිදු වේ. ඒවා ප්‍රසිද්ධ මාධ්‍යට නිරාවරණය නොවන අතරම ලෝකයටද  අනාවරණය නොවේ. කෙසේ වෙතත් ඉන් අහුරනු ලබන්නේ තවත් මනුෂ්‍ය ජීවිතයකට ජීවත් වීමට ඇති අයිතියයි. මෙවන් ම්ලේච්ජ ක්‍රියා අවම කිරීම සඳහා නීති රීති පමණක් නොසෑහෙන අතර පුළුල් සමාජ ශෝදනයක් ඔස්සේ ආකල්ප සංවර්ධනයක් අත්‍යවශ්‍ය වන්නේය.

_අයේෂ් ලියනගේ_






2 comments:

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators