Tuesday, June 2, 2015

විනිශ්චය - (සත්‍ය සිදුවීමක් ඇසුරෙනි)

ශ්‍යල්‍ය වෛද්‍යවරයා කලබලයෙන් රෝහල වෙත පැමිණියේය. ඔහු කිසිවෙක් ගැන නොසලකමින් හැකිතරම් වේගයෙන් ගමන් කළේ ශ්‍යල්‍යගාරය වෙතයි. ශ්‍යල්‍යගාරයට ඇතුළු වීමට පෙර එහි සිටි පුද්ගලයෙක් ඔහුගේ මග ඇහිරෙන ලෙස සිටගත්තේය. ඔහු තරමක් කෝපාන්විත බැල්මකින් වෛද්‍යවරයා දෙස බලා ඔහුව අමතන්න විය.

"ඇයි ඔබතුමා මේ තරම් වෙලාවක් ගත්තේ මෙහෙට එන්න? ඇක්සිඩන්ට් වෙලා ඉන්නේ මගේ පුතා. එයාට හොඳටම අමාරුයි. ඩොක්ටර් කෙනෙක් වෙලත් ඇයි ඔබතුමාට වගකීමක් ගැන හැඟීමක් නැත්තේ...?

එම අවස්ථාවේ වෛද්‍යවරයා ඔහුට මද සිනහවකින් සංග්‍රහකොට මෙසේ පවසනවා

"මට සමාවෙන්න... මම ඉස්පිරිතාලයෙන් පිටයි හිටියේ. මට දුරකථන ඇමතුම ආපු වෙලාවේම මම පුළුවන් තරම් ඉක්මනින් මෙහේ එන්න පිටත් උනා. මට තේරුම් ගන්න පුළුවන් ඔබ ඉන්න තත්වය. ඒ නිසා මම මට කරන්න පුළුවන් හැම දෙයක්ම මම කරනවා. ටිකක් සංසුන්වෙලා ඉන්න බලන්න."

"සංසුන් වෙන්න...! දොස්තර මහත්තයෝ මේ දේ ඔයාගේ දරුවෙක්ට උනානම් මොකද වෙන්නේ? මොකද වෙන්නේ..? ඔයාට පුළුවන්ද එහෙනම් සංසුන් වෙන්න?

ඔහු තරහින් පුපුරන්න උනා. වෛද්‍යවරයා එක්වරම නිහඬ විය. වරදක් කළ අයෙකු ලෙස ඔහු හිස බිමට පහත්කොට කල්පනා කරන්නට උනා. එක්වරම හිස එසවූ වෛද්‍යවරයා මෙසේ පවසනවා.

"මට කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා ඔබගේ පුතා වෙනුවෙන්. මාව විශ්වාස කරන්න."

එසේ පැවසූ ඔහු සැනෙකින් ශ්‍යල්‍යගාරයට ඇතුල් වෙනවා.

ආවේගය පහව නොගිය බැවින් අනතුරට ලක් වූ තරුණයාගේ පියා ඔහු පිටවී ගිය පසුව තනිව මෙසේ පවසයි.

"ඕන කෙනෙක්ට උපදේශ දෙන්න පුළුවන්. ඒත් ඒ කිසි කෙනෙක් අපි ඉන්න තත්වේ තේරුම් ගන්නේ නැහැ"

ශල්‍යකර්මය සඳහා පැය කිහිපයක් ගත විය. පිටත සිටින පියා නොඉවසිල්ලෙන් කොරිඩෝවේ එහා මෙහා ඇවිදිමින් සිටියේ අවිනිශ්චිත ස්වභාවයකිනි. අවසානයේ වෛද්‍යවරයා පිටතට පැමිණියේය. පියා ඔහු දෙසම බලා සිටි අතර වෛද්‍යවරයාගේ මුහුණේ වූ මද සිනහව දැක තරමක් සංසුන් ස්වභාවයට පත් විය.

"දෙවියන්ට ස්තූති කරන්න. අපට ඔබගේ පුතාගේ ජීවිතය බේරගන්න පුළුවන් උනා. දැන් ප්‍රශ්නයක් නැහැ. එයා අවධානමෙන් ගැලවුණා."
එම වදන් පෙළ ඉක්මනින් කියූ වෛද්‍යවරයා ඔහුගේ ප්‍රතිචාරය හෝ බලාපොරොත්තු නොවී ඉක්මන් ගමනින් පිටවී යන්නට උනා. ඒ යන අතරතුර නැවත හැරී මෙසේ පවසනවා.

"ඔබට යමක් දැනගන්නට තියෙනවානම් නර්ස් කෙනෙක්ගෙන් ඒ අවශ්‍ය දේවල් දැනගන්න පුළුවන්...."

පියා හනි හනිකට දිව යන වෛද්‍යවරයා දෙස පුදුමයෙන් මෙන් බලා සිටියේය. ඔහු මේ තරම් අහංකාර අයෙක්ද? යැයි ඔහු සිතන්නට උනා. එම අවස්ථාවේම ශල්‍යාගාරය තුළ සිටි හෙදියක පිටතට පැමිණි අතර ඔහු ඇයගෙන් තම පුතු පිළිබඳව විමසා සිටියේය. ඒ අසා අවසන් වූ විට ඔහු කිසියම් චෝදනාවක ස්වරූපයෙන් පිටව ගිය වෛද්‍යවරයා ගැන කතා කරන්නට උනා.

"මිසී ඇයි අර දොස්තර මහත්තයා අර තරම් අහංකාර. මගේ පුතා ගැනවත් නිකමට ඇහුවේ නෑ. අඩුමගානේ මම එයාට ස්තූති කරනකන්වත් හිටියේ නැතුව යන්න ගියා."

හෙදිය ඔහු දෙස බලා සිට අපහසුවෙන් මෙන් ඉවත බලා යමක් කීමට සැරසෙත්ම ඇයගේ දෙනෙතින් කඳුළු එකින් එක කඩාවැටෙන්නට විය. ඇය කඳුළු අතරින් වචන ගැටගසන්නට විය.

" ඒ දොස්තර මහත්තයාගේ එකම පුතා දවස් දෙකකට උඩදී ඇක්සිඩන්ට් එකකින් නැති උනා. මේ ඉස්පිරිතාලේටම ඉන්න හොඳම දොස්තර මහත්තයා එයා තමයි. එයාගේ පුතාගේ මරණේ අවසන් වැඩකටයුතු අද හවස. ඔය ඒකටයි හනික දිවුවේ. අපි කෝල් එක දුන්න වෙලාවේ ආයේ දෙපාරක් හිතන්නේ නැතුව ඔපරේෂන් එකට එන්න එයා කැමති උනා. එහෙම ඇවිල්ලා තමයි ඔයාගේ පුතාගේ ජීවිතේ එයා බේරගත්තේ. ඒත් එයාට තමන්ගේ පුතාව ගොඩ ගන්න බැරි උනා........"

එසේ පැවසූ හෙදිය දෑසේ කඳුළු පිසිමින් එම ස්ථානයෙන් පිටවී යන විට කොරිඩෝවේ තනි වූ මිනිසා එහි වූ කණුවකට බර දී බිම හිඳගත්තේ හදවතින් නැගෙන වේදනාවේ බර දරාගැනීමට අපහසු නිසාය. 

............................................................................................................
( සෑම අවස්ථාවකම අනෙකාව විනිශ්චය කිරීමට නොයන්න. මන්ද ඇතැම්විට ඔබ නොදන්නා සහ ඔබට අවබෝදකොටගත නොහැකි ආකාරයේ බොහෝ දුක් කම්කටොළු අනෙකාගේ ජීවිතය පිටුපස සැඟවී තිබිය හැක)


පරිවර්තනය - 
_අයේෂ් ලියනගේ_




No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators