Sunday, July 19, 2015

ගම්මඩු ශාන්තිකර්මය - සෞභාග්‍ය උදෙසා යැදීම

ලාංකේය ග්‍රාමීය ජන සමාජය මුල්කොටගත් මෙරටට අනන්‍ය වූ ජන සංස්කෘතියක් අප කොදෙව්ව තුළ මුල් බැසගෙන තිබුණි. දිවයින පුරා ප්‍රදේශයෙන් ප්‍රදේශයට අවේනික වූ ජන සංස්කෘතීන් තුළින් පෝෂණය ලැබූ ජනශ්‍රැතින් (Folklore) යනු කලෙක මිනිසුන්ගේ ප්‍රධාන විනෝදාත්මක උත්පාදනයන් විය. මෙරට තුළ පමණක් නොව ලොව ඕනෑම රටක මහා සංස්කෘතිය නිර්මාණය වන්නේ ජනශ්‍රැති මූලිකකොටගෙනයි. ශ්‍රී ලංකාවේ රුහුණු ප්‍රදේශය පිළිබඳව සඳහන් කරන්නේනම් මෙම ප්‍රදේශයටම අවේනික වූ ජනශ්‍රැතින් ගණනාවක් වෙන් වෙන් වශයෙන් හඳුනාගත හැක. මා මෙහි සඳහන් කරන්නේ එවන් එක් ජනශ්‍රැතියක් වූ "ගම්මඩු ශාන්තිකර්මය" පිළිබඳව මා විසින් කළ සමීක්ෂණයකින් උපුටාගත් කෙටි විස්තරයකි.


මෙය ශාන්තිකර්ම ගණයට අයත් වන ජනශ්‍රැතියකි. දකුණු ප්‍රදේශයට ආවේනික වූ ශාන්තිකර්මයක් වුවත් ලංකාවේ වෙනත් ප්‍රදේශ වලද මෙය පවත්වනු ලබයි. දෙවොල් මඩු, පත්තිනි මඩු, මහා දේව ශාන්තිකර්මය ආදී නම් වලින්ද මෙම ශාන්තිකර්මය හඳුන්වන අතර බොහෝවිට කෘෂිකර්මාන්තය මූලිකකොටගත් ග්‍රාමීය ප්‍රදේශ වල මෙම ශාන්තිකර්මය පැවැත්වීම සිදු කෙරේ. අතීතයේ මෙය පවත්වනු ලැබූයේ ප්‍රධාන වශයෙන් කමතකය. නැතිනම් වැව් ඉස්මත්තක හෝ ගං කඩිත්තක් ආශ්‍රිතවයි. පත්තිනි දේවාල ආශ්‍රිතවද මෙය බොහෝ විට පැවැත්වූයේ මෙම ශාන්තිකර්මය පත්තිනි දේවිය මුලිකකොටගෙන පවත්වන ශාන්තිකර්මයක් නිසාය. මිනිසුන්ටත් ඔවුන්ගේ කර්මාන්ත වලට සහ ඔවුන් ජීවත් වන ස්ථානයන්ට හා ප්‍රදේශ වලටත් බලපාන්නා වූ අපල උපද්‍රව රෝග පීඩා ඇතුළු නොයෙකුත් කරදර වලදී මඩු ශාන්ති කර්මයක් පවත්වා දෙවියන්ගේ ආශිර්වාදය සහ පිහිට ලබා ගැනීම මිනිසුන් විසින් සිදු කරයි.



ගම්මඩු ශාන්තිකර්මයේ ඉතිහාස කතාවක් වෙයි. එය මෙසේය. ඉන්දියාවේ රජකම් කළ සේරමාන නම් රජෙකුට දිනක් රාත්‍රියේ ගෝනෙකුගේ කෑගැසීමක් හේතුවෙන් නින්ද අහිමි විය. නොනවත්වා ඇති වූ කෑගැසීම නිසා කෝපයට පත් රජු ගෝනා මැරීමට රාජ පුරුෂයන්ට නියෝග කළේය. රාජ පුරුෂයින් ගෝනා මැරීමට ඌ පසුපස එලවද්දී ගෝනාගේ පය පැටලී ඒ ආසන්නයේ තිබූ රජුට අයත් උයනෙහි පොකුණට වැටී මරණයට පත්විය. රජතුමා විසින් මෙය තමාට කල බව දැනගත් ගෝනා රජු කෙරෙහි උපන් වෛරයෙන් මරණයට පත් විය. පසුව එම ගෝනා එම පොකුනෙහිම කුඩා මැඩියෙක්ව නැවත උත්පත්තියක් ලැබුවේ රජුගෙන් පළි ගැනීමේ චේතනාව ඇතිවයි.


දිනක් තම උයනට ගිය රජු පොකුණේ පිපී තිබූ මානෙල් මලක් කඩා සුවද ආඝ්‍රහණය කිරීමට සැරසෙත්ම මල යට සැගවී සිටි ගෙම්බා නහය දිගේ රජුගේ මොලය කරා රිංගා ගිය බව පැවසේ. මෙයින් රෝගාතුර වූ රජුට විවිද ප්‍රතිකාර කලද සුවයක්නම් නොවීය. දිනක් රාත්‍රියේ රජු අතිශය රූමත් කතක් සිහිනෙන් දුටු අතර මේ පිළිබදව පුරෝහිත බමුණන්ට දැන්වූ විට ඔවුන් පවසා සිටියේ සිහිනෙන් එලෙස පෙනී සිටියේ පත්තිනි මෑණියන් බවයි. තවද ඇයගේ ශාපයක් රජුට ඇති බව ඔවුහු පැවසූහ. ශාපය නැති වීමටනම් බොදු දහම ඇති රටකට ගොස් පිං පැමිණ විය යුතු බවද ඔවුහු පැවසූහ. ඒ අනුව බොදු දහම රැකී තිබූ ශ්‍රී ලංකාවට පැමිණීමට ඔවුන් තීරණය කළ අතර නැව් මගින් මුහුදු තරණය කොට පැමිණ "වත්තල් තොටින්" මෙරටට ගොඩ බැසීය. එසේ පැමිණි සේරමාන රජු කැළණි විහාරය වැඳ පුදාගැනීමෙන් අනතුරුව නවගමුවේදී ඔහුගේ හිසේ ප්‍රමාණයට සෑදු රන් අඹ ගෙඩියක් පූජා කරන ලදැයි පැවසේ. එම සියලු වතාවත් අවසානයේ යාගය සිදු කරන ලදී. එම යාගය සිදු කරන ලද්දේ රුවන්වැල්ල ප්‍රදේශයේය. එසේ සිදු කළ යාගය ගම්මඩු ශාන්තිකර්මය නැතිනම් දෙවොල් මඩු ශාන්තිකර්මය ලෙස හැඳින්වීමට යෙදුනි.


අපගේ ග්‍රාමීය ප්‍රදේශ වල මෙම ගම්මඩු ශාන්තිකර්මය පවත්වන්නේ කෘෂිකර්මාන්තය උදෙසා වූ යැදීමක් ලෙසයි. විශේෂයෙන්ම සිංහල නව වසර උදා වීමට මත්තෙන් "යල කන්නයේ" ලද භව භෝග සම්පත් දෙවියන් උදෙසා පූජා කිරීම උදෙසා වර්තමානයේ ගම්මඩු ශාන්තිකර්මය පවත්වනු ලැබේ. මියගිය හිත මිත්‍රාදීන් උදෙසා පිං පැමිණවීමද මෙහිදී සිදු වේ. ඒවායින් මූලික වශයෙන් ගැමි ජනයා අපේක්ෂා කරනුයේ සශ්‍රීකත්වයයි. ඉරට ස්තූති කිරීමද, වැස්ස වලාහක දෙවියන්ට ස්තූති කිරිමද මෙහි තවත් මූලික අරමුණකි. ගම්මඩුව කිරීමට පෙර සතියක පමණ පෙර සිට පේ වීම (සූදානම් වීම) සිදු කරයි. එහිදී නිර්මාංශ ආහාර අනුභව කරමින් සත්ව ආහාර එකතු නොවන ලෙස වතාවත් සිදු කරනු ලබයි. ගම්මඩුව පැවැත්වීමට ප්‍රථම "පොර පොල් ක්‍රීඩාවේ" යෙදීම අනිවාර්ය අංගයක් ලෙස සැලකේ. එහිදී "උඩු පිල" සහ "යටි පිල" වශයෙන් බෙදී කණ්ඩායම් දෙකක් ක්‍රීඩා කරන අතර "යටි පිල" ජයග්‍රහණය කිරීම සෞභාග්‍යය උදා කරන බවට ජනතාව අතර විශ්වාසයක් පවතින බැවින් බොහෝ අවස්ථාවල "යටි පිලට" ජයග්‍රහණය ලබා දීම සිදු වේ. එම වතාවත් අවසානයේ එම ක්‍රීඩාවට සහභාගී වූ පිරිස් ශබ්ද නගා කවි ගායනා කරමින් ගම වටා ඇවිද යයි. හත්වැනි දවසේ යකැදුරන් සහ නර්තන ශිල්පීන් පැමිණ ගම්මඩු ශාන්තිකර්මය ආරම්භ වේ. "කප්රුක පූජාව" නම් වූ යාතිකාවෙන් ගම්මඩුව ආරම්භ වේ.

එහිදී වතාවත් ගණනාවක් පුරා රාත්‍රියක් පුරා සිදු කරනු ලබයි. අතීතයේ අවට ප්‍රදේශයන්හි ගම් හතක මිනිසුන් මෙය නැරඹීමට පැමිණේ. පහත සඳහන් වන්නේ එවන් වතාවත් කිහිපයකි .


මැල කැපීම

පහන් පූජාව

කාල පන්දම් පිහිටුවීම

පිදේනි පිදීම

යහන් පිදීම

බිසෝ කප් සිටුවීම

තොරන් යාගය

පත්තිනි නැටුම

තෙල්මේ නැටුම

වාගල නැටුම

අඹ විදමන

රාම මැරිල්ල සහ මරා ඉපද්දවිම

දෙවොල් නැටුම

කිරි ඉතිරවීම

ගරු නැටුම

දෙවියන්ට පින්දීම සහ කිරි දානය


වර්තමානය වන විට මෙවැනි යාතිකර්ම පැවැත්වීම සීමා වී ඇත. එයට බොහෝ හේතු කාරණා පාදක වී ඇති ඇති අතර සාම්ප්‍රධායික ශිල්පීන්ගේ හිඟයක්ද නිර්මාණය වී ඇත. අද වන විට බොහෝ ශිල්පීන් මෙම ශාන්තිකර්මයට සම්බන්ද වී සිටිනුයේ සිය පාරම්පරික උරුමය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය මතයි. ඒ හැර ඔවුනට මෙය ස්ථිර ආදායමක් ලැබිය හැකි මට්ටමේ වෘතියක් නොවන්නේය. එබැවින් එම ශිල්පීන් හට වෙනත් ජීවන මාර්ග සොයාගැනීමට වත්මනේ සිදු වී ඇත. තවද නව පරම්පරාවේ පිරිස් මෙවැනි සාම්ප්‍රදායික උරුමයන් පවරාගැනීමට ඇති මැලිකමද ඔවුන් නව්‍යකරණය වූ සමාජය සමග වෙනත් වෘතීමය අවස්ථා සොයා යැමත් හේතුකොටගෙන අනාගතයේ මෙවන් සාම්ප්‍රදායික කලාවන් අභාවයට යෑමේ අවදානමක්ද ඇත. රාජ්‍ය මට්ටමෙන් අධ්‍යාපනික වශයෙන් හෝ සලකා මෙවන් කලාවන් රැක ගැනීමට අවශ්‍ය විදි විදාන නොයෙදුවහොත් ජන සංස්කෘතියෙන් ලද උරුමය අහිමි වීම ස්ථිරය.


_අයේෂ් ලියනගේ_



                          බද්දේගම, ඉඳිගස්කැටිය ප්‍රදේශයේ පැවැත්වූ ගම්මඩු ශාන්තිකර්මය 


                                 ගිනි පෑගීම මෙහි ප්‍රදාන අංගයකි  

2 comments:

  1. ඔබගෙ ලිපිය ඉතාමත් අගනේ ය..මට ගොඩාක්ම වැදගත් උනා..පුලුවන් නම් ගම්මඩුවක් පවත්වන ආකාරය පුළුල්ව ලියන්න පුලුවන්ද

    ReplyDelete
  2. මෙම ලිපිය ඉතාමත් අගනේ ය.ඔබට බොහොම ස්තූතියි.ගම්මඩුවක අරමුණු මොනවාද යන්න පුළුල් ලිපියක් ලිවීමට හැකි ද.

    ReplyDelete

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators