Saturday, July 4, 2015

දිරියෙන් නැගී සිටි අබාධිත ගුරුවරයා - Hirotada

නමින් Hirotada Ototake නම් වන ඔහු ජපානය තුළ ප්‍රකට චරිතයක් බවට පත් වන්නේ මීට වසර කිහිපයකට පෙර රචනා කරන ලද "No One's Perfect " නම් ග්‍රන්ථය නිසාවෙනි. මෙලොව වෙසෙනා කිසිවෙකුත් පරිපූර්ණ නැති බව පවසන මේ මිනිසාද එසේම වන්නේය. මන්ද ඔහු උපතින්ම අත් පා අහිමි මිනිසෙකු ලෙස මෙලොවට පැමිණි බැවිනි. අත් පා තිබූ පමණින් මිනිසෙකු පරිපුර්ණ වන්නේ නැත. අත් පා නොතිබුණා යැයි අසම්පූර්ණ වන්නේද නැත. ඒ බව Hirotada Ototake ගේ ජීවිතය ලෝකයට උදාහරණයක් සපයා ඇත. අද වන විට ඔහු වෘතියෙන් පාසල් ගුරුවරයෙකි. දරුවන් වෙනුවෙන් දැඩි සේ කැප වන ධෛර්යමත් ගුරුවරයෙකි. 1976 වසරේ අප්‍රේල් මස 6 වන දින ජපානයේ ටෝකියෝ නගරයේදී උපන් Hirotada මේ වන විට සිය ජීවිතයේ 39 වන විය පසු කරමින් සිටී. ජීවිතයේ මෙතෙක් පැමිණි මග නැවත සිහි කරන විට විශාල තෘප්තියක් දැනෙන බව පසුගිය දිනෙක ඔහු මාධ්‍යට ප්‍රකාශකොට තිබුණා.


පාසල් ගුරුවරයෙකු ලෙස ළමයින් සමග කටයුතු කිරීමේදී ඔබගේ ඇති අබාධිතබව ගැටළුවක් නොවන්නේදැයි වරක් මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට ඔහු මෙලෙස පිළිතුරු දුන්නා. " ජීවිතයේ හැම දෙයක්ම අභියෝගයක්. ප්‍රධානම දේ වන්නේ අපි ඊට මුහුණ දීම. ඕනෑම ගැටළුවකින් පැන යන්න මට පුළුවන්. ඒ වෙන දෙයක් නිසා නෙමෙයි. ඒ මම ඊට මුහුණ දෙන නිසා. මම ඒ ගැටළුව අතරින් යනවා. ඒ කියන්නේ බිය නොවී ඊට මුහුණ දෙනවා. යම් දිනෙක ගැටළුව අවසන් වෙයි. ඒ වන විට නිසැකවම අප අභියෝගය ජයගෙන තිබේවි." ඔබගේ අනාගත අරමුණු මොනවාදැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයට ඔහු මදක් නිහඬව හිඳ දුන් පිළිතුර මෙසේ විය. 


" අනෙක් හැම ගුරුවරයෙක්ටම තිබෙන බලාපොරොත්තු මටත් තිබෙනවා. සාමකාමී ලොවක් නිර්මාණය කිරීමට මුල් වන දරු පිරිසක් නිර්මාණය කිරීමට මට අවශ්‍යයි. ඒ වෙනුවෙන් මං හැම විටෙකම ඔවුන්ට දිය යුතු දේ දීමට පැකිලෙන්නේ නැහැ. ඔවුන් සිතන පතන ආකාර හඳුනාගැනීමට මට පුළුවන්. ගුරුවරයෙකු කලයුතු මුල්ම කාර්යය වන්නේ තම සිසුවාගේ මානසික තත්වය තේරුම් ගැනීම බව මම තදින් විශ්වාස කරනවා. මම රෝද පුටුවෙන් පාසලේ හැම පංති කාමරයකටම මම යනවා. දරුවන් මාව තේරුම් අරගෙන තිබෙන බව මට පැහැදිලියි. ඒ මම අබාධිත නිසා නොවෙයි . මමත් ඔවුන්ව තේරුම් ගන්නා නිසා.


එදිනෙදා පාසලේ වැඩ කටයුතු තනිව සිදු කරගැනීමේදී පාසල් දරුවන්ගේ හෝ කාර්යමණ්ඩලයේ සහාය ඔබට හිමි වේද යන්න අසූ විට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය . " ඔව් ඔවුන් මට සහාය වනවා. නමුත් ගුරුවරයෙක් කළ යුතු දෙය මම විසින්ම කළ යුතුයි. හුණු කෑල්ල කම්මුල මත හෝ දෙතොල් අතර රඳවාගෙන මා කළු ලෑල්ල මත අවශ්‍ය දේවල් ලිවීම සිදු කරනවා. දරුවන් එකිනෙකාගේ සාධනීය මට්ටම් හැම විටම සොයා බලනවා. ඇතැම් අවස්ථාවක ඔවුන්ගේ දැතින් ඇල්ලීමට, ආදරණිය ලෙස හිස අතගෑමට මට අවශ්‍ය වුවත් එය සිදු කිරීම මට කළ නොහැකියි. නමුත් දරුවන් මා අසලට පැමිණ මාගේ ඇඟේ දැවටෙනවා. මාගේ උරහිස් ස්පර්ශ කරමින් ඔවුන්ගේ ආදරය මට දැනීමට සලස්වනවා. එය මට විශාල සහනයක්. ඇත්තෙන්ම ඔවුන්ගේ ආදරය මට දැනෙනවා."


කුඩා කාලයේ සිට ඔබගේ බලාපොරොත්තුව වූයේ ගුරුවරයෙක් වීමද? යන ප්‍රශ්නයට ඔහු දුන් පිළිතුර මෙය විය.

ඔබ විශ්වාස කරන එකක් නැහැ මටත් අවශ්‍ය වූයේ ඔබල වැනිම මාධ්‍යවේදියෙකු වීමටයි. කුඩා කළ සිට මම ක්‍රීඩාවට ඉතා ආසයි. අබාධිත බව තිබුනත් පා පන්දුවකින් ක්‍රීඩා කිරීමට, බේස් බෝල් ක්‍රීඩා කිරීමට මම මට කළ හැකි හැම දෙයක්ම කළා. පරිපූර්ණ ක්‍රීඩකයෙකු වීමට මට නොහැකියි. නමුත් මං උත්සාහ කළා. අවසානයේ ක්‍රීඩකයෙක් විය නොහැකිනම් ක්‍රීඩා මාධ්‍යවේදියෙකු වීමට මට අවශ්‍ය උනා. ඒත් ඒක නෙමෙයි මගේ දෛවය. අවසානයේ මම ගුරුවරයෙක් උනා. ඒ නිසයි මම හැම විටම කියන්නේ අප කිසිවෙක් සර්ව සම්පූර්ණ නැති බව. නමුත් අප යමක් කළ යුතුයි. කළ යුතු දෑ නිවැරදිව කළ යුතුයි. ගුරුවරයෙක් වූවාට පසුව මට ඉගැන්වීමට සිදු වූයේ ප්‍රාථමික අංශයේ දරුවන්ට. ඇත්තටම ඔවුන් මෙහෙයවීම ඉතා අපහසුයි. නමුත් ඔවුන් නිසි පරිදි මෙහෙයවිය යුතුයි. එහි වගකීම මා සතුයි. පළමු ශ්‍රේණියේ සිට පස් වන ශ්‍රේණිය දක්වා වූ වයස් මට්ටම් වල සිටිනා දරුවන් සමග මා කටයුතු කරන බැවින් ඔවුන් සමග ගනුදෙනු කිරීමේ කලාව මා හට දැන් හොඳට පුරුදුයි. ප්‍රාථමික අධ්‍යාපනය ලබන කාලයේදී දරුවන් හට නිවැරදි දේ දිය යුතුයි. එය ඔවුන්ගේ අනාගත ජීවිතයම දරා සිටින අත්තිවාරම වනවා.


සමාජයට ලබා දීමට පණිවිඩයක් ඇත්දැයි ඔහුගෙන් විමසන ලදී.


" ඔබ හැම විටම ඔබගේ ශරීරය නොව මනස විශ්වාස කරන්න. ඔබට අත පය සියල්ල තිබුනත් නැතත්, ඔබ කෙට්ටු උනත් මහත උනත්, කළු උනත් සුදු උනත් ඒ කිසිවක් ජීවිතය ජය ගැනීමට බාධාවන් නොවෙයි. අභියෝගය ඇත්තේ සිත සමග පමණයි. අත්දැකීම් ඇසුරෙන් ඉගෙන ගන්න. එය ඉතා වැදගත්. තවත් ඉල්ලීමක් කිරීමට කැමතියි. අබාධිත දරුවෙක් වෙයිනම් ඔවුන් කිසි දිනෙක කොන් කර සලකන්න එපා. ඔවුන්ට අධ්‍යාපනය ලැබීමට, ජීවිතය ජය ගැනීමට අවශ්‍ය පරිසරය සියලු දෙනා සපයා දිය යුතුයි. මා දන්නවා බටහිර රටවල මෙන් නොවේ දියුණු රටක් වන ජපානය තුළ පවා අබාධිත මිනිසුන් වෙනුවෙන් සපයා ඇති පහසුකම් අවමයි. එය කණගාටුවට කරුණක්. එය වෙනස් විය යුතුයි. මාගේ යම් හැකියාවක් වෙත්ද, එය ඔවුනට අවශ්‍ය සමාජ අවධානය ලබා දීම පිණිස හැම විටම යොදා ගන්නා බව ඔහු තව දුරටත් පැවසීය." 

_අයේෂ් ලියනගේ_ 








1 comment:

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators