ළදරු අවදියේදී ලොර්කා යම් අබාධ තත්වයකට ගොදුරු වී හරි හැටි ඇවිද කියාගැනීමට හෝ නොහැකි ලෙස සිටි බව පැවසේ. එහි බලපෑමක් නිසාවෙන් පසු කලෙක ඔහු ඇවිදයන විට සුළු කොර ගතියක් දක්නට ලැබුණු බවද කියැවේ. ලොර්කාගේ ළමාවිය ගත වන්නේ ඉතා විනෝදශීලි සමාජ වටපිටාවක් තුළයි. විශේෂයෙන්ම ඔහුගේ මව සේම පියාද සංගීතයට බොහෝසේ ලැදි මිනිසෙක් වූවේය. ස්පාඤ්ඤ ජන ගීයටත් ගිටාරයටත් පෙම් බැඳි ඔහු නිතර නිතර තම නිවසේ උත්සව ආදීය සංවිධානය කරන්නට වූ බැවින් සංගීතය සහ ගීතය ලොර්කාගේ දෙසවන තුළ නිරන්තර රැව් දෙන්නට ඇත. තවද ඔහුගේ කුඩා කාලයේ ගුරුවරයා වූ අන්තෝනියෝ නම් වූ ගුරුවරයා ඔහුගේ ජීවිතයේ බොහෝ වෙනස්කම් වලට හේතුවක් වූ බව පසුකලෙක පවසා ඇත. ගහට කොළට පෙම් කිරීමට, එහි වූ සුන්දරත්වය විඳීමට සහ සංස්කෘතිය හැදෑරීමට එම ගුරුවරයා දුන් මගපෙන්වීම කවියෙකු වීමට අවශ්‍ය මූලික අඩිතාලම දමන්නට ඇත. පසු කලෙක සිය ළමා කාලයේ මතක පිළිබඳව ලියූ ලෝර්කා එකී මතක අතර සිය ගුරුවරයා පිළිබඳවද ගෞරවයෙන් සටහන් තබා ඇත.
මෙම මහා කවියාගේ සාහිත්‍ය ලෝකයට අවශ්‍ය අමුද්‍රව්‍ය බොහොමයක් ඔහුට හසුවන්නේ තම ළමාවිය තුළින්මය. සොබාදහම සහ ඒ හා සබැඳුනු ස්පාඤ්ඤ ගැමි සංස්කෘතිය ඔහුගේ කාව්‍ය උත්පාදනය විය. Generation 27 නම් වූ ස්පාඤ්ඤ සාහිත්‍ය ධාරාවේ පුරෝගාමියා වූයේ ගාර්ෂියා ලොර්කාය. එම සාහිත්‍ය ධාරාවේ කවීන් සංස්කෘතිය මුල්කරගත් නිර්මාණ බිහි කිරීමට උරදුන් පිරිසක් වූහ. ඔවුන්ගේ මෙම සාහිත්‍ය සම්ප්‍රදාය "Vanguardia" ලෙස හඳුන්වනු ලබයි. නව්‍යකරණය , සංස්කෘතිය සහ ප්‍රේමය යන කාරණා මුල්කරගනිමින් මෙම සාහිත්‍ය ධාරාව බිහි විය. ස්පාඤ්ඤ භාෂාව බහුල ලෙස භාවිතා වන "ලතින් ඇමරිකානු" සාහිත්‍ය බිහි වීමටත් ස්පාඤ්ඤ තුළ බිහි වූ මෙම සාහිත්‍ය ප්‍රවණතාවන් බෙහෙවින් ඉවහල් විය. නව සම්ප්‍රදායන් බිහිවීම තුළ මෙලෙස ස්පාඤ්ඤ භාෂාව මුල්කරගත් සාහිත්‍ය අනන්‍යතාවක් ලෝකයේ බිහිවිය. ගාර්ෂියා ලොර්කා යනු එහි මූලාරම්භකයෙකි.
ඔහු තම ජීවිතය පිළිබඳව ලියූ සටහනක මෙසේ පවසා තිබෙනවා. "අන්දලුසියා භූමියේ මතකයන් මාගේ මනස තුළ නිරන්තර සිතුවම්පට සේ ඇඳී යයි. තිරිඟු වතු ,ඒවායේ සේවය කළ ගැමි මිනිසුන්, කඳු වළල්ල, සංගීත රාවයන්, කුරුල්ලන් සහ අනෙක් සිව්පාවුන් මාගේ මනස තුළ සැරිසරයි. එම භූමියට මාව ඇද බැඳ තබාගත් ලෙසට මම ඒ මතකයන් තුළ ජීවත් වන්නෙමි. මාගේ කාව්‍යයන් යනු එකී මතකයේ භාෂාවයි"
1908 වසරේදී ග්‍රැනාඩා විශ්ව විද්‍යාලයට ඇතුලත් වූ ලෝර්කා එහිදී දර්ශනය සහ නීතිය යන විෂයන් හදාරන ලදී. ඒ අතරතුර කාලයේදී ඔහු සංගීතයද විෂයයක් ලෙස හැදෑරුවේය. 1914 වසරේදී විශ්ව විද්‍යාල ජීවිතයට සමුදුන් ලෝර්කා අනතුරුව පූර්ණකාලීන ලේඛනයට යොමු වූවේය. කවියෙක් ලෙස අනන්‍යතාවක් ගොඩනගාගැනීමට පෙර ඔහු ගද්‍ය රචකයෙක් ලෙස ලේඛනයේ නියැලෙන්නට විය. එවක විසූ ප්‍රබුද්ධ ලේඛකයන් බොහොමයක් ඇසුරු කිරීමේ වරම් ලොර්කා හට හිමි විමත්, සාහිත්‍ය සංවාද හා එක් වීමට අවකාශ සැලසීමත් හේතුකොටගෙන ඔහුගේ අභ්‍යන්තරයේ වූ සාහිත්‍යකාමියා කෙමෙන් අවදිවන්නට විය. ස්පාඤ්ඤ මහා කවියෙකු වූද නූතනවාදී කවියෙකු වූ "අන්තෝනියෝ මචාඩොගේ" ඇසුර ලොර්කා හට විශාල දැනුම් සම්භාරයක් රැගෙන එන්නට ඇත. ඔවුන් බොහෝ අවස්ථාවල එකට එක්ව සංගීත කටයුතු කිරීමටත් ගීත ගායනයත් කරන්නට වූ අතර අන්තෝනියෝ මචාඩො ලොර්කාගේ කාව්‍යාත්මක ලක්ෂණ දැක ඔහුව කාව්‍ය නිර්මාණයට යොමු කොට ඇත. 1917 වසරේ ලොර්කා සිය ප්‍රථම කාව්‍ය සංග්‍රහය ලියා පළකරයි. එය "Cancion ensuenos" නම් විය.
1919 වසරේ සිට ලොර්කා මැඩ්රිඩ් අගනුවර ජීවත් වූයේ ඔහුගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහාද පහසුවක් වනු පිණිසයි. මැඩ්රිඩ් නුවර වාසය කළ සමයේ බොහෝ බුද්ධිමතුන්ගේ ඇසුර ලොර්කා හට හිමි විය. සැල්වදෝර් ඩාලි වැනි ශ්‍රේෂ්ට කලාකරුවන් ඔහුගේ අතිශය සමීප මිතුරන් බවට පත් වේ. මේ වන විට කාව්‍ය ප්‍රකාශන ඔස්සේ ලොර්කාද යම් කීර්තියක් හිමිකරගෙන තිබුණේය. "Vanguardia" සම්ප්‍රදායට ආදරය කළ පිරිස් එකිනෙකා හමුවන්නේද ඔවුනොවුන් සංවාද කරන්නේද මෙම කාල වකවානුව තුළයි.ප්‍රංශ සිනමාවේ ආරම්භකයෙක් වන Luis Bunuel ගේ ඇසුරද ලොර්කා හට හිමිවන්නේ ඩාලිගේ මාර්ගයෙනි.කලාකරුවන්ගේ ඇසුර වැඩිවෙත්ම නීතිය තවදුරටත් හැදෑරීමේ ආසාව ඔහු කෙරෙන් පලා ගියේය. තව තවත් නිර්මාණ කාර්යයන්හි නිමග්න වීමට ඔහුට අවැසි විය. ඒ අනුව 1920 දී ලොර්කා සිය ප්‍රථම නාට්‍ය නිර්මාණයද වේදිකාගත කළේය.
අනතුරුව ඔහු පර්යේෂණාත්මක අධ්‍යයනය තුළින් නිර්මාණ කාර්යයට ප්‍රවිෂ්ඨ වීමට අවශ්‍ය ගවේෂණ සිදු කරන්නට විය. එහිදී සිය උපන් ගම් පළාත වූ අන්දලුසියාවේ සාම්ප්‍රධායික අහිකුණ්ඩික මිනිසුන්ගේ ජන ජීවිතය ඇසුරෙන් ඔහු කළ පර්යේෂණ විශිෂ්ට මට්ටමක විය. ඔවුන්ට අනන්‍ය වූ කලාව "ෆ්ලෙමෙන්කෝ" නම් වූ අතර එය ගායනය වාදනය සහ නර්තනය සමග එක් වූ අපූරු කලා සම්ප්‍රදායකි. අදටත් "ෆ්ලෙමෙන්කෝ" කලා සම්ප්‍රදාය ස්පාඤ්ඤයේ ප්‍රකට කලා සම්ප්‍රදායකි. "ෆ්ලෙමෙන්කෝ" සම්ප්‍රදාය නූතනය සමග මිශ්‍ර වී Opera flemenco, Tango flemenco, Rumba flemenco ලෙස නව සම්ප්‍රදායන්ද බිහි වී ඇත. ලොර්කා මෙම ෆ්ලෙමෙන්කෝ භාවිතාකොට අහිකුණ්ඩික මිනිසුන්ගේ ජන ජීවිතය පිළිබඳව කාව්‍ය සංග්‍රහ කිහිපයක්ම ලියා පළ කළේය. මෙම නිර්මාණ කොතරම් ජනප්‍රිය වුවාදැයි කිවහොත් විදේශ රටවල දේශන සඳහා ලොර්කා හට ඇරයුම් ලැබුණි. ස්පාඤ්ඤ භාෂාවෙන් අහිකුණ්ඩික මිනිසුන් හඳුන්වනුයේ "ගිටානෝ" ලෙසයි. ගිටානෝ යන නමින් ඔවුන්ගේ සංගීත භාණ්ඩය වූ ගිටාරය නිර්මාණය විය. තවද ඉන්දියාව සහ රුමේනියාව වැනි රටවලින් පැමිණි අහිකුණ්ඩික මිනිසුන්ගේ සම්භවයන් පිළිබඳව ඔහු සොයාගත් දැනුම එම දේශන වලදී ලෝකයට හෙළි කිරීම විශාල දැනුම් සම්භාරයක් බෙදාගැනීමක් විය.
1930 වකවානුවෙන් පසුව ස්පාඤ්ඤයට ඉතා නරක කල දසාවක් ලැබූ අතර දේශපාලනික වශයෙන් රට අස්ථාවර විය. ඉතාලියේ මුසොලෝනි පාලනයේ ලක්ෂණ පෙන්වමින් ස්පාඤ්ඤය රජයද පැසිස්ට් රාජ්‍යයකට තල්ලු වෙමින් තිබුණි. ලොර්කා සහ බහුතරයක් වූ ස්පාඤ්ඤය කලාකරුවන් කිසිවිටෙක කිසිදු දේශපාලන පක්ෂයක් සමග සම්බන්ද වී හෝ දේශපාලනය නියෝජනය කළ කලාකරුවෝ නොවූහ. නමුත් නිර්මාණය වෙමින් පැවති තත්වයන් කලාවට කොහෙත්ම හිතකර නොවීය. කිසිදු හේතුවක් නොමැතිව කලාකරුවන් සහ බුද්ධිමතුන් අත්අඩංගුවට ගන්නට විය. මෙම වකවානුවේ ලොර්කා සිය නිර්මාණ ජීවිතයේ උපරිම තලයේ ජීවත් විය. ඔහුගේ නාට්‍ය නිර්මාණ සේම කාව්‍ය නිර්මාණ ස්පාඤ්ඤ ජන ජීවිතය සමගින් බොහෝ සේ බද්ධ වී පැවතුනි. බොහෝ කලාකරුවන් ස්පාඤ්ඤයෙන් පලාගොස් වෙනත් රටවල ආරක්ෂාව පැතීය. නමුත් ලොර්කා රටින් පිටවූයේ නැත. අගනගරයේ ජීවත් වීම අනතුරුදායක බැවින් ඔහු පෙරලා සිය ගම් ප්‍රදේශය බලා පිටත් වූයේ තම නෑ සිය මිතුරන් සමග ටික කලක් කල් ගෙවීමටයි. නමුත් 1936 වසරේ ජූලි මස 16 වැනිදා ලොර්කා පැසිස්ට් හමුදා අත්අඩංගුවට පත් විය. එතැන් සිට ඔහු පිළිබඳව තොරතුරක් දැන ගැනීමට කා හටවත් නොහැකි විය. එම වසරේම අගෝස්තු මස දිනෙක ස්පාඤ්ඤයේ "සියෙරා නෙවාඩා" කඳු වැටිය පාමුලදී ඔහුට ජනරජ විරෝදී පැසිස්ට්වරු වෙඩි තබා ඝාතනය කරන ලද බව පසු කලෙක අනාවරණය විය. ඔහුගේ සිරුර හෝ කිසි කලෙක හමු නොවීය. මියයන මොහොතේ ඔහු ලියමින් සිටි Nueva York ( නිව්යෝර්ක් හි කවියා) නම් කාව්‍ය සංග්‍රහය පළ වූයේ ඔහුගේ මරණයෙන්ද බොහෝ කලකට පසුවයි. මියයන විට ඔහු 38 වන වියේ පසුවිය.
_අයේෂ් ලියනගේ_
No comments:
Post a Comment