"ඔයාට නගර සීමාවේ පදිංචිය නැත්නම් අඩුම ගානේ නගර සීමාවේ ඉස්කෝලෙක ඉගෙන ගත්තනම් ඒත් සාමාජිකත්වේ ගන්න තිබුණා. නැත්නම් අම්මා හරි තාත්තා හරි රජයේ ආයතනෙක වැඩ කරනවානම් ඒ හරහා ගන්නත් බැරිකමක් නැහැ."
"ඒ මොකුත් නැහැ මිස්" ඔහු එසේ පවසනු මට ඇසුනි.
අනතුරුව ඔහු පුස්තකාලය සිසාරා වූ පොත් රාක්ක දෙස පෙර වූ ආයාචනාත්මක බැල්මෙන්ම දෑස් යවා බලන අයුරු මට පෙනුනි. මේසය මත අතක් තබාගෙන ඒ දෙස බලමින් සිටින ඔහුගේ දෑස් මා වෙත එල්ල විය. මා ඔහු දෙස සහ ඔහු පුස්තකාල නිලධාරිනිය සමග සංවාදයේ යෙදී සිටි ආකාරය බලා සිටින්නට ඇතැයි ඔහු සිතන්නට ඇත. සියුම් ලැජ්ජාවක් ඇති වූවා සේ ඔහු මාගේ දෑස මග හැර ඒ ක්ෂනිකව එතැනින් ඉවත් විය. ඔහු හා කතා කිරීමට මට සිත්විය. පොත් තේරීම පැත්තකින් තබා ඔහුගේ පිටුපසින් ගොස් පහළ මාලයට යන පඩිපෙළ අසලදී මම ඔහුට කතා කළෙමි.
මල්ලි මල්ලි.... ඔයා පුස්තකාල කාර්ඩ් එකක් හදාගන්නද බැලුවේ...?
ඔහු පිටුපස හැරුණේ වරදක් කළ එකෙකු මෙනි. අනතුරුව ඔහු පිළිතුරු දුන්නේය
ඔව් අයියේ... ඒත් එහෙම විදිහක් නැහැනේ... මම ඉන්නේ ටිකක් ඇතුළට වෙන්න. මම යන්නෙත් ගමේ ඉස්කෝලෙට.
ඔහු ඔහුගේ විස්තර මා සමග පැවසීය. මා ඔහුගේ දෙස විමසිලිමත්ව බැලූ අතර ඔහුගේ අත් සහ කකුල් වල සිමෙන්ති කුඩු සහ ගල් කුඩු තැවරුණ ආකාරයේ පැල්ලම් වූ බව දැකගත හැකි විය. ඔහු පිළිබඳව උපන් කුතුහලය නිසාවෙන් මම තවත් දෑ ඔහුගෙන් විමසුවෙමි.
මල්ලි මොකද මෙහේ කරන්නේ එතකොට ?
මම සති අන්තේ ටවුන් එකේ වැඩපලක වැඩ කරනවා අයියේ. අපේ තාත්තට අසනීපයි..... තාත්තා මේසන් වැඩ කළේ. පලංචියකින් වැටිලා එකතැන ඉන්නේ. අම්මා දළු කඩනවා. ඒකයි මම වැඩ කරන්නේ. මම මේ දෙසැම්බර් වල සාමාන්‍ය පෙළ ලියනවා. ඔහු අසරණව පැවසීය.
එතකොට තව සහෝදරයෝ එහෙම ඉන්නවද ?
නංගි කෙනෙක් විතරයි ඉන්නේ අයියේ. එයා හතර වසරේ... පොඩියි තාම...
මල්ලි පොත් කියවන්න ආසද? කොහොමද ඉතිං කියවන්නේ ?
ඉස්කෝලේ පුස්තකාලේ ඒ තරම් පොත් නැහැ අයියේ. ප්‍රාදේශීය සභාවේ පුස්තකාලේ සාමජිකත්වේ තියෙනවා. ඒත් ඒකෙ තියෙන පොත් ගොඩක් මං කියවලා තියෙනවා. ඒකයි මං බැලුවේ මෙහේ පුස්තකාලේ හරි කාර්ඩ් එකක් ගන්න විදිහක් තියෙනවද කියලා....
මෙහෙ කාර්ඩ් එකක් ගන්න ලේසි නෑ මල්ලි... මම මෙහෙ ඉස්කෝලේ යන නිසා ගන්න පුළුවන් උනා. ඒත් බොහොම අමාරුවෙන්.... ඔයාට ඕනනම් මගේ කාර්ඩ් දෙකෙන් එකක් දෙන්නම්.
පුස්තකාල කාර්ඩ්පත අන්සතු කිරීම වරදක් වුවත් ඔහුට කාර්ඩ් එකක් දීමට මට සිත්විය. නමුත් ඔහු ඒ යෝජනාව කාරුණිකව ප්‍රතික්ෂේප කළේය.
නෑ එපා අයියේ... මං නිතරම මෙහේ එන්නෙත් නැහැනේ. වැඩපලේ වැඩ තියෙනකන් ඒවි... සමහර දාට තාත්තා එක්කගෙන ආයුර්වේදේ යන්නත් ඕන... ස්තූතියි අයියේ... මං යන්නම්. වැඩපලේ වැඩ අස්සේ මං ටිකකට ආවේ මේ... නැති උනොත් බැනුම් අහන්න වෙයි.
ඔහුට සමුදුන් මම ටික වේලාවක් එතැන ගල් ගැසී සිටියෙමි. ඉහළ මාලයේ වූ පුළුල් වීදුරු කවුළුවෙන් බලා සිටින විට ඉක්මන් ගමනින් පාර මාරු වී ඔහු පිටවී යන අයුරු මම දුටිමි. මගේ හිත කියන්න උනා.... "කවදාම හරි උඹ ජීවිතේ දිනාවි මල්ලි......."
_අයේෂ් ලියනගේ_
අනිවාර්යයෙන්ම...
ReplyDeleteජීවිතේ අමාරු කොච්චර මිනිස්සු ඉන්නවද? ඒත් අපි අරක නෑ මේක නෑ කියලා අඬන්නෙ පලක් ඇති දෙවල් වලටද කියලා හිතෙනවා මේවා ඇහුවම
ReplyDeleteඔව් අපිට තිබුනත් වටින්නේ නැති සමහර දේවල් ඒ වගේ කෙනෙක්ට තියෙනවනම් ඒක මහමෙරක් වගේ දැනේවි.
Delete