මට බැක්ටීරියා ආසාදනයක් එක්ක උණ හැදිලා හිටියේ. පෙනිසිලින් පැය කීපෙන් කීපෙට එන්නත් කළා. අතට ගහලා තිබුණ කටුව පරණ වෙන්න පරණ වෙන්න අත ඉද්දුම් කනවා. මුළු ඇඟම අඩපණ වෙලා තිබුණා. මම වටපිට බැලුවා. මම දැක්කා බොහෝ අය මටත් වඩා වේදනා විඳින බව. මගේ එහා පැත්තට අලුතෙන් දාපු ලෙඩාට සිහිය තිබ්බේ නැහැ. මම දැක්කා ඒ මනුස්සයා ජීවිතයත් මරණයත් අතර සටනක ඉඳපු විදිහ. ඒ කෙනා ළඟ හිටියේ ඒ මනුස්සයාගේ පොඩි පුතා. ඒ කොල්ලා මටත් වඩා අවුරුදු කීපයක් බාලයි. කතා බහ කරන්න කෙනෙක් නැතුව ඉඳපු මම ඔහුත් එක්ක කතා කළා. ඒ වෙලාවේ මට දැනුනා මරණාසන්න ලෙඩෙක් එක්ක ඉස්පිරිතාලෙක ඉන්න මනුස්සයෙක්ගේ හිතේ වේදනාව ලෙඩේ විඳින මනුස්සයාගේ වේදනාවට වඩා වැඩියි කියලා. එදා හවස ඒ ලෙඩාගේ ලොකු පුතා අවා තාත්තා ලඟ රැය ගත කරන්න. ඒ කොල්ලා මගේ වයසේ. අපි බොහෝ දේවල් කතා කළා. සේලයින් බෝතල් එල්ලගෙන කටු ගහගෙන කතා බහක් නැතුව ඉඳපු මටත් ඒ කතා බහ ලොකු දෙයක් උනා. මම කතා කලාට වඩා අහන් උන්නා. මං හිතන්නේ ඒක ඒ කෙනාටත් යම් සහනයක් ගේන්න ඇති. මට අහන් ඉන්න උනේ දුක් වේදනාවන් ගොඩක්. ඇතැම් තැන් වල කියන්න දේවල් මොකුත් නොතිබ්බත් දිග සුසුම් ලෑම් එක්ක ඒ දේවල් අහන් ඉන්න මට සිද්ද උනා. රෑ පෙනිසිලින් ගැහුවා. වේදනාව එක්ක ටික වෙලාවකින් මට ඉබේම නින්ද ගියා.
පාන්දර හතරට විතර මට ඇහැරුණේ කිසියම් කලබල ගතියක් දැනුන නිසා. මට එහාපැත්තේ ඇඳ වටකරගෙන දොස්තරලා කිහිපදෙනෙක් එක්ක සාත්තු සේවිකාවන් කිහිපයක් කලබලයෙන් අර ලෙඩාව පරික්ෂා කරනවා. ඒ මනුස්සයගේ ලොකු පුතා පැත්තකට වෙලා හිටියේ ඇඬුම් හිරකරගෙන බව මට පෙනුනා. දොස්තරලා ලොකු උත්සාහයක් ගන්න බව දැනුනත් ඒ මනුස්සයාට සවි කරලා තිබුණ උපකරණේ තව දුරටත් සතුටුදායක උනේ නැති බව දොස්තරලගේ මුහුණ දැක්කම පේන්නට තිබුණා. සියලු උත්සාහයන් නතර වී ඒ මනුස්සයා නිසල උනා. දොස්තරලාට එයා දෛනික අත්දැකීමක් වන්න ඇති. ඒ නිසා ඒ අය එතැනින් ඉවත් වෙලා ගියේ කිසිවක් නොවුන ගානටද කියලා මට හිතුනා. එදා මම පළවෙනි වතාවට මගේ ඇස් ඉදිරියේ මනුස්සයෙක්ගේ අවසන් හුස්ම වා තලයට මුහුවෙනවා දැක්කා. අර පුතා කෑ ගහලා අඬා වැටුනේ නැහැ. සාත්තු සේවකයෙක් ඇවිත් සුදු රෙද්දකින් අර මනුස්සයාගේ හිසේ ඉඳන් දෙපතුළ වෙනකං වහලා දැම්මා. අර පුතා තාත්තගේ අතින් අල්ලන් හිටියා.
ටික වේලාවකින් ඔහු මගේ ළඟට ආවා. ඇවිත් එතන තිබුන පොතු ගියපු ප්ලාස්ටික් පුටුව උඩින් ඉඳගත්තා. මට කියන්න දෙයක් තිබ්බේ නෑ. ඔහු මට මෙහෙම කිවුවා
"මට මතක් වෙනවා ඉස්සර අපේ තාත්තා මාවයි මල්ලිවයි පුට් සයිකලේ තියන් ඉස්කෝලේ එක්ක යන හැටි..... අපේ තාත්තා ගොඩක් දුක් වින්දා...."
එපමණයි ඔහුට කියාගන්න පුළුවන් උනේ. ඔහුගේ වචන හිර උනා...හැඬුම් ආවා... ඇස් අග තිබුණ කඳුල පිට නොයෙන්න ඔහු මගේ ඇඳට උඩින් කැරකුන විදුලි පංකාව දිහා බලා ගත්තා. මට කියන්න වචන තිබ්බේ නැහැ. මම ඔහුගේ පිටට අත තබාගෙන බොහෝ වෙලාවක් නිසොල්මනේ හිටියා.
ඒ තාත්තගේ ඇඳට ඉහලින් තිබුන විදුලි පංකාව නැවතී තිබුණා. කොහේදෝ සිට පැමිණි ගේ කුරුළු ජෝඩුවක් කිචි බිචි ගාමින් නැවතී තිබූ විදුලි පංකාව මත වසා සිටියා. එය මට වටහාගන්න අපහසුයි. ඔව්. මරණය වටහාගැනීම අපහසුයි.
_අයේෂ් ලියනගේ_
ඉපදුනු දවසෙ ඉඳන් අපේ ජීවිතේ ගැන හරියටම කියන්න පුළුවන් එකම දේ කවදා කොයි වෙලේ හරි මැරෙනවා කියන එක. ඒත් එච්චර සහතික කරලා තියෙන දේ තේරුම් ගන්නෙ නෑ අපි කවුරුවත්
ReplyDeleteඑහෙම තේරුම් නොගන්න දේ මෙහෙම අත්දැකීමක් විදිහට විඳින්න ලැබුනාම හොඳට දැනෙනවා
Deleteඅපි ආසාවල් පස්සෙ දුවනවා වැඩී
Delete