ඉක්බාල් මශිහ් වසර දොළහක් පමණක් ජීවත් වී සැමගේ මතකයේ රැඳෙනා චරිතයක්ව ලෝකයෙන් නික්ම ගියේය. සත්‍ය නම් යමෙක් ඔහුගේ ගමන වළකාලනු වස් ඔහුව නිහඬ කළේය යන්නයි. ඔහු මේ තරම් කුඩා වයසකදී ලෝ ප්‍රකට වුයේ කෙසේද ? ලෝකය ඔහුව විශිෂ්ටයකු සේ සැලකුවේ මන්ද ? මේ ඒ පිළිබඳව වූ කෙටි සටහනකි.
ඉක්බාල් මශිහ් 1983 වසරේ උපත ලබන්නේ පකිස්තානයේ 'මුරිද්කේ' නම් ප්‍රදේශයේය. වයස අවුරුදු හතරේදී ඉක්බාල්ගේ පවුලේ සාමාජිකයින් පකිස්තානු රුපියල් හයසීයක මුදලකට ඔහුව ළමා වහලෙකු ලෙස විකුණා දමයි. ඔහුව එසේ විකුණා දමන්නේ පකිස්තානයේ කාපට් නිෂ්පාදනය කරනා කම්හල් අයිතිකරුවකු හට වන අතර එම ස්ථානය ඉක්බාල් වැනි තවත් දරුවන් විශාල ප්‍රමාණයක් වහල් සේවයේ යෙදවූ අපායක් බඳු ස්ථානයක් විය. ඉක්බාල් හට හෝ එම දරුවන් හට ඔවුන් කළ සේවය වෙනුවෙන් එක රුපියලක් ලැබුණේ නැත. තම පවුල්වල සාමාජිකයින් තමන්ව විකුණා ගත් පිච්චිය මෙන් දස දහස් ගුණයකටත් වැඩි ශ්‍රමයක් වපුරා වහල්කමේ යෙදිමට ඔවුනට සිදුවිය.
ඉර පායන්නටත් පෙර අවදි වීමට ඉක්බාල්ට සිදුවිය. එතැන්සිට ඉර අවරට යනතුරුත් සේවය කිරීමට ඔහුට සිදුවිය. ඔහු සමග අනෙක් දරුවන් රඳවා තැබුවේ එකිනෙකා දම්වැල්වලින් ගැටගසාය. ඒ ඔවුන් පැන යාවිය යන බිය නිසයි. දිනකට පැය 12ක් බැගින් සතියේ දින හතම ඔවුනට වැඩ කිරීමට සිදුවිය. දිනකට පැය භාගයකට පමණක් සීමා වූ විවේකයක් ඔවුනට හිමිවිය.අවුරුදු හතරක් වැනි කෙළිදෙලෙන් පසුවිය යුතු වයසක සිටින දරුවකුගේ දෛනික ජිවිතය මේ ආකාර වන්නේනම් එය කෙතරම් අභාග්‍යක්ද ? නමුත් එය එසේ සිදුවිය
වසර හයක් වහල්කමේ යෙදීමට ඉක්බාල් හට සිදුවිය. නමුත් අවුරුදු දහයේදී ඔහු වහල් බවෙන් නිදහස් විය. පකිස්තානු ශ්‍රේෂ්ඨාධිකරය ළමා මෙහෙකාරකම් තහනම්කරමින් ලබාදුන් ඓතිහාසික නඩු තීන්දුවක් පිළිබඳ පුවත ඉක්බාල්ගේ කණට වැටීම ඔහුට වහල්බවෙන් පලායෑමට ධෛර්යයක් සැපයීය. ප්‍රථම අවස්ථාවේ ඔහු පැනගියත් ඔහුව අල්ලාගත් පොලිසිය ඔහුව බාර දෙන්නේ පවුලේ සාමාජිකයින් හටයි. පවුලේ සාමාජිකයින් නැවතත් ඔහු සේවය කළ වහල් කම්හලටම ඔහුව බාරදෙන අතර නැවතත් ඉක්බාල්ට වහල්කම උරුමවිය. නමුත් නිදහසේ අරුණලු දුටු ඉක්බාල් නැවත වතාවක් වහල් කම්හලෙන් පැනයයි.
මෙවර ඔහු පොලිසියට හසු නොවීමට වගබලාගත් අතර පකිස්තානයේ ක්‍රියාත්මකවන රාජ්‍ය නොවන සංවිධානයක් වන Bonded Labour Liberation Front (BLLF) නම් සංවිධානය සොයා යෑමට තරම් නුවණක්කාර විය. එම ආයතනය ළමා වහල් වෙළඳාමට විරුද්ධව ක්‍රියාත්මක වූ ස්වේච්ජා සංවිධානයක් වූ බැවින් එය ඉක්බාල්ට තමාගේ වසර හයක ජීවිත අත්දැකීම ලෝකයාට විවෘත කිරීමට උචිතම ස්ථානය විය. BLLF ආයතනය මෙවැනි අසාධාරණයන්ට ලක්වූ දරුවන් වෙනුවෙන් කඩිනම් අධ්‍යාපන වැඩපිළිවෙළක් නිර්මාණයකොට තිබූ අතර ඉක්බාල්ටද එහි අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව හිමිවිය. වසර හතරක වැඩසටහන ඔහු වසර දෙකක් ඇතුලත නිම කළේය.
එම අධ්‍යාපනයත් සමගම ඔහුට මිනිස් අයිතීන් පිළිබඳව බොහෝ කරුණු කාරණා ඉගෙන ගැනීමට හැකියාව ලැබුණි. ඉක්බාල් ළමා වහලෙකු ලෙස ගතකළ ජීවිතය පිළිබඳවත් එම කෘරත්වයේ මිරිකී සිටින සුවහසක් දරුවන් පිළිබඳවත් සිය හඬ අවදි කළේය. එය ලෝකයාගේ ඇස් ඇරවන්නක් විය. දස හැවිරිදි වියේ පසුවන දරුවෙක්ගේ හඬේ ප්‍රභලත්වයෙන් ලෝකය මවිත විය. පකිස්තානයේ සිදුවන ළමා මෙහෙකාරකම් නැවත්වීමට ජාත්‍යන්තාරයේ සහයෝගය ලැබෙන්නට විය. එලෙස පීඩාවට පත්වූ දරුවන් තුන් දහසක් දෙනා බේරා ගැනීමට ඉක්බාල් එම සංවිධාන සමග එකතුවිය. අවසානයේ ඔහු නිතැතින්ම සමාජ ක්‍රියාකාරිකයකු බවට පත්විය.
තමාට අනාගතයේදී මිනිස් අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනා නීතිවේදියකු වීමට සිහිනයක් තිබෙන බව ඔහු මේ වකවානුවේ පවසා සිටියේය.
එමෙන්ම ඔහුට ලෝකයේ අනෙක් රටවල සංචාරය කිරීමටත් මේ වකවානුවේ අවස්ථාව හිමිවිය. ස්වීඩනය,ඇමරිකාව වැනි රටවල ගොස් ඔහු තමාගේ කතාව ඒ රටවල මිනිසුන්ටත් පවසා සිටියේය. මෙම අදහස් එම රටවල සමාජ ක්‍රියාකාරීන්ගේ අවධානය පකිස්තානයේ ළමා වහල් සේවය දෙසට හරවන්නට සමත් විය. ඉක්බාල් විවෘතව එම පිරිස්වලින් ඉල්ලා සිටියේ මෙම ම්ලේච්ජ වූ අකටයුත්ත නැවත්වීමට සහයෝගය ලබාදෙන ලෙසයි. 1994 වසරේදී 'රීබෝක් මානව හිමිකම් සම්මානය' ඉක්බාල් හට හිමිවන්නේ ඔහු ඒ තරම් කුඩා වයසකදී ළමා අයිතිවාසිකම් වෙනුවෙන් කළ කැපකිරීම වෙනුවෙනි. එම සම්මාන ප්‍රදානය දා ඔහු කළ කතාව බොහෝ දෙනකුගේ ඇසට කඳුලක් ගෙනාබවද පැවසේ.
මේ අයුරින් ඇමරිකානු සංචාරයක් නිමවා සිය රට පැමිණි ඉක්බාල් 1995 වසරේ අප්‍රේල් මස 16 වැනිදා නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි ප්‍රහාරයට ලක්ව ඝාතනය විය. ඒ ඔහුගේ උපන් ගම වූ 'මුරිද්කේ' පළාතේදීමය. ඒ වනවිට ඔහු දොළොස් හැවිරිදි වියේ පසු වූවේය. ඔහුගේ ඝාතනය ළමා මෙහෙකාර වෘතියට එරෙහිව ඔහු ගෙනගිය අරගලයේ ප්‍රතිපලයක් බව සමාජ විශ්ලේෂකයන්ගේ අදහස විය. ඔහුගේ අවමංගල්‍ය උත්සවයට දහස් ගණනක පිරිසක් සහභාගී වූහ. ළමා වීරයකුගේ වියෝවෙන් ලෝකයක් කම්පා විය. අවසානයේ ඉක්බාල් මශිහ් නාමය ඉතිහාසයට එක්විය. අද ලෝකය ඔහුව හඳුන්වනුයේ මානව හිමිකම් වෙනුවෙන් ක්‍රියාත්මක වූ සමාජ ක්‍රියාකාරිකයකු ලෙසයි.
ඉක්බාල් මශිහ් විශිෂ්ටයකු ලෙස ඔසවා තැබීමට ඔහු පිටුපස සිටි චරිතයක් විය. ඔහු නමින් ඊසාන් උල්ලාඛාන්ය. ඔහු BLLF ආයතනයේ සමාරම්භකයාය. පකිස්තානයේ ප්‍රකට සමාජ ක්‍රියාකාරිකයෙකි. මානව හිමිකම් සම්මානය ලැබීමට ඇමරිකාවට ගිය මොහොතේ ඉක්බාල් ඔහුගේ නම සිහිපත් කිරීමටත් අමතක නොකළේය.
"මම පකිස්තානයේ සිටිනා දස දහස් ගණනක් වූ වේදනා විඳින ළමා ශ්‍රමිකයින් අතරින් එක් අයෙක්. නමුත් නිදහස විඳීමට තරම් මම අද වාසනාවන්තයි. මම දැන් ඉගෙන ගන්නවා, නිදහස විඳිනවා. එහි සියලු ස්තූතිය හිමිවිය යුත්තේ BLLF ආයතනයටයි. ඒබ්‍රහම් ලින්කන් ඇමරිකානු වහල් ජනතාවට කළා වැනි සේවයක් පකිස්තානු වහල් දරුවන් වෙනුවෙන් ඊසාන් උල්ලාඛාන් මුල්වූ BLLF ආයතනය සිදුකොට තිබෙනවා. ඉතිං අද ඔබලා ඒ නිදහස විඳිනවා. මමත් නිදහස විඳිනවා"
ඉක්බාල් මරා දැමුවද ඔහු නිදහසේ මරණය වැළඳ ගත්තේය. තමා වැනි දරුවන් සුවහසකගේ නිදහස වෙනුවෙන් ඔහු දිවි දුන්නේය. වීරයන්ට වයස් බේදයක් නැත. කුඩා දරුවෙක් වේවා මහල්ලෙක් වේවා නිශ්චිත පොදු අරමුණක් වෙනුවෙන් තම ජීවිතය කැප කරයිද ඔහුව හෝ ඇයව ඉතිහාසය විසින් යම් දිනෙක වීරයෙක් කරනු ඇත.
___අයේෂ් ලියනගේ___
No comments:
Post a Comment