ලියූ මා අද දකුණු දෙසට හැරී සටහන් ලියමි. වෙනස එපමණකි. මා වෙනස් වූයේ නැත. ඉතින් අදත් මම සටහන් ලියමි. මේවා සටහන් නොව නිකම්ම නිකම් වල් පල්ය. මට සිතෙන්නේ එහෙමය. ඒත් එහෙමය කියා මොකුත් නොලියා ඉන්නටද මට නොසිතේ. ඉතිං මම වල්පල් ලියමි. පැත්ත මාරු වී නමුත් මම මමම ලෙස ආවේගයන් ලියමි.
අමරදේවයන්ගේ ගී අසා,සේකරගේ කවි බලා හුදෙකලාවේ ගිලුණු අතීතයක්ද, මාකේස්ගේ දොස්තයෙවුස්කිගේ,පුෂ්කින්ගේ කතා කියවා ෆැන්ටසියේ ගිලුණු අතිතයක්ද මට හිමිය. ඉතින් මා ඊට තිත තැබුවාද? නැත. එය එසේමය. මාගේ කාල්පනික ලෝකය තුළ එකී හුදෙකලාවේත්, ෆැන්ටසියෙත් මම තවම කිමිදෙමි. මේ මොහොතේත් ගිලෙමි. උන් මවාදුන් කාල්පනික සයුරක ගිලීගත් මා ඉන් ගොඩ ඒමට බැරිව දඟලමි. සැබෑ ලෝකය නීරස වූ මිනිසා කාල්පනික ලෝකයකට රිංගන්නේ සැබෑ ලෝකයේ අගතීන් සමග හැප්පීමෙන් තෙහෙට්ටු වූ දිනටයි. ඉතිං අර්ධයක් සැබෑ ලෝකය තුළත් ඉතිරි අර්ධය කාල්පනික ලෝකය තුළත් ගෙවන්නට මම හුරුවීමි. එය එසේ වූ පමණින් සැබෑ ලෝකයේ අගතීන් සමග හැප්පීමට මට ලැබුණු අවස්ථා දුලබ වූයේ නැත. ඒවා හා මා දිගින් දිගටම හැපෙමි. තව තවත් හැපෙමි. නමුත් එය වෙහෙසකරය. ඉතිං මම සත්‍ය තේරුම් ගනිමින් සිටිමි.
සැබෑ ලෝකය හා කාල්පනික ලෝකය එකිනෙක හා සසඳන්න ගිය මා හට යම් තැනෙක වැරදුනි. සැබෑ ලෝකය මට රිසි පරිදි, මා වටා බ්‍රමණය වන්නේ නැත. කාල්පනික ලෝකය මට රිසි සේ මා වටා බ්‍රමණය කළ හැකිය. කාල්පනික ලෝකයේ රුචිය සැබෑ ලෝකයේ අරුචියයි. එය අවසානයේ අජීර්ණයක් දක්වා ඔඩු දුවයි. ෆැන්ටසි රුචිය රියැලටි රුචියක් කර ගැනීමට ගොස් අජීර්ණ සාදාගෙන අසාධ්‍යව කල් ගෙවීම අමුම අමු වහකි. සිතුවිලි අනාථභාවය ව්‍යාධියක් තරමටම විටෙක සිතට වද දෙයි. මිනිසකු සතුව අධි සංවේදී මනෝභාවයක් ඇත්නම් එය ඔහු හෝ ඇයව සිතුවිලි අනාථභාවයට ඇද දමයි. එය ඔහු හෝ ඇයගේ පාලනයෙන් තොර වන්නකි. එකී අනාථභාවයේ මමද ගිලී සිටිමි. කාල්පනික ලෝකයත් සැබෑ ලෝකයත් අතර වූ කල්පිත බැම්ම කැඩීමට මම වෙහෙසෙමි. අවැසි ලෙස අවැසි අවස්ථාවක ඒකපාර්ශවීයව සිතීමට කල්පිත බැම්ම බිඳ දමමි. සත්‍යයත් යථාර්ථයත් සමග අනුගතවීමට නම් කල්පිත බැම්ම කඩා දැමිය යුතුමය. ෆැන්ටසියේ හැඩතල රියලිටියේ කටුකබව විඳීමට එකී කල්පිත බැම්ම කඩා දැමිය යුතුමය.
___අයේෂ් ලියනගේ___
No comments:
Post a Comment