Saturday, January 21, 2017

ලෝකයෙන් සැඟව සිටි පවුලක්

නාගරික මිනිසුන් ස්වභාවයෙන්ම සංකීර්ණ සහ කාර්යබහුල ජීවන රටාවන්ට අනුගතව සිටින්නේ ජීවත් වීමේ තරගය ජයගැනීමටයි. නාගරික පරිසරයකින් වෙන්ව ඈත පිටිසර පෙදෙසකට වී ජීවන සංකීර්ණතාවය වැළඳ නොගෙන ජීවත්වන මිනිසුන්ද මේ මිහිමත බොහෝ වෙති. ඉතින් එය අරුමයක් නොවේ. මේ සටහන එවන් හුදකලා ජීවිතයක් ගතකළ එක්තරා පවුලක් පිළිබඳවයි. 


මේ පවුල ගැන තතු ලෝකයා දැනගන්නේ 1978 වර්ෂයේදීය. සෝවියට සමූහාණ්ඩුවට අයත් සයිබීරියාවේ ඈත වනගත පෙදෙසක ජීවත් වූ මේ පවුල ජාත්‍යන්තර මාධ්‍ය හඳුන්වා දුන්නේ වසර 40ක් ලෝකයෙන් සැඟව සිටි හුදකලා පවුල යන නමින්ය. ඔවුන් මෙසේ සැඟව සිටියේ එක්තරා කාලයක ඔවුන්ගේ ආගමට දේශපාලන බල අධිකාරියෙන් එල්ල වූ තර්ජන හේතුකොට ගෙනයි. එයින් බේරී සිටීමට ඔවුන් තෝරාගත්තේ වනගත ජීවිතයයි. කාලයත් සමග ඔවුන් එම දිවියට හුරු වී ඇත. කෙසේ හෝ  වනගතව ජීවත් වූ වසර 40 ඇතුලත භාහිර ලෝකයේ සිදු වූ කිසිවක් ගැන තොරතුරු ඔවුන් දැන සිටියේ නැත. අවම වශයෙන් එම වකවානුවේ ලෝකය උඩු යටිකුරු කළ දෙවැනි ලෝක සංග්‍රාමය ගැන හෝ අබමල් රේණුවක දැනුමක් ඔවුන් සතුවූයේ නැත. සඳ තරණය ගැන, රූපවාහිනිය ගැන ඔවුන් අසා තිබුණේ නැත. 



ඔවුන්ගේ ජීවිතය ලොවට හෙළිකළේ එක්තරා පර්යේෂක කණ්ඩායමකි. මොවුන් ජීවත් වූ ප්‍රදේශය හැඳින්වෙන්නේ ටශ්ට්ටිප්ස්කි නමිනි. එකළ කොකේසියාව ලෙස හැඳින්වූ වත්මන් සයිබීරියාවේ මෙම ප්‍රදේශය පිහිටා ඇත. මේ පවුලේ ගෘහ මූලිකයා වූයේ කාර්ප් ලිකෝව් ය. ඔහුගේ බිරිඳ අකුලීනා ලිකොව් වූවාය. 1936 වසරේදී කොමියුනිස්ට් භටයන් කාර්ප් ලිකොව් ගේ සොයුරා මරා දැමීමත් සමග ඔවුන්ගේ ජීවිතවලට තර්ජන එල්ල වන්නට වූහ. ආගම 'අබිං' වූ සමාජවාදී රටක දිවි ගෙවීම අපහසු බව කාර්ප් ට වැටහුන හෙයින් ඔහු තම බිරිඳත් දරු දෙදෙනාත් සමග වනගත වන්නට තීරණය කළේය. කාර්ප්ගේ සහ අකුලීනා ගේ දරුවන් දෙදෙනා සැවින් හා නතාලියාය. අතට හසුවන දේ පමණක් රැගෙන ලිකොව් පුංචි පවුල දීර්ග ගමනක් යන්නට උන්හිටි තැන් අත් හළහ.ඔවුහු කිලෝමීටර දෙසිය පනහක් තරම් දුර  කැලෑව තුළට ගමන් කළහ. එසේ ගිය තැන අබකන් ගංගාවේ අතු ගංගාවක් වූ යෙරිනට් ගංගාව ඔවුන්ට හමුවිය. ලෝකයෙන් වසන් වූ නිවස යෙරිනට් ගංගාව අසබඩ ඉදිකරන බව ලිකොව් පවුල තීරණය කළහ.වනාන්තරයේ ජීවිතය කිසිවිටෙකත් පහසු වූයේ නැත. සයිබීරියානු සීතලත්, හුදකලාවත් සමාජශීලි ජීවිත ගතකළ ඔවුන්ගේ ලෝකය කණපිට පෙරළිය. රාත්‍රියට ඇසුණේ වෘක රංචු නැගූ භයංකර හූ හඬයි. ගොදුරු සොයා ඇවිදින වලසුන්,වෘකයින් සමග වසර හතළිහක් ගෙවන්නට වේ යැයි යෙරිනට් ගඟ අසබඩ පළමු රාත්‍රිය ගතකළ ලිකොව් පවුල කවදා සිතන්නට ඇත්ද ? 



නමුත් ඒ ඔවුන්ගේ දෛවයයි. එනිසා ඔවුන් දෛවයට පිටුපෑවේ නැත. ඔවුහු වනගත ජීවිතයට දිනෙන් දින හුරු වූහ. ලී දඬු එක්කොට සෑදු කුඩා නිවාස ඔවුන්ගේ වනගත මාලිගාව විය. මෙලෙස කාලය ගතවිය. අකුලීනා හට වනාන්තරය තුළදී තවත් දරුවන් දෙදනකු ලැබිණි. ඔවුන්ට දිමිත්‍රි හා අගෆීයා ලෙස නම් තැබීය. හතර දෙනකුගෙන් යුත් පවුල හයදෙනාගේ පවුලක් බවට පත්විය. 


ජීවත් වීමට අවශ්‍ය සියලු දෑ වනාන්තරය තුළින් සොයාගැනීමට ඔවුනට සිදුවිය. ආහාර වේල් තුනක් සපයාගැනීම ඔවුන්ට තිබූ ලොකුම අභියෝගය විය. මවත් පියාත් බොහෝ අවස්ථාවල කුසගින්නේ හිඳිමින් කන්නට ඇති සුළු දෙයින් පවා දරුවන්ගේ කුස පිරවූහ. සතුන් දඩයම් කරගෙන ආහාර වේලට එකතු කරගත්තද හැමදාටම දඩයම සාර්ථක වූයේ නැත. රුධිරය කැටි ගැහෙන මහා සීත කාලයන් පසුකිරීමට ඔවුනට සිදු විය. විවිධ ලෙඩ රෝගයන් වැළඳුනු කළ ප්‍රතිකාර ගන්නට කියා වෛද්‍යවරු සිටියේ නැත. ලෙහෙසියෙන් කියා සොයාගැනීමට දෙයක් තිබුණානම් ඒ දර පමණි. සීත කාලයට ප්‍රයෝජනවත් වන හෙයින් හැම විටම ඔවුන් දර එක්රැස්කොට ගබඩා කරගෙන තබාගැනීමට පරිස්සම් විය. සමාජය සමග වූ සියලු සබඳතා බිඳ වැටුණු පසු වනාන්තරයේ සීමාවෙන් එපිට සිදුවන කිසිවක් ගැන ඔවුන් දැනසිටියේ නැත. මේ ආකාරයෙන් දින සති මාස අවුරුදු ගණන් ගෙවී ගිය අතර ඔවුන්ද කාලය සමග වියපත් වන්නට විය. දරුවෝ උස් මහත් වූහ. කාර්ප් සහ අකුලීනා මහළු වියට එළඹුනෝය




අකුලීනා 1961 වසරේදී කුසගින්න නිසා මියගියාය. කාර්ප් සිය දරුවන් සිව්දෙනා සමග තනිවිය. 1978 වසරේදී භූ විද්‍යා කණ්ඩායමක් විසින් ලිකොව් පවුල සොයාගන්නා තෙක් ලෝකයෙන් වෙන් වූ ජීවිතය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට ඔවුහු කටයුතු කළහ. හෙලිකොප්ටරයකින් පැමිණි ගුවන් නියමුවකු මුල්වරට ඔවුන් සොයාගත්තේය. පසුව භූ විද්‍යා කණ්ඩායමක් සහ මාධ්‍යවේදී පිරිසක් ලිකොව් පවුල සොයා යන අතර වසර 40ක් පුරා පවත්වාගෙන ආ හුදකලාව එතැනින් නිම විය. කෙසේවෙතත් ඔවුන් තම වාස භූමිය අත්හැර යාමට කැමැති වූයේ නැත. තම වාසස්ථානය භූ විද්‍යා කණ්ඩායමේ උපකාරයෙන් අලුත්වැඩියා කරගෙන එතැනම ජීවත් වීමට ඔවුහු කටයුතු කළහ. 1981 වසරේදී කාර්ප්ගේ හා අකුලීනාගේ දරුවන් සිව් දෙනාගෙන් තිදෙනෙක් විවිධ රෝගාබාධ නිසාවෙන් මිය ගියහ. ඒ දිමිත්‍රි, සැවින් හා නතාලියාය. කාර්ප් සමග ඉතිරි වූයේ දියණිය වූ අගෆීයා පමණි. භූ විද්‍යා කණ්ඩායම දිගටම ඔවුන් හා සබඳතා පැවැත්වූහ. 1988 වසරේදී කාර්ප් ලිකොව් ද මෙලොව හැර ගියේය. අගෆීයා ලෝකයේ තනි වූවාය. 



අගෆීයා භූ විද්‍යා කණ්ඩායමේ සහාය ඇතිව සිය මව මිහිදන් කළ ස්ථානයේම සිය පියාද මිහිදන් කළාය. මහා වනයක හුදෙකලාවේ වාසය නොකර නාගරික පෙදෙසක වාසය කරන්නට එන්නැයි භූ විද්‍යා කණ්ඩායම අගෆීයාගෙන් ඉල්ලා සිටියහ. නමුත් එය ප්‍රතික්ෂේප කළ ඇය අවසානයේ හුදකලා වාසය තෝරාගත්තාය. එතැන්සිට වසර විසි අටක් යෙරිනට් ගංගාව අසබඩ තනිකඩව හුදකලා දිවියක් ගෙවූ ඇය 2016 වසරේ ජනවාරි 23 වැනිදා මෙලොවින් සමු ගත්තාය. 1988 වසරේ කාර්ප් මිහිදන් කළ දා භූ විද්‍යා කණ්ඩායමේ සිටි යෙරෝෆි නැමැත්තා ලියූ සටහනක මෙසේ දැක්වේ. 


" ඇය කිසිදා මේ වනය හැර යන්නේ නැත. නමුත් අපට ඇයව හැර යාමට සිදුවේ. මම මද දුරක් ගොස් ඇය දෙස හැරී බැලුවා. ඇය ගං ඉවුරට වී ප්‍රතිමාවක් සේ නිසොල්මනේ සිටියා. ඇය කඳුළු සැලුවේ නැත. ඇය අපට පැවසුවේ එක දෙයයි. ඔබලා පරිස්සමට යන්න. එපමණයි. අපි තවත් කිලෝමීටරයක් පමණ ඈතට ගොස් ඇය සිටි දිහා නැවත හැරී බැලුවා. ඇය තවදුරටත් ප්‍රතිමාවක් සේ නිසොල්මනේ සිටියා". 


___අයේෂ් ලියනගේ___



                                                                                      අගෆීයා සිය පියා වූ කාර්ප් ලිකොව් සමග


       අගෆීයා (වමේ) නතාලියා (දකුණේ)

         කාර්ප්, දිමිත්‍රි (මැද) හා අගෆීයා 

                                                                                                අගෆීයා මෑත වකවානුවේදී  

No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators