Thursday, January 19, 2017

අපේ ගැටුම් ලියූ ඉන්දියන් පත්තරකාරිය

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටුම පිළිබඳව වැඩිම අවධානයක් දැක්වූ ජාත්‍යන්තර මාධ්‍යවේදියා කවුද කියා යමෙක් ඇසුවොත් මට දීමට ඇති පිළිතුර නම් එය මාධ්‍යවේදියකු නොව මාධ්‍යවේදිනියක ලෙස නිවැරදි විය යුතු බවයි. ජනවාර්ගික අර්බූදයේ පිපිරිම ඇරඹි 1983 කළු ජූලියේ පටන් බොහෝ මෑතක් වනතෙක් ඇය ලංකාවේ ජනවාර්ගික අර්බූදය විවිද කෝණ හරහා ජාත්‍යන්තරයට ගෙන ගියාය. ඇය නමින් 'ඇනිටා ප්‍රතාප්ය' මෙරට තුළ ඇයගේ නම බොහෝ ප්‍රකටය. ඇය පිළිබඳව ඇතැමෙක්ට විවේචන තිබිය හැක. ජාතිකවාදී දෘෂ්ටියකින් බලන්නේනම් ඇයගේ ලියවිලි නිසා ලංකාවට ජාත්‍යන්තරයේ හිමිවූයේ කළු පැල්ලම්ය. 



වේලුපිල්ලේ ප්‍රභාකරන් සමග පළමුවරට සම්මුඛ සාකච්ජාවක් පැවැත්වූ එකම මාධ්‍යවේදිනිය වූයේ ඇයයි. ඇයගේ ලියවිල්ල තුළින් පෙනුනේ සුළුතරයකට වූ අසාධාරණයයි. ඇය ලියූ Island of Blood නම් කෘතියට පාදක වූයේද ශ්‍රී ලංකාවේ දේශපාලන වාතාවරණයයි. ඇයගේ ලියවිල්ල ආන්තික ස්වරූපයක් ගත්තද ඊට බලපෑ ප්‍රධානම සාධකය වූයේ 1983 වසරේ සිදුවූ ම්ලේච්ජ කළු ජූලියයි. මාධ්‍යවේදිනියක් ලෙස පවතින තත්ත්වය වාර්තා කිරීමට මෙරටට පැමිණි ඇයට ඒ අවස්ථාවේ වූ සැබෑ ස්වරූපය සියැසින් දැක ගැනීමට හැකි විය. අදටත් කළු ජූලිය පිළිබඳව අඳුරු මතක නැවත මතක් කරන ආකාරයේ ප්‍රභල සේයාරූ ගණනාවක් ඇය සිය කැමරා කාචයේ සටහන් කරගත්තාය. එදා ඇය දුටු කළු සිදුවීම් ඇයගේ මාධ්‍යකරණය ලංකාව දෙසට හැරවීමට තරම් ප්‍රභල විය. එය ඇයගේ මාධ්‍ය ජීවිතයද මුවහත් කළ හැරවුම් ලක්ෂයක් විය. 1997 වසරේදී ඇමරිකානු 'ජෝර්ජ් පොල්ක්' සම්මානයද ඇයට හිමිවූයේද දිවි දෙවැනිකොට මාධ්‍ය වාර්තාකරණය වෙනුවෙන් ඇය කළ කැපකිරීම වෙනුවෙනි. 


කළු ජූලිය සමයේ කිසිදු ඉන්දියානු මාධ්‍යවේදියකු ලංකාවට පය තැබීමට කැමති වුණේ නැත. ඉන්දියානු විරෝධයක් රට තුළ මතුවෙමින් තිබීමත් , ද්‍රවිඩයන්ට එරෙහිව සටන් ඒ වනවිටත් ඇවිළී තිබීමත් එම බිය දෙගුණ තෙගුණ කරන්නට ඇත. නමුත් ඇනීටා එම අභියෝගය බාර ගත්තාය. කොළඹට පැමිණි ඇය ජාතිවාදී ගිනිදැල් මැදින් ඇවිද යන්නට වූවාය. අතිශය සාමාන්‍ය කලිසමකින් හා ටී ෂර්ටයකින් සැරසී සිය කැමරා ආම්පන්නද රැගත් ඇය ජාතිවාදී ගිනිදැල්වලින් අළු වෙමින් තිබූ සියල්ල තම කැමරාවේ කාචගත කරගනිමින් ඇවිද ගියාය. ජායාරූප ගැනීම තහනම් බව දැන දැනත් ඇය එය දිගින් දිගටම සිදු කළාය. කෙසේහෝ ඇය හමුදා නිලධාරීන් පිරිසකට කොටු වූයේ අනපේක්ෂිත අවස්ථාවකයි. ඔවුන් තුවක්කු අමෝරාගෙන ඇයගෙන් දිගින් දිගටම ප්‍රශ්නකිරීම් සිදුකළද ඇය තමා මාධ්‍යවේදිනියක බව කිසිවිටෙකත් අනාවරණය කළේ නැත. ඇය ඉංග්‍රීසියෙන් පැවසුවේ තමා ගෘහ නිර්මාණය හදාරණ විශ්ව විද්‍යාල සිසුවියක් කියා. ලංකාවේ ගෘහ නිර්මාණය ගැන පර්යේෂණයක් කිරීමට පැමිණි බවත් පැරණි ගොඩනැගිලි සේයාරූගත කරන බවත් ඇය පැවසුවාය. හමුදා නිලධාරීන් ඇයගේ ගමන් මල්ල පරික්ෂා කළ අතර ඇය එවක ශ්‍රී ලංකා ජනපති වූ ජේ.ආර් ජයවර්ධන සමග එකට හිඳ ගත් සේයාරුවක් ඒ තුළ විය. හමුදා නිලධාරීන්ගේ ප්‍රශ්නකිරීම් එතැනින් නැවතුණු අතර ඇය රාජ්‍ය අමුත්තකු සේ සලකා මුදා හැරීමටද කටයුතු කළහ. නමුත් ඇය සතු වූ කැමරාවේ වූ දළ සේයා පටයන් ඔවුන් සන්තකයට ගැනීමටද වගබලා ගත්හ. නමුත් ඇය සතුව තවත් සේයාපට විය. හමුදා නිලධාරීන් පිටත්ව ගිය පසු ඇය නැවත ජායාරූප ගැනීමට කටයතු කළාය. 


එම සේයාරූ ජාත්‍යන්තර පුවත්පත්වල පළවූ අතර ඇයගේ වාර්තාවන්ට ජාත්‍යන්තර අවධානය හිමිවිය. ඇයට දේශපාලන වියවුල් සහිත පරිසරයක කටයුතු කිරීමට අවශ්‍ය ශක්තිය මෙවැනි අත්දැකීම් තුළින් වැඩි වර්ධනය විය. 1987 වසරේදීද ඇය මෙරට තරුණ කැරැල්ල සම්බන්ධව වාර්තා කිරීමට නැවත ලංකාවට පැමිණියාය. එහිදී ඇය පුරා දින හයක් හමුදා මුරකපොලු මග හරිමින් පා පැදියකින් ලංකාවේ විවිධ ප්‍රදේශවල සැරිසරමින් වාර්තාකරණයේ යෙදුනාය. අතරතුර මරණය ආසන්නයටම ගොස් නැවත පැමිණෙන්නටත් ඇනීටාට හැකියාව ලැබුණි. ඇය සතුවූ සෘජු ගතිය ඒ සෑම ස්ථානයකදීම කැපී පෙනුණි. 'ඉන්දියා ටුඩේ' සඟරාවෙන් අරඹා ලොව ජනප්‍රියම 'ටයිම්ස්' සඟරාව තෙක් දීර්ඝ ගමනක් යාමට ඇයට බලපෑවේ එකී සෘජු ගුණයයි. පසුකාලීනව දකුණු ආසියානු කලාපයේ 'සී එන් එන්' ප්‍රධානියා ලෙස කටයුතු කළේද ඇයයි. ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුව සේම ඇෆ්ගනිස්ථානයේ යුධ ගැටුම් පිළිබඳවත් ඇය කළ වාර්තකරණයන් පසුකාලීනව බොහෝ ප්‍රසාදයට ලක්විය. කෙසේවෙතත් සිය වෘතීමය ජීවිතය ගැන වැඩි අවධානයක් යොමු කළ නිසා තමාට පෞද්ගලික ජීවිතයේ බොහෝ හැල හැප්පීම්වලට මුහුණදීමට සිදුවූ බව ඇය තම ජීවිත විවරණයේදී පැවසුවාය. ඇය එක් තැනකදී මෙසේද පවසා ඇත. 


" කවුරුවත් මගේ පෞද්ගලික ජීවිතයට එබිලා බලනවට මම කැමති නෑ. මම මාධ්‍යවේදීන්ගේ උත්සව ආදියට යන්නේ නෑ. ඒවගේ හැම ජාතියකම ඕපාදුප තියෙනවා. හැම විදිහෙම රස්සාවල් කරන යාලු මිත්‍රයෝ මට හිටියත් පුවත්පත් කලාවේදීන් අතරේ මට යාලුවෝ නෑ. නිකම් සාමාන්‍ය ඇසුරක් තියෙන අය තමයි ඉන්නේ. නවදිල්ලියේ කිසිම පුවත්පත් කලාවේදියෙක් මගේ නිවසට ඇවිල්ලා නෑ. මං ඉන්නේ ඒ මට්ටමට. ඒ අය මං ගැන මොකුත්ම දන්නෙත් නෑ. ඇතැම් උත්සවවලට ගියාම සමහර ගැහැණු මගේ ඇතුලාන්තය සොයන්න උත්සාහ කරනවා. මං බැඳලද ? අහනවා. දික්කසාද වුණා කිවුවම අනේ බොහොම දුකයි කියනවා. ඒ ගැන මම දුක්වෙන්නේ නැත්නම් ඇයි වෙන අය කණගාටු වෙන්නේ ? ගෑනියෙක් තනියම ඉන්නවනම්, වෘතීමය සාර්ථකත්වයත් තියෙනවනම්, පෙනුමේ කැතකුත් නැත්නම් හුඟක් කතන්දර පැතිරෙනවා. සමහරු කියන්නේ ගෑනුකම හින්දා හොඳ වාර්තා ලබාගන්න පුළුවන් කියලා. ඒක දක්ෂකමකින් ලබාගත්ත දෙයක් විදිහට පිළිගන්න කැමති නෑ. අනුන්ට කතාන්දර හද හදා ඊර්ෂ්‍යා කර කර ඉන්න වෙලා වැඩක් කරනවානම් ඒ අයටත් තැනකට එන්න පුළුවන්"


___අයේෂ් ලියනගේ___






                                                           වේලුපිල්ලේ ප්‍රභාකරන් හමුවූ අවස්ථාව 


No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators