1929 වසරේ අප්‍රේල් මස 7 වැනි දින රදාවානේ උපත ලද මහගමසේකරයන්ගේ උප්පැන්නයේ සඳහන් උපන් නම නිකන්ම "සේකර" විය. පවුලේ එකම දරුවා වූ සේකරයන්ගේ පියා වූයේ මහගමගේ ජෝන් අප්පුහාමි වන අතර මව වූයේ රණවක ආරච්චිගේ රොසලින් නෝනාය. සේකරයන් මූලික අධ්‍යාපනය රදාවාන රජයේ පිරිමි විදුහලෙන් ලබාගත් අතර 43 වසරේදී කනිෂ්ඨ පාඨශාලා විභාගයෙන් සමත් වී උසස් අධ්‍ය පනය සඳහා කිරිඳිවැල සිංහල පිරිමි විදුහලට ඇතුල් වූ බව සඳහන්ය. එහිදී ජ්‍යේෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගයෙන් ඉහළින් සමත්ව ඔහු චිත්‍ර කලාව හැදෑරීම සඳහා මරදානේ කාර්මික විද්‍යාලයට ඇතුළත් වෙයි. 49 වසරේ පැවති චිත්‍ර විෂය සඳහා වූ ගුරු විභාගයෙන් සමත් වන සේකරයන් 1950 වසරේ නිට්ටඹුව ගුරු විදුහලට ඇතුළු වවූ බවද පැවසේ. අනතුරුව 1952 වසරේ සිට ගුරුවරයෙකු ලෙස සේකරයන් සිය වෘතිය ජීවිතය අරඹයි. පසු කාලීනව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වැඩසටහන් සම්පාදකයෙකු වශයෙන්ද සේවය කළ සේකරයන් 68 වසරේදී ගුවන් විදුලියට ආයුබෝවන් කියයි. පසුව මීරිගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවයට එක් වන එතුමන් 69 වසරේ සිංහල විෂය සඳහා උපාධිය ලබන්නේ විද්‍යෝද්‍යය විශ්ව විද්‍යාලයෙනි. මේ කෙටි ඉතිහාසය තුළ සේකරයන් ක්ෂේත්‍ර රැසකට සිය දායකත්වය සැපයූ ආකාරය ඔහුගේ වෘතිය ජීවිතය තුළ පවා පැහැදිලිව දැකගත හැකිය.
සැබෑ ලෙසම ඔහුගේ වටිනාකම වූයේ ඔහු හෙබවූ තනතුරු තාන්න මාන්න තුළ නොවූ අතර සියලු වටිනාකම් ඔහු කළ නිර්මාණ තුළම ගැබ් විය. චිත්‍ර කලාව තුළ වූවද ඔහු හැම විටෙකම ඔහුගේම අනන්‍යතාවයක් ගොඩ නගා ගැනීමට උත්සාහ කළ අයෙකි. බටහිර සම්ප්‍රදාය තුළ උසස් කොට සැලකූ සාම්ප්‍රදායික භූමි දර්ශන සහ ආලේඛ්‍ය සිතුවම් ඇඳීමට වඩා එහා ගිය ආකාරයේ ප්‍රකාශනයන්ට යොමු වීමට සේකරයන් චිත්‍ර කලාව හදාරන සමයේ සිට උත්සුක විය. ඔහු විසින් සිතුවම් කළ "මහාභිනිෂ්ක‍්‍රමණය" නම් සිතුවම 56 වසරේ සම්මානයටද පාත්‍ර විය.
ඒ ඔහු චිත්‍ර ශිල්පියෙකු ලෙස නිර්මාණයකොටගත් භූමිකාවයි. නමුත් සේකරයන් සාමාන්‍ය පොදු රසිකයන් අතර ජනප්‍රිය වන්නේ සාහිත්‍යවේදියෙකු, ගීත රචකයෙකු සහ කවියෙකු ලෙසයි. ඒ ඔහු විසින් රචනා කළ බොහෝ නිර්මාණයක් ඉතා ඉක්මනින් පොදු රසිකයාගේ සිත් ග්‍රහණය කොටගත් නිසාවෙනි. එම බොහෝ නිර්මාණ සමකාලීන යුගයේ මෙන්ම වර්තමානයේද විදග්න රසිකයා අතර එකසේ ජනප්‍රිය බවට තර්කයක් නැත. චිත්‍රපට සඳහා එතුමන් රචිත ගීත රචනා සඳහා වෙනුවෙන් තෙවරක් සරසවි සම්මානයෙන්ද පිදුම් ලැබීමට ඔහු සමත් විය. පිළිවෙලින් 1966, 68 සහ 70 යන වසරවල "සාර විට", "සත් සමුදුර" සහ "බිනරමලී" යන චිත්‍රපට වෙනුවෙන් ඔහු රචනා කළ ගීත වෙනුවෙන් එම සම්මාන හිමි විය. ඔහු රචනා කළ ගීත රචනා වෙනමම දැක්විය යුතු නැති අතර ඒ අන් කවරක්වත් නිසා නොව එම ගීත රචනා අදද ඉතා ජනප්‍රිය බැවිනි.
වේදිකා නාට්‍ය තුළ ඔහු දැක්වූ දායකත්වය ගැන පවසන්නේනම් ගුණසේන ගලප්පත්ති මහතා සමග එක්ව 1964 වසරේ නිර්මාණය කළ "මුහුදු පුත්තු" වේදිකා නාට්‍යය එකළ අතිශය ජනප්‍රිය වූ නිර්මාණ කෘතියකි. ඔහු ලියූ නවකතා අතර "තුංමන් හන්දිය" සහ "මනෝමන්දිර" නම් කෘති විශේෂ වන අතර තුංමන් හන්දිය පසු කලෙක ඔහු විසින්ම සිනමාවට රැගෙන එයි. එම කතාවේ එන ප්‍රධාන කථකයා වන "සිරිසේනගේ" චරිතය ඔස්සේ මහගමසේකරයන්ගේ ආත්ම විවරණයද කැටි වී ඇති බව විචාරක අදහසයි. තුං මංසල සිටින සිරිසේන නම් තරුණයා හට ජීවිතයේ ඇති තෝරාගැනීම සේකරයන්ගේ ජීවිත තෝරාගැනීමම බව සිනමාපටය නැරඹීමේදී ප්‍රේක්ෂකයාට වැටහී යයි.
සේකරයන්ගේ නිර්මාණ තුළ හැම විටම වූයේ පවතින යථාර්තයයි. එය බොහෝ විට බෞද්ධ දර්ශනයෙන්ද පෝෂණය වූවක් බව දැකගත හැකිය. ඔහු විසින් නිර්මාණය කළ කාව්‍ය නිර්මාණ සියල්ලම පාහේ සැබෑ ජීවිත යථාර්තයන් සමග බද්ධ වී තිබුණි. "හෙට ඉරක් පායයි" , "බෝඩිම" , "නොමියෙමි" , "සක්වා ලිහිණී" , "ප්‍රබුද්ධ" ඊට හොඳම නිදසුන් ලෙස දැක්විය හැක. සේකරගේ ජීවිතය අවසන් වන්නේ අකාලයේ වූවද ඔහුගේ අවසන් සමයේ නිර්මාණ තුළ ජීවිතය දෙස හෙළු උපේක්ෂා සහගත දෘෂ්ටි කෝණය කැපී පෙනෙයි.
1971 වසරේ "ලලිත කලා ආයතනයේ" විදුහල්පති ලෙස පත් වූ එතුමන් 74 වසරේ ජනවාරි මස 14 වනදා ජීවිතයෙන් සමුගන්නේ සම කළ නොහැකි අනන්‍යතාවයක් ලෙස "සේකර" යන නම මෙරට සාහිත්‍ය කලාවේ ලකුණක් කරමිනි. ඔහුගේ 86 වන ජන්ම දිනය වන අද දින අප ඔහුව ස්මරණය කරනුයේ "සේකර" නම් එකී ලකුණ මෙරට පසු පරම්පරාවන්හි සාහිත්‍යකරුවනට, ලේඛකයින්ට නිකන්ම නිකං ලකුණක් නොව "තරු ලකුණක්ම" වූ නිසාය.
අයේෂ් ලියනගේ
සේකර ඇඳි සිතුවමක්
No comments:
Post a Comment