1940 වසරේ එක්තරා දිනක ජර්මානු නාසීන් විසින් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරයට බෝම්බ හෙලූ අවස්ථාවේ බොහෝ පිරිසකට ජීවිත අහිමි වූ අතර විශාලවශයෙන් දේපල හානිද සිදු විය. 1940 වසරේ ජූලි සහ දෙසැම්බර් අතර කාලයේ ජර්මනිය විසින් මේ ආකාරයට සිවිල් ජනතාව එල්ලකොට හෙළන ලද බෝම්බ වලින් මියගිය සංඛ්‍යාව 23,000ක් පමණ වන බව පැවසේ. ගණනය කළ නොහැකි තරම් දේපල හානි සිදුවිය. 1940 වසරේ ඔක්තෝබර් 08 වන දින ලන්ඩනයට එල්ල කළ ප්‍රහාරයද ඒ ආකාරයේම බිහිසුණු ප්‍රහාර මාලාවක එක් අවස්ථාවක් පමණක් විය. මෙහි එන සේයාරුවේ සිටින ළමයා නෂ්ටාවශේෂ වූ පොත්හලේ ඉදිරිපස සුන්බුන් මැද හිඳගෙන කියවන මේ කෘතියේ ග්‍රන්ථ නාමයද අන්තර්ජාලයේ පළවී තිබුණි. එය "The History of London " ය. වෙනත් ජාතියක් විසින් විනාශ කළ ලන්ඩනයේ සුන්බුන් මැද හිඳිමින් "ලන්ඩන් ඉතිහාසය" නම් වූ කෘතිය කියවන ඔහු හට කවරාකාර හැඟීමක් එම අවස්ථාවේ දැනුනේද යන්න මා හට මනසින් හෝ මවාගැනීමද දුෂ්කර කාර්යයකි. වචනයෙන් විස්තර කරනවාට වඩා වැඩි යමක් මේ සේයාරුව තුළ ඇති බැවින් තවත් පැහැදිලි කිරීම් නොකරමි.
පොත පතට ලැදි අය පොතක පිටුවක් නැවීමට පෙර පවා දෙවරක් සිතා බලයි. ඔවුන් කිලිටි යමක් පොතක කොළයක හෝ තැවරෙනවාට අකමැතිය. පොතක් අස්ථානගත වූ විට ලඟ සිටි හිතෛෂියෙකු අහිමි වූවක් මෙන් හැඟීමක් නිතැතින්ම දැනෙයි. ඔබත් එවැන්නෙක්නම් මේ සේයාරුව දෙස බලන විට ඔබට දැනෙන්නේ කවරාකාර හැඟීමක්ද? විනාශ වී ගිය පොත්හලක් අසල හිඳගෙන සිටිනා මෙම දරුවා බලා සිටින්නේ ලෝක ඉතිහාසයේ එක් අඳුරු පරිජ්ජේදයක් දෙසදැයි විටෙක සිතේ.
This remembers me the scenes of The Book Thief movie
ReplyDeleteHa Ha... You got it Vishmi.... :)
Delete