Saturday, September 12, 2015

සිතාරයේ තත් මත සංගීතය සිත්තම් කළ ඔහු - රවී ශංකර්

පෙරදිග ශාස්ත්‍රීය සංගීතය ජාත්‍යන්තරයට ගෙන ගිය නිර්මාණකරුවන් අතර මූලිකයා වන්නේ ඔහු යැයි පැවසීම අතිශෝක්තියක් නොවනු ඇත. ඉන්දියානු සංගීතය තුළ ඔහුව භාරතයේ මහා ගාන්ධර්වයා ලෙස ගෞරවයට පාත්‍ර වන්නේ එනිසා විය යුතුයැයි සිතමි. අසහාය ප්‍රතිභාව උපතින්ම ගෙන ආ මේ සුවිශේෂී මිනිසා 1920 වසරේ අප්‍රේල් මස 7 වැනි දින ඉන්දියාවේ වාරණාසි ප්‍රදේශයේ උපත ලබන්නේ "රොබින්ද්‍රෝ ශංකර් චෞද්‍රි" යන නමින්. වාදනයට අත් පොත් තැබීමට පෙර කුඩා ශංකර් යොමු වන්නේ නර්තනයටයි. ඒ සිය සොහොයුරෙකු වූ උදය ශංකර්ගේ මග පෙන්වීම යටතේය. නර්තන කණ්ඩායම් සමගින් යුරෝපාකරයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරය කළ ශංකර් ක්‍රම ක්‍රමයෙන් සංගීතයද උගත්තේය. පෙරදිග සංගීතය පමණක් නොව බටහිර සංගීතයේද ප්‍රමාණාත්මක හැදෑරීමක්ද ඔහු සතු වූවේය.


නර්තනයට වඩා තමාගේ සිත සංගීතය කෙරෙහි ඇදී ගිය බැවින් තමා නර්තනය අත් හැර දමා සංගීතයට යොමු වූ බව ශංකර් පසු කළෙක පැවසීය. 1938 වසරේදී "අලහුදීන් ඛාන්" නම් සංගීතවේදියෙකු යටතේ සිතාර් වාදනය ප්‍රගුණ කරන රවි ශංකර් අධ්‍යාපන කටයුතු අවසන් කොට සංගීත අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කරන්නට විය. ඒ 1944 වසරයි. ශංකර් හට සිනමාපට ත්‍රිත්වයකට සංගීත අධ්‍යක්ෂණයෙන් සිය දායකත්වය දැක්වීමට අවස්ථාව හිමි වන අතර එය පසු කාලීනව අපූරු සුසංයෝගයක් බවට පත් වන්නේ ඔහු සංගීත අධ්‍යක්ෂණය කළ සිනමාපට ත්‍රිත්වයේම අධ්‍යක්ෂවරයා වන්නේ සුප්‍රකට බෙංගාල අධ්‍යක්ෂ "සත්‍යජිත් රායි"වන නිසාය. එම සිනමාපට පිළිවෙලින් "පාතර් පංචාලි", "අපුර් සංසාර්" සහ "අපරාජිතෝ" යන ත්‍රිත්වයයි.


සත්‍යජිත් රායි ගේ සිනමාපට සඳහා සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වීම සමග ශංකර්ගේ නාමය ජාත්‍යන්තර තලය තුළ තරමක් ප්‍රකට විය. මෙම වකවානුව වන විට රවි ශංකර් යුරෝපයේ සහ වෙනත් රටවල සංචාරය කළ අතර සංගීත ප්‍රසංග ගණනාවක්ද පවත්වා තිබුණි. කෙසේවෙතත් මේ ඔහුගේ පෞද්ගලික ජීවිතය අර්බුද රැසකට මුහුණ දී තිබූ කාල වකවානුවකි. පෙම් සබඳතා සහ ඉක්මන් විවාහය මේ ගැටුම් වලට මුල් වී තිබුණි. මේ හේතු මතම 1954 වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නුවර පැවති දැවැන්තම පෙරදිග ශාස්ත්‍රීය සංගීත ප්‍රසංගයට සහභාගී වීමට ඔහුට නොහැකි විය. නමුත් ඔහු වෙනුවට තම මස්සිනා වූ ප්‍රකට තබලා වාදකයෙක් වූ "අල්ලා රක්ඛා" එයට සහභාගී කරවූ ශංකර් ඔහු හරහා දැනගනු ලබනවා ඇමරිකාව තුළ පෙරදිග සංගීතයට ඇති ඇල්ම. අනතුරුව ඔහු රැකියාව කළ "භාරතීය ජාතික ගුවන් විදුලි" ආයතනයෙන් ඉල්ලා අස් වී විදේශ රටවල් ගණනාවක සංචාරය කරනු ලබන්නේ ඉන්දියානු සංගීතය උපයෝගී කරගනිමින් ජාත්‍යන්තරය තුළ දැනෙන යමක් කිරීමේ අපේක්ෂාවෙනි.


මේ සංචාරයන් අතරවාරයේ ඔහු සංගීත පට කිහිපයක් එළි දැක්වූ අතරම විදේශ සිනමාපට ගණනාවකටම සංගීත දායකත්වය ලබා දීමද සිදු කළේය. ඉන්දියානු නොවන විදේශ සිනමාපට සඳහා සංගීත අධ්‍යක්ෂණය කළ ප්‍රථම ඉන්දියානුවා ලෙස සැලකෙන්නේද රවි ශංකර්ය. රවී ශංකර් සහ ලෝ ප්‍රකට "බීට්ල්ස්" සංගීත කණ්ඩායම අතර දැඩි සම්බන්දයක් වූ බව ප්‍රකට කරුණක්. ශංකර් යනු පෙරදිග ශාස්ත්‍රීය සංගීත ක්‍රමවේද අනුගමනය කළ අයෙක් වූ අතර බීට්ල්ස් යනු බටහිර රොක් සහ පොප් සංගීතය අනුගමනය කළවුන්ය. මොවුන් මෙතරම් සමීප වූයේ කෙසේදැයි යන්න එවක රසිකයන්ට තිබූ විශාල කුතුහලයකි. ඔවුන් එකිනෙකා හමුවන්නේ 1966 වසරේදීය.  බීට්ල්ස් සංගීත කණ්ඩායම සිය ඇතැම් ගීත සඳහා සිතාර් සංගීතය යොදාගෙන තිබීම ශංකර්ගේ සතුටට හේතු වී තිබුනි. බීට්ල්ස් බටහිර ගායකයන් වුවත් ඔවුන් පෙරදිග සංගීතයට දැක්වූ ගෞරවපූර්වක බව  නිසාම ශංකර් සහ ඔවුන් අතර දැඩි මිත්‍රත්වයක් ඇති වන්නට ඇත. ශංකර්ගේ වාදනයට ඔවුන් කොතරම් වශී වූවේදැයි කියනවානම් බීට්ල්ස්හි ප්‍රදාන වාදකයෙක් සහ ගායකයෙක් වන "ජෝර්ජ් හැරිසන්" පසු කලෙක ඉන්දියාවට පැමිණෙන්නේ ශංකර්ගෙන් සිතාර් වාදනය ඉගෙනීමටයි. රවී ශංකර් පැවසුවේ ජෝර්ජ් යනු ඉතා දක්ෂ සිසුවෙකු බවයි. ලෝ ප්‍රකට සංගීතවේදියෙකු වුවත් ඔහු තමාගෙන් සිතාර් වාදනය උගත්තේ නිහඬ අවනත සිසුවෙකු ආකාරයෙන් බවත් පසු කළෙක ඔහු පැවසුවේය. එතැන් සිට ඔවුන් එක්ව සංගීත කටයුතු බොහෝමයක් සිදු කළ අතර ජෝර්ජ් හැරිසන් grammy සම්මානය දිනූ සංගීත ඇල්බමයේ ඉන්දියානු රාගධාරී සංගීතයේ මුසුව පැහැදිලව හඳුනාගත හැකි විය. 

රවී ශංකර්ගේ පෞද්ගලික ජීවිතය බොහෝ අර්බුද මැද ගලා ගිය අතර දික්කසාද ගණනාවකට මුහුණ දීමටද ඔහුට සිදු විය. ඔහු ප්‍රථමයෙන් විවාහ වූයේ තම සිතාර් ගුරුවරයා වූ "අලහුදීන් ඛාන්" ගේ දියණිය වූ "අන්නපුර්ණා දේවි" සමගයි. ඇයද සිතාර් වාදන ශිල්පිනියන වූ අතර එම විවාහයෙන් ඔවුනට "සුබෙන්ද්‍ර ශංකර්" නමින් පුතෙකු ලැබුණි. දරු උපතින් පසු වැඩි කලක් යාමට මත්තෙන් එම විවාහය අවසන් වූ අතර අනතුරුව ශංකර් ප්‍රකට භාරතීය නර්තන ශිල්පිනියක වූ "කමලා ශාස්ත්‍රී" සමගින් ප්‍රේමයක පැටලුණි. පසුව ඔහු ඇමරිකාවේ වාසය කළ සමයේ ඇමරිකානු ජාතික සංගීත නිර්මාණ ශිල්පිනියක වූ Sue Jones සමග තිබූ සබඳතාවයෙන් ඔහුට දාව ඇය "Norah Jones" නම් දියණියක බිහි කරයි. ඇයද පසු කෙලෙක සංගීත ශිල්පිනියක් බවට පත් විය. නමුත් ශංකර් සහ Sue Jones විවාහ වී සිටියේ නැත. කමලා ශාස්ත්‍රීගෙන් 1981 වසරේ වෙන් වූ රවී ශංකර් "සුඛන්යා රාජන්" නම් තරුණියක සමග පෙම් සබඳතාවයක් ආරම්භ කරයි. ඔවුන්ගේ සබඳතාවයේ ප්‍රතිපලයක් ලෙස රවීගේ ආදරණීයම දියණිය වන "අනොෂ්කා ශංකර්" 1981 වසරේ උපත ලබයි. ඇය සිය පියා යන අඩි පාරේම ගොස් විශිෂ්ට සිතාර් වාදන ශිල්පිනියක බවට පත් වූවාය. අනොෂ්කාගේ මව වන සුඛන්යා රාජන් සමග රවී හට බොහෝ දීර්ග සබඳතාවයක් තිබුනද ඔහු ඇයව විවාහ කරගනු ලබන්නේ 1989 වසරේදීය. කෙසේ හෝ ඔහුගේ මරණය තෙක් එම විවාහ සබඳතාවය දිගටම රැඳී පැවතුනි. 

1982 වසරේ නිෂ්පාදනය වූ ඔස්කාර් සම්මානයෙන්ද පිදුම් ලැබූ "ගාන්ධි" සිනමාපටය වෙනුවෙන් සංගීත අධ්‍යක්ෂණය කළේද රවී ශංකර්ය. ඔහු එහිදී ඔස්කාර් සම්මානයටද නිර්දේශ විය. 1968 වසරේ රවී ශංකර් තම ස්වයං ලිඛිත චරිතාපදානය ලියූ අතර එය My Music, My Life නමින් එළි දක්වන ලදී. 1997 වසරේදී එහි දෙවන කොටස වන "රාග මාලා" ප්‍රකාශයට පත් විය. කලක් ඉන්දියානු පාර්ලිමේන්තුවේ රාජ්‍ය සභා සභිකයෙකු ලෙසත් ඔහු කටයුතු කළේය. ජාත්‍යන්තර Grammy සම්මාන තුනකින් පිදුම් ලැබූ මොහුට භාරතීය සංගීතයේ පිදෙන ඉහළම සම්මානය වන "Sangeet Natak Akademi" සම්මානය 1975 වසරේ පිරිනැමෙනවා. තවද ඉන්දියානු පුරවැසියෙකුට පිදෙන ඉහළම සම්මාන වන "පද්ම විභූෂණ" සම්මානය සහ "භාරත රත්න" සම්මානයද ඉන්දියානු රජය විසින් මොහුට පිරිනමනවා. ලොව පුරා විශ්ව විද්‍යාල ගණනාවකින් මොහුට ආචාර්ය උපාධි පිළිගැන්වූයේ ඔහු ලෝක සංගීතයට කළ මෙහෙවර අගය කිරීමටයි. වරින් වර හෘදයාබාද රැසකින් රෝගී වී සිටි මේ මහා ගාන්ධර්වයා 2012 වසරේ දෙසැම්බර් 11 වන දින මියයන්නේ වයස 92දීය. භාරත සංගීතය තුළත්, ලෝක සංගීත තුළත් රවී ශංකර් කළ නිර්මාණ තව චිරාත් කාලයක් රැව් දෙනු ඇත. 

_අයේෂ් ලියනගේ_



ජෝර්ජ් හැරිසන් සමග 

ශංකර්ගෙන් සිතාරය උගත් ජෝර්ජ් හැරිසන්

දියණියන් සමග  




No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators