1821 වසරේ නොවැම්බර් මස 11 වන දින මොස්කව් නුවරදී පියදෝර් දොස්තයෙවුස්කි උපත ලැබුවේය. ඔහුගේ පියා වෛද්‍යවරයෙකු වූ අතර මව දොස්තයෙවුස්කි තරුණ වියට එළඹීමටත් පෙර මිය ගොස් ඇත.දොස්තයෙවුස්කිගේ ළමා අවදිය එතරම් සුන්දර කාලයක් නොවූ අතර වෛද්‍යවරයෙක් වූ සිය පියාගේ දරදඬු ආධිපත්‍යට යටත්ව සිටීමට ඔහුට සිදු විය. හැම විටෙකම පියාගෙන් පහර කෑ ඔහු පියාගේ අණ පිළිපදිනු ලැබුවේ ගුටි නොකා බේරිමටයි. නමුත් ඔහුගේ මව ඉතා කරුණාබර හදවතක් තිබූ තැනැත්තියකි. කුඩා දොස්තයෙවුස්කි හට නිවසේ තිබූ එකම සහනය වූයේ සිය මව පමණි. අකාලයේ සිදු වූ මවගේ මරණයත් සමග නිවස දොස්තයෙවුස්කි හට අපායක් බඳු විය. අවසානයේ පියා කලක සිට බල කරමින් සිටි ඉංජිනේරු තාක්ෂණය හැදෑරීමේ පාඨමාලාව සඳහා ඔහු පිටර්ස්බර්ග් නුවරට යෑමට තීරණය කරයි. එය හැදෑරීමට ඔහු අකමැති වුවත් පියාගෙන් දුරස් වී සිටීමට එය උපකාරී වන නිසා එම අවස්ථාවේ ඔහු එයට එකඟ විය. පීටර්ස්බර්ග් නුවර හිඳිමින් ඉංජිනේරු තාක්ෂණය හැදෑරු ඔහු ඒ ආශ්‍රිත රැකියාවකද යෙදෙන්නට විය. මෙම කාලය තුළ ඔහුගේ පියාගේ ජීවිතය බොහෝ සෙයින් පිරිහී තිබුණි. මවගේ වියෝවත් ඊට බලපා තිබූ අතර බීමට ඇබ්බැහි වූ ඔහු නිවසේ සිටි සේවකයන් සමග පවා ආරවුල් ඇති කරගෙන තිබේ. වරක් එවන් ආරවුලකදී සේවකයන් පිරිසක් විසින් ඔහුගේ පියාට පහර දී ඝාතනය කරන ලදී. එය ඔහුට වේදනා ගෙන දුන්නේ ඔහුට සිටි එකම රැකවරණයද අහමි වූ නිසයි. කෙසේ හෝ ඔහු යළිත් මොස්කව් නුවරට පැමිණියේ නැත.
පියාගේ වියෝවත් සමගම තමා අකමැත්තෙන් කරමින් සිටි ඉංජිනේරු රැකියාවෙන් අස්වීමට ඔහු දෙපාරක් සිතුවේ නැත. එම රැකියාවෙන් ඉවත් වූ ඔහු පීටර්ස්බර්ග් නගරයේ පුවත්පත් කිහිපයක විශේෂාංග ලේඛකයෙක් ලෙස කටයුතු කරන්නට විය. සාහිත්‍ය පිළිබඳව විශාල උද්යෝගයක් තිබූ එම වකවානුවේ සමාජ සංවාද ආදිය බෙහෙවින් සමාජය පුරා නිර්මාණය වන්නට විය. විශේෂයෙන්ම සාර් පාලනයේ රාජ්‍ය තන්ත්‍රයට විරුද්ධව එම සංවාද විකාශනය වන්නට විය. සාහිත්‍යයට ඇති ඇල්ම හේතුකොටගෙනම මුල් කාලීනව දොස්තයෙවුස්කිද මෙම සංවාද වලට දායක වුවද පාලන විරෝදී ක්‍රියාකාරකම් පිළිබඳව ඔහුට අවබෝදයක් නොවීය. ගොගොල්, බිලින්ක්ස්කි වැනි එවක නව ධාරාවේ ලේඛකයින්ගේ කෘති ඔස්සේ සාකච්ජාවට බඳුන් වූ සමාජ ප්‍රශ්න පිළිබඳව දොස්තයෙවුස්කිද ක්‍රම ක්‍රමයෙන් උනන්දු වන්නට විය. 1849 වසරේ අප්‍රේල් මස 23 වන දින ඔහු සහභාගී වූ මෙවන් සංවාදයකට රජයේ රහස් ඔත්තු සේවා කඩා වැදුණි. එහි සිටි සියල්ලෝම රාජ්‍ය විරෝධීන් ලෙස සලකා අත්අඩංගුවට ගැනුණි. නඩු විභාගයෙන් පසුව තීරණය වූයේ ඔවුන් සියලු දෙනා හට මරණ දඬුවම ලබා දීමයි. ඉතා තදින් හිම පතනය වූ දිනෙක "Petrashevsky" චතුරශ්‍රයේදී ඔවුන්ට වෙඩි තබා ඝාතනය කිරීමට නියමිත විය. මරණය පිණිස පෝලිම් ගසා තිබූ ඔවුන්ට කිරීමට ඉතිරිව තිබුණේ දෙවියන් යැදීම පමණකි. පූජකයෙකු පැමිණ මරණයට කැපවූවන් වෙනුවෙන් පූජාවද පැවැත්වුවේය. වෙඩි තැබූ පසුව ඔවුන්ව බහාලන මිනී පෙට්ටි ඔවුන් ඉදිරිපිට ගෙනත් තබන ලදී. දොස්තයෙවුස්කි ජීවිතය පිළිබඳව වූ බලාපොරොත්තු අත් හැර දමා තිබුණි. කෙසේ හෝ අවසානයේ හාස්කමක් සිදු විය. මරණ දඬුවම වෙනස් කළ බවට පණිවිඩයක් රැගෙන පණිවිඩකරුවෙක් පැමිණියේය. දොස්තයෙවුස්කි හට තවදුරටත් ජීවත් වීමට වරම් හිමි විය.
මෙම සිදුවීමෙන් පසුව ඔවුන්ව සයිබීරියාවේ සිර කඳවුරු වෙත යොමු කරන ලදී. බරපතල වැඩ සහිතව ඉතා අපිරිසිදු කඳවුරක ජීවිතය ගත කිරීමට දොස්තයෙවුස්කි හට සිදු විය. විවිද රෝගාබාධ, අධික ශීතල, අපිරිසිදුබව නිසාවෙන් එහි ජීවත් වූ සිරකරුවන්ගේ මානසිකත්වයන් අන්තයටම ඇද දමා තිබුණි.වසර හතරක් පුරාවට මෙම වේදනාවන් විඳගෙන සිටීමට ඔහුට සිදු විය. ජීවිතයේ යථාර්තය දැකීමට දොස්තයෙවුස්කි හට හැකියාව ලැබුණි. මෙම අත්දැකීම් අළලා ඔහු නවකතාවක් ලියන්නට යෙදුනි. මිනිස් ජීවිතයේ වූ කටුක සත්‍ය අනාවරණය කළ එම නිර්මාණය "Notes from a dead house" නම් විය. "මළ ගෙයක සටහන් ලෙස" සිංහලයටද පරිවර්තනය වී ඇත්තේ මෙම කෘතියයි. කෙසේ හෝ එම නිර්මාණය ඔහුගේ ලේඛක දිවියේ එක් හැරවුම් ලක්ෂයක් බවට පත් විය.
සිර දඬුවමින් නිදහස් වී පැමිණි මුල් කාලය දොස්තයෙවුස්කි හට ජීවත් වීමට අපහසු කාල වකවානුවක් විය. සිරකරුවෙකු ලෙස හංවඩු ගැසී සිටි නිසාවෙන් පොතක් පල කරගැනීම අතිශය දුෂ්කර කටයුත්තක් බවට පත් විය. "මළ ගෙයක සටහන්" කෘතිය පළ කිරීමට කිසිදු ප්‍රකාශන ආයතනයක් කැමති වූයේ නැත. අවසානයේ ඔහු තීරණයකට එළඹියේය. ඔහු තමා විසින්ම සඟරාවක් ආරම්භ කරන ලදී. එහි කොටස් වශයෙන් "මළ ගෙයක සටහන්" පළ කරන්නට දොස්තයෙවුස්කි කටයුතු කළේය. එම කතාව අතිශය ජනප්‍රිය වන්නට වූ අතර බොහෝ ප්‍රතිචාරද ගලා එන්නට විය. මහා ලේඛක තෝල්ස්තෝයි පවා දොස්තයෙවුස්කි අගය කොට එම කතාව විශිෂ්ට බව පවසා තිබුණි. තෝල්ස්තෝයි පැවසුවේ "පුෂ්කින්ගෙන් සහ ගොගොල්ගේ හැරුණු විට මෙතරම් විශිෂ්ට කෘති තවත් බිහිවන බව දැකීමත් සතුටක් බවයි". සයිබීරියානු කලාපයේ සැබෑ තතු ලෝකයට නිරාවරණය වූ අතර දොස්තයෙවුස්කි හට විශාල පිළිගැනීමක් හිමි විය. ජර්මන් ජාතික දාර්ශනික "නීට්ෂේ" පවා ඔහුගේ නිර්මාණය තුළින් නිදසුන් ගෙනහැර දක්වන්නට විය.
දොස්තයෙවුස්කිගේ පෞද්ගලික ජීවිතය විශාල හැල හැප්පීම් මැද ගත වූවකි. මරියා නම් වැන්දඹු ගැහැනියක සමග විවාහ දිවියට එළඹී දොස්තයෙවුස්කිගේ විවාහ දිවිය එතරම් සතුටින් ගත වූයේ නැත. මරියා නම් ගැහැණිය ක්ෂය රෝගයෙන් පෙලුන අතර නිතර අඬ දබර කරගන්නටද විය. එම කාල වකවානුව අතරතුර විවාහයට එපිටින් වෙනත් සම්බන්දකම් කිහිපයක් දොස්තයෙවුස්කි හට විය. ඔහුගේ සඟරාවේ ලේඛිකාවක වූ පොලිනා සමග ඔහුට තිබූ සම්බන්දය ඉතා දුරදිග ගිය සම්බන්දයකි. නමුත් ඔවුනට එකතු වන්නට හැකි වූයේ නැත. කෙසේ හෝ ඔහුගේ සඟරාවේ වරක් රාජ්‍ය විරෝධී ලිපියක් පළ වූ බැවින් එම සඟරාව තහනම් කිරීමට ආණ්ඩුව කටයතු කරන ලදී. අවාසනාවට ඔහුගේ සඟරාව ආරම්භ කිරීමට සහාය දුන් දොස්තයෙවුස්කිගේ සොහොයුරාද මරණයට පත් විය. දොස්තයෙවුස්කි හතර අතට ණය කාරයෙකු බවට පත් විය. අවසානයේ ණය ගෙවාගැනීමට නොහැකි තැන ඔහු බටහිර යුරෝපයට පලා යයි.
දොස්තයෙවුස්කිගේ ජීවිතයේ කිසියම් පිළිවෙලක් වූවානම් ඒ "ඇනා" නම් තරුණිය නිසා ඇති වූ වෙනසකි. ප්‍රථම බිරිඳ මියගිය පසුව දොස්තයෙවුස්කි හට මෙම තරුණිය මුණ ගැසෙන්නේ යතුරු ලියන ලේඛිකාවක් ලෙස තමා සමග කටයුතු කිරීමට පැමිණි අවස්ථාවකදීය. ඔහු ඇයව විවාහ කරගත්තේය. දොස්තයෙවුස්කි සමග ජීවත් වීම පහසු නොවීය. ඔහුත් ඔහුගේ පියා සේම දරදඬු ගතිගුණ වලින් හෙබි මිනිසෙක් බවට කාලයත් සමග පත් විය. අනෙක් අයගේ මතයකට ගරු නොකළ ඔහු බිරිඳට පවා ඉතා දරදඬු ලෙස සලකා ඇත. නමුත් ඇය ඒ සියල්ල ඉවසා වදාරමින් පවුලේ අභිවෘදිය උදෙසා ක්‍රියා කොට ඇත. දොස්තයෙවුස්කි ජීවිතයේ අවසන් සමයේ ඇය පිළිබඳව ඇයගේ උසස් ගති ගුණ පිළිබඳව ඉතා සංවේදී ලෙස අදහස් දක්වා ඇත. "පාපයේ ගැලී සිටි මාගේ ආත්මය ගලවා ගැනීමට දෙවියන් මා වෙත එවූ ගැහැනිය ඇයයි. මාගේ සැපත, විශ්වාසය, අනාගතය ඇයම පමණි". ඔහු එසේ පැවසීය.
1866 වසරේ ඔහු විසින් ඔහුගේ විශිෂ්ටතම නවකතාව ලෙස සැලකෙන "අපරාධය සහ දඬුවම" ලියා පළ කළේය. එය සැබෑ ලෙසම ලෝක සාහිත්‍යය උඩු යටිකුරු කළ නිර්මාණයකි. සිග්මන් ෆ්‍රොයිඩ් මිනිසාගේ මනස පිළිබඳව විද්‍යාත්මක සාක්ෂි ඔස්සේ එහි ස්වභාවය හෙළි කිරීමටත් පෙර සාහිත්‍ය තුළ එය ජීවමානව මතු කළ මිනිසා වන්නේ දොස්තයෙවුස්කිය. මෙම කෘතිය තරම් මිනිසෙකුගේ මනස විග්‍රහ කළ තවත් නවකතාවක් ලොව ඇත්දැයි සිතීමටවත් නොහැක. එය කියවන ඕනෑම අයෙකුට එම කෘතියේ ප්‍රධාන චරිතය විඳින මානසික පීඩනය නිතැතින්ම දැනීම සිදු වේ. ඒ පිළිබඳව හෙළයේ මහා ගත්කතුවර මාර්ටින් වික්‍රමසිංහයන් "උපන්දා" සිට කෘතියේ මෙසේ දක්වා ඇත.
" තරුණ වියෙහි මා කියවූ නවකතා වලින් දොස්තයෙවුස්කිගේ crime and punishment තරම් මාගේ සිත් වෙහෙසූ අනිකක් නොවීය. එය කියවද්දී කිසිවෙක් මාගේ මොළය පීරී ගාන්නක් මෙන් මට හැඟින. මිනිස් සිත පිළිබඳව දොස්තයෙවුස්කිගේ ඥානය වටහා ගන්ට නොහැකි වූ මා ඒ අවස්ථාවේ ඒ පොත කියවූයේ අඳුරේ අතපත ගාන්නෙකු ලෙසිනි".
එයින් අනතුරුව "සුදූ අන්තුවා" , "කරමසෝ සහෝදරයෝ" වැනි කෘති ලියා පළ කළ අතර එම සෑම නවකතාවක්ම අතිශය ජනප්‍රිය විය. කරමසෝ සහෝදරයෝ තෝල්ස්තෝයිගේ යුද්ධය සහ සාමය සමග සහ සමව සමාජය අනාවරණය කළ කෘතියක් විය. වයස්ගත වත්ම දොස්තයෙවුස්කිගේ කෘති තුළ ආගමික නැඹුරුව වැඩි වශයෙන් දකින්නට ලැබුණි. එය ඔහුට පමණක් නොව බොහෝ රුසියානු ලේඛකයන්ට සිදු වූ පොදු දෙයකි. කෙසේ හෝ ජීවිතයේ අවසාන භාගය වන විට බිරිඳගේ සහයෝගයෙන් දොස්තයෙවුස්කි හට ණය බරින් තොර නිදහස් ජිවිතයක් ගත කිරීමට වරම් හිමි විය. 1880 වසරේ වයෝවෘද වියෙහි පසු වූ දොස්තයෙවුස්කි හට මොස්කව් නුවර පැවැත්වූ මහා ලේඛක ඇලක්සන්ඩර් පුෂ්කින්ගේ ගුණ සමරුවේ ආරාධිත දේශනය හිමි විය. පුරා දින ගණනක් ඒ වෙනුවෙන් වෙහෙස වූ දොස්තයෙවුස්කි එදින එයට සහභාගී විය. එය රුසියානු ඉතිහාසයේ ලේඛකයෙකු විසින් සිදු කළ විශිෂ්ටතම කතාව ලෙසින් සැලකිය හැකි බව විචාරකයින් පැවසීය. සමස්ත රුසියානු සාහිත්‍යයම පිළිබඳව වූ විග්‍රහයක් වූ එම කතාව අවසානයේ මිනිසුන් කඳුළු සැලූ බවද පැවසේ. පුෂ්කින් වෙත ගෙනා සැමරුම් මල් දොස්තයෙවුස්කි හට පිදුණි.
1881 වසරේ පෙබරවාරි මස 9 වන දින 59 වන වියේදී ජීවිතය පුරා කටුක වේදනා විඳි මේ මහා ලේඛකයා මිය යන්නේ පෙනහැල්ලේ නහරයක් පිපිරී යාම නිසයි. ඔහු අසනීප වූ දින රාත්‍රියේත් ඔහු එක දිගට මොන මොනවාදෝ ලියමින් සිටි බව ඔහුගේ බිරිඳ පවසා ඇත. එසේ ලියමින් සිටි අතරතුර ඔහුගේ අතින් පෑන ගිලිහී වැටුන බවත් නැවත එය අහුලගැනීමට ගිය අවස්ථාවේ ඔහුට අසාද්‍ය වූ නිසාවෙන් වෛද්‍යවරයා කැඳවාගෙන පැමිණීමට සිදු වූ බවත් ඇය පවසා ඇත. ගිලන් ඇඳ මතදී ඔහු ඇයට මෙසේ පැවසූ බව සැලවේ.
"ඇනා ආයෙත් මම ලියන්නේ නැහැ. මේ තමයි අවසානය. වැටුන පෑන අහුලගන්න මට අපහසුයි. ඒත් තවමත් මට කියවන්න පුළුවන්. ඒ නිසා අර ඉටිපන්දම පත්තු කරලා මට බයිබලය දෙන්න"
_අයේෂ් ලියනගේ_
බිරිඳ ඇනා
No comments:
Post a Comment