Saturday, June 4, 2016

______ශ්‍රේෂ්ටයා නික්ම ගියේය________!

වසර 32ක් පාර්කින්සන් රෝගයෙන් පීඩා විඳි ලෝ ප්‍රකට බොක්සින් ශූරයා වූ "මොහොමඩ් අලී" ජීවන රඟ මඩලෙන් සදහටම සමුගත්තේ ශ්‍රේෂ්ටයකුගේ මතක සටහන් ලෝකයේ ඉතිරි කරමිනි. ලෝකයා ඔහුව ශ්‍රේෂ්ටයෙකු ලෙස හඳුන්වන්නේ මන්ද ? ඒ ඔහු හුදෙක් බොක්සින් ක්‍රීඩකයෙක් නොවූ නිසාය. ඇමරිකා එක්සත් ජනපදයේ "ලුවිවිල්" නම් වූ කුඩා නගරයේ මුඩුක්කුවක ජන්මය ලැබූ අලී සිය ජීවන ගමන් මගෙහි පැමිණි දුර අසමසමය. ඔහු පැමිණියේ මල් ඇතිරූ රතු පලස් මතින් නොව වර්ණ භේදවාදයේ අඳුරු සෙවනැලි රජ කළ භීෂණ සමයන් පසුකරමිනි. එසේ පැමිණි ගමනේ අවසාන ඔහු සිය අණසක ලෝක බොක්සින් වළල්ල මත පැතිරුවේ තවකෙකුට සම කළ නොහැකි විශිෂ්ටත්වයක් විදහා දක්වමිනි.


පසු කාලීනව මොහොමඩ් අලී ලෙස ඔහුව හැඳින්වූ නමුත් ඔහුගේ උපන් නම වූයේ "කැසියස් ක්ලේ" ය. සිය උපන් නම වෙනස් වීමට බලපෑම් කළ කාරණාව නම් ඔහු පසු කාලීනව "අලිජා මොහොමඩ්" ගේ ඇමරිකානු මුස්ලිම් ධර්මය වැළඳ ගැනීමයි. මැල්කම් x වැනි කළු ජාතික නායකයින් ඇමරිකානු මුස්ලිම් දහම තුළ කැපී පෙනෙන කාර්යභාරයක් එකළ සිදු කිරීමත් ඔවුන්ගේ ඇසුරත් කැසියස් ක්ලේ මොහොමඩ් අලී බවට පත් වීමට ප්‍රේරණයක් සැපයීය. සුදු ඇමරිකාව තුළ කළු ජාතිකයන්ට සිදු වන අසාධාරණකම්හි ප්‍රතිපලයක් ලෙසට බිහිවූ ඇමරිකානු මුස්ලිම් දහම වෙනම ඇමරිකානු හැඩයක් ගත් දහමකි. ආගම වෙනස් වීමත්, වහල් භාවයෙන් හිමි වූ නාමය වෙනස් වීමත් සමග අලීගේ චින්තනයේද විශාල වෙනස්කම් සිදු විය. ඇමරිකානු දේශපාලන ප්‍රවාහය පිළිබඳව වූ විවේචනය මොහොමඩ් අලී සමාජගත කරනුයේ එකී චින්තන වෙනසත් සමගයි.


60 සහ 70 දශකයන් වනවිට ඇමරිකාව තුළ කළු ජාතිකයන්ට එරෙහිව සිදු වූ තාඩන පීඩන දෙගුණ තෙගුණ විය. මාටින් ලූතර් කිං වැනි දේශපාලන නායකයින්ද, මැල්කම් X වැනි දේශපාලන ක්‍රියාකාරින්ද සමග උරින් උර ගැටී වැඩ කිරීමේ හැකියාව අලීට හිමි වූවා සේම ඔහුගේ බොක්සින් ජීවිතයෙද ස්වර්ණමය වකවානුව වූයේ මේ කාලයයි. සිය ජීවිතයේ හොඳම ජයග්‍රහණ වාර්තා කළේද මේ වකවානුවේම වීම විශේෂත්වයයි. ක්‍රීඩාවේ සාර්ථකත්වයට දේශපාලන පන්නරයද ඔහුට පාඩම් කියාදුනි. ස්වභාවයෙන්ම අලී යනු මුඛරි පුද්ගලයෙකි. බොක්සින් වළල්ල තුළ අනෙකාට කරන අභියෝග සේම ඔහු බොක්සින් වළල්ලෙන් පිටදීත් ඇමරිකානු රජයට පවා සිය මුඛරි වහරෙන් දෝෂ දර්ශන එල්ල කළේය. වියට්නාම යුද්ධය ඇරඹි මෙම වකවානුවේදී මොහොමඩ් අලී හට යුද සේවයට බැඳෙන ලෙස බලපෑම් එල්ල විය. නමුත් ඔහු එයට එකඟ වූයේ නැත. ඔහු පැවසුවේ වියට්නාමය යනු ස්වාධීන රටක් බවත් එම රටේ ජනතාව හෝ වියට්කොන් බටයන් සමග තමාට කිසිදු තරහක් නැති බවත්ය. ප්‍රසිද්ධ වේදිකාවන් මත වියට්නාම යුද්ධයට විරුද්ධව කළ විවේචන හේතුවෙන් අවසානයේ ඔහුට බොක්සින් වළල්ලෙන් ඉවත් වී කාලයක් සිරගෙයි ලැගීමටද සිදුවිය. නමුත් එම පීඩා කිරීම් ඔහුගේ ආත්ම ශක්තිය හීන කිරීමට තරම් ප්‍රභල වූයේ නැත.


ලෝ ප්‍රකට පුද්ගලයන් බොහොමයක් ඇසුරු කළ මොහොමඩ් අලිගේ ජාත්‍යන්තර මිතුරන් වූයේ නෙල්සන් මැන්ඩෙලා, සර් බර්ට්‍රන්ඩ් රසල්, ජෝන් ලෙනන් වැන්නන්ය. ජෝන් ලෙනන් වරෙක මොහොමඩ් අලී හට කියාදුන් පාඩමක් ඔහු සිය ජීවිත කතාවේ මෙසේ දක්වනවා " නුඹ සමාජයේ ඉහළට යන්න යන්න බොරුවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නුඹ සත්‍යට ලං වෙන්න ලං වෙන්න නුඹ වටා ඉන්න අනෙක් අය සත්‍යයෙන් ඈත් වෙනවා" වියත් ඇසුර මොහොමඩ් අලී හුදෙක් බොක්සින් ක්‍රීඩකයෙකුට වඩා එහා තත්ත්වයකට රැගෙන ගිය බව නොරහසකි.


අලී යනු බොක්සින් වළල්ල තුළ මහා දැවැන්තයින් බිම හෙලා එකපිට එක ලෝක හෙවිවේට් ශුරතාව හිමිකරගත් ක්‍රීඩකයෙකි. බොක්සින් වළල්ල තුළ ඔහුගේ ප්‍රභලතම ප්‍රතිවාදියා ලෙස සැලකෙන්නේ "ජෝ ප්‍රේසියස්" ය. මොහොමඩ් අලි පවසන පරිදි සිය ජීවිත කාලය තුළ තමාට හමු වූ හොඳම සටන් සගයා වන්නේ ජෝ ප්‍රේසියස්ය. වියට්නාම යුද්ධය ප්‍රතික්ෂේපකොට බොක්සින් තහනමට ලක්ව සිටි වකවානුවේ ආර්ථිකමය වශයෙන් මෙන්ම බොක්සින් ක්‍රීඩාවට නැවත පැමිණීමට උපකාර කරන්නේද ජෝ ප්‍රේසියස්ය. නමුත් බොක්සින් වළල්ලේ ද්වන්ද සටනේදී ඔවුන් ප්‍රභල සතුරන්ය. මීට වසර කිහිපයකට පෙර ජෝ ප්‍රේසියස්ද මෙලොවින් සමු ගත්තේය. ඔහුගේ අවමගුල් උළෙලට මොහොමඩ් අලී අසනීප තත්ත්වයෙන් සිටියදී වුවද සහභාගී වූයේ සිය සටන් සගයාට අවසන් ගෞරව දැක්වීමටයි. එහිදී ඔහු කළ ප්‍රකාශයක් ලෝකයේම අවධානය දිනා ගැනීමට සමත් විය. එය මෙසේය " යම් දිනෙක දෙවියන් වහන්සේ මා හට ශුද්ධ වූ සටනකට ආරාධනා කලහොත් මා තෝරා ගන්නා එකම ප්‍රතිවාදියා ජෝ පමණයි"


මොහොමඩ් අලීද ජෝ ගිය මගෙහිම නික්ම ගියේය. නුදුරු දිනෙක දෙවියන් වහන්සේ අලී හට ශුද්ධ වූ සටනකට ආරාධනා කරනු ඇත. අලී කියූ ලෙසටම ඔහු ජෝ තෝරා ගනු ඇත. ඒ සටන ශ්‍රේෂ්ට සටනක් වන බවටද සැකයක් නැත. අවසානයේ ශ්‍රේෂ්ටයන් ගිය මගෙහි මතක පමණක් ඉතිරි විය.


1960 වසරේ ඉතාලියේ පැවති ඔලිම්පික් උළෙලේදී අලී බොක්සින් ක්‍රීඩාව වෙනුවෙන් ඇමරිකාවට රන් පදක්කමක් දිනා දුන්නේය. නමුත් වර්ගවාදී සිදුවීමක් මුල් කරගනිමින් ඔහු එම පදක්කම පසු කලෙක ගං දියට විසි කරනුයේ තමාට සිදු වූ අසාධාරණයට ප්‍රතිචාර දැක්වීමටයි. 
එම සිදුවීමෙන් වසර ගණනාවක් ගත වී 1996 ඇමරිකානු ඇට්ලන්ටා ඔලිම්පික් උළෙලේදී ඔහුට අහිමි වූ රන් පදක්කම ගෞරවනීය ලෙස ඔහුට පැළඳවීමට ඇමරිකානු බලධාරීහු කටයුතු කළහ. එම අවස්ථාවේ විවෘත මණ්ඩපයකදී එම පදක්කම පැළඳවූ මොහොතේ රැස්ව සිටි සියල්ලෝ හිඳ සිටි අසුන් වලින් නැගිට ඔහුට ආචාර දැක්වූහ. ඒ වනවිටත් ඔහු පාකින්සන් රෝගියෙකි. පදක්කම පැළඳවූ පසු ඔහු එය සිය වෙවුලන දෑතින් ගෙන සිප ගත්තේය. පදක්කම සිපගත් ඔහු හිස ඔසවා ජනතාවට ආචාර කළේය. සියලු ක්‍රීඩකයෝ පැමිණ ඔහුව තදින් වැළඳ ගත්හ. ඔහුගේ සතුටු සිනහව නරඹන්නගේ දෑසට කඳුලක් එක් කළ අතර ප්‍රේක්ෂකයන්ගේ කඳුළු සැබවින්ම ඔහු ශ්‍රේෂ්ටයෙක් බව සනාථ කරන ලදී.


___අයේෂ් ඩිෂාන් ලියනගේ___




 
                                  ජෝ ප්‍රේසියස් සමග සටනකදී 

                            අහිමි වූ රන් පදක්කම ඇට්ලන්ටා උළෙලේදී නැවතත් හිමි වූ අවස්ථාව  

No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators