Sunday, March 26, 2017

කැලයක් වැවූ උත්තරීතර මිනිසෙක්

ඔහු නමින් අන්තෝනියෝ විසේන්තේය. ඔහු බ්‍රසීල ජාතිකයෙක්. මිනිස්සු නම් ඔහුව හැඳින්වූවේ පිස්සෙක් විදිහට. ඒකට හේතුව වුණේ අන්තොනියෝට තිබ්බ හීනයක්. අන්තෝනියෝට ඕන වෙලා තිබුණේ කැලයක් වවන්න. ඔහුට මේ උවමනාව ඇති වෙන්නේ 1973 තරම් ඈත කාලයක. රටේ සංවර්ධන ව්‍යාපෘති වේගවත් වීමත් එක්ක රටේ වන සංහාරය ඉහළ ගියා. අන්තෝනියෝට මේක බලාගෙන ඉන්න බැරි වුණා. ඒ නිසාම ඔහු බ්‍රසීලයේ සාවෝ පාවුළු පළාතෙන් විශාල බිම්කඩක් මිලදී ගත්තා. එතැන් ඉඳන් ඔහු කළේ මේ අක්කර ගණනක බිම්කඩේ විවිධ ශාක වර්ග ඉන්දපු එක. ව්‍යාපාරිකයින් ඉඩම් අරගෙන ලාබ හොයන්න කර්මාන්තශාලා හදනකොට අන්තෝනියෝ කිසිම ආර්ථික ලාබයක් නැතුව කැලයක් වවන්න ගත්තා. මෙන්න මේ හේතුව නිසා තමයි මිනිස්සු අන්තෝනියෝට පිස්සෙක් කියලා කියන්න ගත්තේ. මිනිස්සු මොන දේවල් කිවුවත් අන්තෝනියෝ නෙමෙයි ඒ වැඩේ නැවැත්තුවේ.


අන්තෝනියෝ හැදී වැඩුණේ දරුවන් 14 දෙනෙක් ඉඳපු ගොවි පවුලක. ඔහු දැක්කා කුඩා කාලයේදී තමන්ගේ තාත්තා ඉඩම් අයිතිකාරයින්ගේ කීම අහලා මහා ගස් කපා දමන හැටි. කුඩා කාලයේදීම මේ දේවල් අන්තෝනියෝට වේදනාවක් අරගෙන ආවා. ඔහු ගස්වැල් සැලකුවේ පණ තියෙන ජීවමය දෙයක් විදිහට. ඒ පළාත්වල තිබුණු දිය උල්පත් සිඳී ගියපු ආකාරය අන්තෝනියෝ තමන්ගේ ඇස් දෙකෙන් දැක්කා. යම් දවසක තමන්ට පුළුවන් විදිහට පරිසරය ආරක්ෂා කරන බව අන්තෝනියෝ තමන්ටම පොරොන්දු වුණා.



බ්‍රසීලයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් කර්මාන්තකරුවන් දිරි ගැන්වීමට එම වකවානුවේ රජය කටයුතු කළත් අසීමිත සංවර්ධනයේ අනිටු ප්‍රතිඵල ඔවුන්ට ලැබෙන්න ගත්තේ මෑත වකවානුවක. ඒ ලෝකයේ විශාලම වැසි වනාන්තරය වුණු ඇමේසන් වනාන්තරය සීග්‍රයෙන් විනාශවන බවට වූ හෙළිදරවු කිරීම් එක්ක. 2015 වසරේ අගෝස්තු මාසයේ පටන් 2016 වසරේ ජූලි මාසය තෙක් කාලයේ බ්‍රසීලයේ වැසි වනාන්තර හෙක්ටයාර් 8000 ක් එනම් අක්කර 19,770 ක ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. අසීමිත සංවර්ධනය විනාශය ගෙනාවේ එහෙමයි. මේ දත්ත එක්ක අන්තෝනියෝ වගේ මනුස්සයෙක්ගේ උත්සාහයට ලෝක අවධානය ලැබෙන්න ගත්තා. මොකද ඔහු මේ වෙනකොට හෙක්ටයාර් 31ක් පුරා පැතිරුණු මහා වනයක් වවා අවසන්. ඔහු පවසන්නේ ඒ සෑම ගසක්ම අතින් ඉඳපු ගස්. අද ඒ භූමිය ජල පෝෂකවලින් පිරුණු ප්‍රදේශයක්. මේ භුමියේ අද දිය ඇළි අටක් දකින්නට තිබෙනවා. 


අන්තෝනියෝ ජීවත් වෙන සාවෝ පාවුළු කියන්නේ දකුණු ඇමරිකානු කලාපයෙන්ම වේගයෙන් දියුණු වන නාගරික ප්‍රදේශයක්. ඒ වගේම මේ ප්‍රදේශයේ වන සංහාරයත් ඉහළයි. අන්තෝනියෝ පසුගිය වසර හතලිස් ගණනක් පුරා හෙක්ටයාර් 31ක් පුරා වනාන්තරයක් වවනකොට ඒ පළාතේ හෙක්ටයාර් 183,000 ක ප්‍රමාණයක කැලෑ ප්‍රමාණයක් විනාශ වෙලා ඉවරයි. විනාශයේ තරම එතැනින් හිතාගන්න පුළුවන්. නමුත් අන්තෝනියෝ විනාශයේ බිම්කඩක ඉඳගෙන තමන්ගේ මහන්සියෙන් හා කැපවීමෙන් වනාන්තරයක් වැවීම උත්තරීතර ක්‍රියාවක්. ලෝකයේම පරිසර සංවිධාන අන්තෝනියෝ වීරයෙක් කළා. ලෝකයේම ජනමාධ්‍ය බ්‍රසීලයේ කැලෑ වැවූ මිනිසා ගැන කතා කරන්න වුණා. එදා අන්තෝනියෝට මිනිස්සු කිවුවේ පිස්සෙක් කියලා. අද ලෝකයම අන්තෝනියෝ අගය කරනවා. "ද ගාර්ඩියන් පුවත්පත" අන්තෝනියෝගෙන් මේ ගැන අහනවා. ඔහු එයට අවසන් වශයෙන් මෙන්න මෙහෙම පිළිතුරු දුන්නා.


"මම මේ කිසි දෙයක් කළේ සල්ලි වෙනුවෙන් නෙමෙයි. මම මැරුණු දවසක මේ මහා කැලෑව අනිත් අය වෙනුවෙන් ඉතුරු කරලා යන්න විතරයි මට ඕන වුණේ. ඒ නිසා මම හිතනවා මිනිස්සු තවදුරටත් මට පිස්සෙක් කියන එකක් නෑ"


___අයේෂ් ලියනගේ___










No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators