Thursday, December 22, 2016

සඳ ගමන යථාර්තයක් කළ ඇය - මාර්ග්‍රට් හැමිල්ටන්

ඇමරිකානු ජාතික කාන්තාවක වන ඇය නමින් මාර්ග්‍රට් හැමිල්ටන්ය. දැනට 80 හැවිරිදි වියේ පසුවන ඇය පසුගියදා සුවිශේෂ සම්මානයකින්ද පිදුම් ලැබුවාය. එ් ඇමරිකානු පුරවැසියකුට හිමිවන ඉහළම ගෞරව සම්මානය 'highest civilian honour’ සම්මානයෙනි. ධවල මන්ධිරයේදී ඇමරිකානු ජනපති බැරුක් ඔබාමා අතින් මෙම ගෞරව සම්මානය ඇය හිමිකරගත්තාය. ඇය මෙම සම්මානයෙන් පිදුම් ලැබූයේ 1960 දශකයේ සඳ තරණය වෙනුවෙන් දියත් වූ 'ඇපලෝ මූන් මිෂන්’ ව්‍යාපෘතියට ඇය ලබාදුන් දායකත්වය වෙනුවෙනි. ඇය එම ව්‍යාපෘතියේ සිටි ප්‍රමුඛපෙළේ මෘදුකාංග ඉංජිනේරුවරියකි. මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව එතරම් ජනපි‍්‍රය නොවූ යුගයක ඇය කළාවූ නිහඬ සේවාව වෙනුවෙන් මෙම සම්මානය පිරිනමන බව සම්මාන රාති‍්‍රය දා ඇමරිකානු ජනපති බැරක් ඔබාමා ප‍්‍රකාශ කළේය. 



1936 වසරේ අගෝස්තු 17 වැනිදින ඉන්දියානා ප්‍රාන්තයේ පාඕලිහිදී මාර්ග්‍රට් උපත ලැබූවාය. කුඩාකල සිට අධ්‍යාපනයට දස්කම් දැක්වූ ඇය හැන්කොක් උසස් පාසලෙන් අධ්‍යාපනය ලබා මිචිගන් විශ්ව විද්‍යාලයට ඇතුලත් වූයේ ගණිත විෂය හැදෑරීම සඳහාය. එතැන්සිට ගණිත විෂයයේ මහාචාර්යවරියක් වනතෙක් ඇය සිය අධ්‍යයනය නොකඩවා සිදු කළාය. 


ඇයගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වන්නේ 1960 වසරේදී සුප්‍රකට MIT විශ්ව විද්‍යාලයේ මෘදුකාංග ව්‍යාපෘතියක් හා සම්බන්ධවීමයි. ඒ වකවානුවේ මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව විෂයයක් ලෙස එතරම් ප්‍රකටව තිබුණේ නැති නමුත් ඇය සම්බන්ධ වූයේ කාලගුණ අනාවැකි දැනගැනීම වෙනුවෙන් අත්හදා බැලූ පරිගණක ව්‍යපෘතියකටයි. අත්හදාබැලීම් සමග කාලය ගත කිරීමට ඇයට මෙහිදී හැකියාව ලැබුණි. සියලු මෘදුකාංග අධ්‍යයනයන් ස්වයං අධ්‍යයනයෙන් ඇය උගත්තාය.


MIT විශ්ව විද්‍යාල ව්‍යාපෘතියේ යෙදී සිටින අතරතුර ඇයට නාසා ආයතනයේ විශේෂ ව්‍යාපෘතියක් හා සම්බන්ධ වීමට ආරාධනා ලැබිණි. ඇය ඒ ආරාධනාව පිළිගත්තාය. ඇය සම්බන්ධ වුයේ 'ඇපලෝ අභ්‍යවකාශ ව්‍යාපෘතිය සමගයි'. නව ඇපලෝ යානයේ පරිගණක පද්ධතියට හා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පරිගණක පද්ධති වෙනුවෙන් මෘදුකාංග නිර්මාණය කිරීම ඇය ඇතුළු කණ්ඩායමට පැවරුණු ප්‍රධාන කාර්යභාරය විය. ඊට පෙර නිර්මාණය කළ මෘදුකාංග පද්ධති වැඩිදියුණු කිරීමත් සියලුම ආකාරයේ දෝෂයන් නිවැරදි කිරීමත් ඔවුහු සතු වූ අනෙක් කාර්යයන් වූහ. 



ඇපලෝ 11 ව්‍යාපෘතියේ 'ඇපලෝ මාර්ගෝපදේශන පරිගණකය' සහ ඇපලෝ ලුනාර් මොඩියුල් යානයේ ස්වයංක්‍රිය අනතරු ඇඟවීම් සංඥා සම්බන්ධ නිර්මාණය කිරීම් අතිශය සංකීර්ණ ස්වභාවයක් ඉසිලීය. ඇපලෝ යානය සඳ මත ගොඩ බස්සන අවස්ථාවේ මුහුණ දෙන්නට ගිය අනතුරු රැසක් වැලකී ගියේ මාර්ග්‍රට් හැමිල්ටන් ඇතුළු කණ්ඩායම නිර්මාණය කළ ස්වයංක්‍රිය අනතරු ඇඟවීම් සංඥා පද්ධතිය නිසාය. එය නොතිබෙන්නට ඇපලෝ 11 සඳ ගමන ඛේදවාචකයකින් කෙලවරවන්නටද ඉඩ තිබුණි. 


පසුකලෙක විද්‍යා අත්හදාබැලීම්වලින් ඈත් වූ ඇය ව්‍යාපාරික ක්ෂේත්‍රයට පිවිසුනාය. නමුත් ඇය තම විෂය පථයෙන් බැහැර වූයේ නැත. 1976 වසරේ සිට 1984 කාලය තුළ ඇයගේ සම සභාපතිත්වයෙන් Higher Order Software නමින් මෘදුකාංග සමාගමක් ඇරැඹු අතර එය රාජ්‍ය ව්‍යාපෘති සමග සෘජුව සමබන්ධ වූ සමාගමක් බවට පත්විය. 1985 වසරේදී මාර්ග්‍රට් එම සමාගමෙන් සමුගත් අතර ඇයගේ තනි සභාපතිත්වයෙන් යුත් 'හැමිල්ටන් ටෙක්නොලොජීස්' (Hamilton Technologies) සමාගම ආරම්භ කළ අතර එය වර්තමානයේ ලොව ප්‍රමුඛපෙළේ බහුකාර්ය සමාගමක් ලෙස ක්‍රියාත්මක වෙයි. 


මාර්ග්‍රට් හැමිල්ටන් යනු දිරිය කාන්තාවකි. අද මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව ලෝකයේ ප්‍රචලිතව තිබුණද එවක අනෙක් ඉංජිනේරු විද්‍යාවන් හා සැසඳූ කළ පොදු සමාජයේ ප්‍රචලිතව නොතිබූ විෂයක් තුළ ස්වයං හැදෑරීම ඔස්සේ ඈ ගිය ගමන විශිෂ්ට වේ. highest civilian honour සම්මාන රාත්‍රිය දා ඇමරිකානු ජනපති බැරක් ඔබාමා කළ ප්‍රකාශයකින් සටහන අවසන් කරමි.


" හැමිල්ටන් මහත්මිය මිනිසුන් අභ්‍යවකාශයට ගෙනයන්න කැපවූ නිහඬ කාන්තාවක්. ඇපලෝ චාරිකාවෙන් පසු ගගනගාමීන් වූ නීල් ආම්ස්ට්‍රෝන්, බස් ඕල්ඩ‍්‍රින් ගැන පුවත්පත් ශීර්ෂයන් ඉස්මතුවී පෙනුනත් හැමිල්ටන් මහත්මිය තරුණ කාන්තාවක් ලෙස තිරය පිටුපසට වී නොපෙනී සිටියා. ඇය සැබවින්ම මිනිසුන් අභ්‍යවකාශයට ගෙනගිය ව්‍යාපෘතියේ සංකේතයක්"

___අයේෂ් ලියනගේ___






No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators