Saturday, October 3, 2015

ඩිස්කෝ සංගීතයේ තරු ලකුණ ABBA

ජාත්‍යන්තර ගීත කලාව, සංගීතය, නර්තන කලාව වෙනස් මානයකට රැගෙන ගිය නිර්මාණශීලීන් අතලොස්ස අතර ABBA යනු ලෝක කණ්ඩායම් සංගීත කලාව තුළ පෙරළියක් කළ සංගීත කණ්ඩායමක් බව බටහිර ගීත ප්‍රිය කරන බොහෝ දෙනා දන්නා කාරණාවකි. 1972 වසරේදී ස්වීඩනයේදී ආරම්භ වූ ABBA සංගීත කණ්ඩායම යුරෝපය, ඇමරිකාව,ආසියාව පුරා තම ගී හඬවල් පතුරුවා හරින්නේ ABBA උන්මාදයකින් 70 දශකය වර්ණවත් කරමින්. 1972 සිට 1982 වසර දක්වා පුරා වසර දහයක කාලයක් තුළ මෙම සංගීත කණ්ඩායම ලෝක සංගීතය තුළ පෙරලි රැසක් කිරීමට සමත් විය. ගායකයින් දෙදෙනෙකුගෙන් සහ ගායිකාවන් දෙදෙනෙකුගෙන් සමන්විත වූ ABBA සංගීත කණ්ඩායම නිකුත් කළ ගීත ඇල්බම මිලියන 350ක් පමණ ලොව පුරා අළෙවි වී ඇත. තවමත් අළෙවි වෙමින් පවතී.


Benny Andersson, Anni-Frid Lyngstad, Agnetha Fältskog , Björn Ulvaeus යනු ඔවුන් සිව් දෙනාගේ සැබෑ නාමයන්ය. බෙනී,ඇනී,ෆ්‍රිඩා සහ බී බෝයි යන කෙටි නාමයන්ගෙන් ඔවුන් රසිකයන් අතර ප්‍රකටව සිටයහ. ABBA සංගීත කණ්ඩායම ආරම්භ කිරීමට පෙර ඔවුනොවුන් වෙන් වෙන් වශයෙන් සංගීත කටයුතු වල යෙදී සිටි අතර විවිද සංගීත ප්‍රසංග සහ වෙනත් අවස්ථාවන්හිදී හමු වූ අය වූහ. කෙසේ හෝ ඔවුන් අතර ඇති වූ මිත්‍රත්වය හේතුවෙන් වරෙක ඔවුන් සයිප්‍රස්හි සංචාරයක යෙදෙන අතර වෙරළ සාදයක් වෙනුවෙන් ඔවුන් සිව් දෙනා හට එක්ව ගීත ගයනා කිරීමට සිදු විය. එය කොතරම් ජනප්‍රිය වීද යත් තවත් ප්‍රසංග කිහිපයකට ඔවුනට ආරාධනාද ලැබුණි. ඒ ඔවුන්ගේ පළමු පියවරයි. සිව් මසක් පුරා සයිප්‍රසයේ සිටිමින් සංගීත කටයුතු කළ ඔවුන් පෙරලා ස්වීඩනයට පැමිණෙන්නේ ඒත් සමග ඇති වූ විශාල බැඳීමක් සහ මිත්‍රත්වයක්ද සමගයි. එසේ පැමිණි ඔවුන් එක්ව සංගීත කටයුතු කිරීමට එකඟත්වයට පැමිණි අතර ඔවුන් විසින් නිර්මාණය කළ People need love ගීතයට පැමිණි ප්‍රතිචාර සමග එක්ව ගීත ඇල්බමයක් කළ යුතුයැයි ඔවුහු තීරණය කළහ. එම ඇල්බමය සඳහා මෙන්ම ඒ හරහා Eurovision තරඟයට සහභාගී වීමට කණ්ඩායමට නමක් අවශ්‍ය විය. සියලුම සාමාජිකයන්ගේ නම් එක්කොට කණ්ඩායමට නම් තැබීමට ඔවුන් තීරණය කරන ලදී. ඒ අනුව Anni, Benny, Bjara සහ Anna යන නම් එක් කිරීමෙන් ලොවක් මවිත කළ සංගීත කණ්ඩායම ABBA බිහි විය.


1974 වසරේ ඔවුන් විසින් යුරෝපයේ ප්‍රකට Eurovision තරඟයට ඉදිරිපත් කළ Waterloo ගීත ඇල්බමය ප්‍රථම ස්ථානය දිනාගැනීමත් සමග ඔවුන් යුරෝපය පුරා ජනප්‍රිය වන්නට විය. යුරෝපයේ රටවල් ගණනාවක සංචාරය කිරීමේ සහ සංදර්ශන පැවැත්වීමට ඔවුන්ට ලැබුණු අවස්ථාව එම ජනප්‍රියත්වය වැඩි වර්ධනය කරන්නට සමත් විය. එම ගීත ඇල්බමය ඇමරිකාව තුළ ජනප්‍රිය වීමටත් වැඩි කාලයක් ගත වූයේ නැත. ඇමරිකානු රූපවාහිනී,පුවත්පත්,සඟරා ABBA සම්බන්දව පුවත් මවන්නට විය. එම වසරේ ABBA විසින් Eurovision තුළ දිනාගත් තරම් රසික ප්‍රතිචාරයක් මෙතෙක් කිසිදු සංගීත කණ්ඩායමක් හිමි කරගෙන නැති බව පැවසේ. 1975 වසරේද ඔවුන් යුරෝපා රටවල් ගණනාවක සංචාරය කළ අතර එම කාලය තුළ නිර්මාණය වූ Mama mia ගීතය මුළු ලෝකය පුරාම එක් රැයකින් ජනප්‍රිය විය. බ්‍රිතාන්‍ය, ඇමරිකා එක්සත් ජනපදය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවලින් ප්‍රසංග පැවැත්වීම සඳහා ABBA වෙත දිගින් දිගටම ආරාධනා ගලා එන්නට විය. ඒ ඔවුන්ගේ හොඳම කාලයේ ඇරඹුමයි.


ඒ ආකාරව ඇරඹි ගීත නිර්මාණය තවත් අතිශය ජනප්‍රිය ගීත රැසක් නිර්මාණය කිරීමට ඔවුන් හට උත්තේජනය සැපයීය. Knowing Me, Knowing You, Dancing Queen, Money, Money, Money වැනි ගීත ඒ ආකාරයෙන් ලොව පුරා අතිශය ජනප්‍රිය වූ ගීතයි. ස්වීඩනය වැනි යුරෝපා රටකින් නිර්මාණය වී ඉංග්‍රීසි ගීත කලාව තුළ මෙපමණ පෙරළියක් කළ වෙනත් සංගීත කණ්ඩායමක් නැති තරම්ය. ඇමරිකා එක්සත් ජනපදයේ බිල් බෝර්ඩ් ගීත දර්ශක තුළ පිට පිට සිය ගීත ඉහළින්ම රැඳවීමට ABBA එකළ සමත් වීම තුළින් ඔවුන් හිමිකරගත් තත්වය හොඳින්ම පැහැදිළි වේ. ලන්ඩන් නුවර 77 වසරේ පැවැත්වූ ප්‍රසංගය වෙනුවෙන් ප්‍රවේශපත් වෙන් කරගැනීමට ඉල්ලුම් කළ සංඛ්‍යව මිලියන තුන අභිබවා ඇත. ඕස්ට්‍රේලියාවේ දින එකොළහක් පුරාවට පැවැත්වූ සංගීත ප්‍රසංග සඳහා සහභාගී වූ පිරිස ලක්ෂ ගණනකි. 1978 වසරේ ඔවුන් විසින් ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර වූ පැරණි සිනමා ශාලාවක් මිලට ගෙන එහි ශබ්දාගාරයක් ආරම්භ කළ අතර එය "Polar ශබ්දාගාරය" ලෙස ලෝ ප්‍රකට විය.


මේ වන විට ඔවුන් සිව් දෙනා විවාහ වී සිටි අතර විවාහක යුවල දෙකක් ලෙස සංගීත කණ්ඩායමේ කටයුතු කරන්නට විය. නමුත් 1978 වන විට ඇනා සහ බී බෝයි දික්කසාද වන්නේ පෞද්ගලික හේතු මතයි. නමුත් ඔවුන් තම සංගීත කටයුතු දිගටම කරගෙන ගියේ ABBA සංගීත කණ්ඩායම ඔවුන්ගේ ජීවිතය නිසයි. විවිද රටවලින් පැමිණි අතිශය උණුසුම් රසික ප්‍රතිචාර ඔවුනට වෙන් වීමට ඉඩ දුන්නේ නැත. කෙසේ හෝ අනෙක් යුවළ වූ ෆ්‍රිඩා සහ බෙනී ද වෙන් වීමට තීරණය කරන අතර 1981 වන විට ඔවුන්ගේ විවාහ දිවියද අවසන් විය. එම වෙන් වීමත් සමග තවදුරටත් ඔවුන්ට එක්ව සංගීත කටයුතු කිරීම අපහසු විය. එබැවින් කණ්ඩායම විසිරුවා හැරීමට ඔවුන් අවසානයේ තීරණයකට පැමිණෙන ලදී. විවාහ දිවිය කෙළවර වුවත් ඔවුන් අතර වූ සදාකාලික මිත්‍රත්වය කිසි දිනෙක අවසන් වූයේ නැත. ඒ අනුව 1986 වසරේ ඔවුන් තම අවසන් ප්‍රසංගය සඳහා සහභාගී වූ අතර ඔවුන් වෙන්ව යන බව එම ප්‍රසංගයේදී ප්‍රකාශයට පත් කළ මොහොතේ ප්‍රේක්ෂකාගාරය හඬා වැටුනි.


කණ්ඩායමක් ලෙස විසිර ගියත් ඔවුන් තනි තනිව සංගීත කටයුතු වල නිරත විය. මේ වන විට ඔවුන්ගේ තිබූ යොවුන් බව ඔවුන් කෙරෙන් පලා ගොස් වියපත් විය ආරම්භ වී ඇත. වරින් වර ඔවුන් වේදිකාව මත නැවත නැවත හමු විය. 2014 වසර වන විට 1974 වසරේ ඔවුන් විසින් Eurovision තරඟාවලියේදී දිනාගත් ජයග්‍රහණයේ 40 වන සංවස්තරය යෙදී තිබුණි. ඒ වෙනුවෙන් ABBA නමින් ග්‍රන්ථයක් එළි දැක්වුණි. එය ඔවුන් පැමිණි දුෂ්කර ගමන් මග පිළිබඳව වූ හොඳ නිරාවරණයක් බව විචාරකයන්ගේ මතයයි. ඩිස්කෝ සංගීතය,පොප් සංගීතය ඔස්සේ ලොව පෙරළි කළ ABBA ඒ අයුරින් ඉතිහාසයට එක් විය.


_අයේෂ් ලියනගේ_
                                    ඇනා සහ බී බෝයි (වම) බෙනී සහ ෆ්‍රිඩා (දකුණ)

                            ඇබාවරු Mama mia සිනමා පටයේ අවස්ථාවකට සහභාගී වූ අවස්ථාව


No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators