Sunday, October 25, 2015

අභ්‍යවකාශ තරණය කළ චිම්පන්සියා - Ham

මෙම වානරයා මිනිසාට පසුව අභ්‍යවකාශය තරණය කළ ප්‍රථම වානරයා සහ ක්ෂීරපායි සත්වයා ලෙස සැලකේ. 1961 වසරේ ජනවාරි මස 31 වන දින Ham අභ්‍යවකාශයට ලඟා විය. පහසුවෙන් මිනිසෙකුටවත් තරණය කළ නොහැකි ස්ථානයකට ලඟා වූ Ham නම් වූ මෙම චිම්පන්සියා ඉතා බුද්ධිමත් සත්වයෙකු ලෙස සැලකේ. ඇමරිකාවේ නිව් මෙක්සිකෝහි Holloman Aerospace Medical Center විසින් Ham අභ්‍යවකාශගත කිරීමේ මෙහෙයුම මෙහෙයවන ලදී.


1956 වසරේ ජූලි මස අප්‍රිකාවේ කැමරුන් රාජ්‍යයේදී මෙම චිම්පන්සියා උපත ලබා ඇති අතර 1959 වසරේදී එක්සත් ජනපද ගුවන් හමුදාව විසින් මෙම චිම්පන්සියා මිළදීගෙන පරීක්ෂණ සඳහා ඇමරිකාවට රැගෙනවිත් ඇත. තවත් චිම්පන්සියන් 40ක් පමණ Ham සමග එම පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලබා තිබූ නමුත් ඒ අතරින් අභ්‍යවකාශ තරණයට වරම් හිමි කරගන්නේ Ham පමණි. මොහු Ham ලෙස නම් ලබන්නේ අභ්‍යවකාශ තරණයකොට පෙරලා පෘතුවියට පැමිණි පසුවයි. ඊට ප්‍රථම ඔහුව හඳුන්වා ඇත්තේ Chop Chop Chang යන නමිනි.


Ham ගේ පුහුණු කාලය ආරම්භ වන්නේ ඔහුට වයස 3ක් පමණ වන කාලයේදීය. එනම් 1959 වසරේ ඔහු එක්සත් ජනපදයට පැමිණි කාලයේදීමය. ඔහුගේ පුහුණුකරුවා වන්නේ ස්නායු වෛද්‍යවරයෙක් වූ Joseph V. Brady නැමැත්තෙකි. මුලින්ම Ham හට ඉගෙනගැනීමට සිදු වූයේ විද්‍යුත් සහ ශබ්ද තරංග හඳුනාගැනීමත් ඒවාට නිසි ප්‍රතිචාර ලබා දීමත් යන දේවල්ය. එම පුහුණුව සාර්ථකව අවසන් කළ Ham අනතුරුව ගුවන්යානා තාක්ෂණය පිළිබඳව මූලික අභ්‍යාස සිදුකොට ඇත. නමුත් එම පුහුණුව ලැබීමේදී දඬුවම් වලට මුහුණ දීමටද ඔහුට සිදු විය. සෑම අසාර්ථකවීමකදීම ඔහුගේ යටි පතුල් වලට විදුලිය වැදීමට සලස්වන ලදී. එය වේදනාකාරී අත්දැකීමක් වන්නට ඇත. සෑම සාර්ථකවීමක් අවසානයේම කෙසෙල් පිඟානක් ලබාදීමටත් පුහුණුකරුවන් කටයුතු කරන ලදී. කෙසේ හෝ අවසානයේ ඔහු සාර්ථක විය. වැරදීම් නොවන තැනටම සාර්ථක විය.



Project Mercury අභ්‍යවකාශ ව්‍යාපෘතිය ඇරඹුණි. 1961 වසරේ ජනවාරි මස 31 වන දින ෆ්ලොරිඩා හි කේප් කැනවරල් තුඩුවෙන් Ham රැගත් අභ්‍යවකාශ යානය ගුවන්ගත විය. පරීක්ෂණයක් ලෙස සිදු කළ මෙම අභ්‍යවකාශ තරණය තුළදී Ham නිවැරදි ලෙස ඔහුගේ කාර්යය සිදුකොට තිබුණි. ඔහු අභ්‍යවකාශය තුළ ගත කරන ලද්දේ මිනිත්තු දහසයයි තත්පර 30ක පමණ කාලයකි. එම පරීක්ෂණය ඔස්සේ පර්යේෂකයින් පෘතුවි කාලය සහ අභ්‍යවකාශ කාලය අතර වූ වේගයේ වෙනසක් හඳුනාගැනීම අපේක්ෂා කරන ලදී. කෙසේ හෝ පර්යේෂකයින් සිතුවේ ගුවනේදී ඇතිවන පීඩනය හේතුවෙන් Ham මියයනු ඇතැයි කියාය. නමුත් එසේ සිදු වූයේ නැත. Ham රැගත් යානාව නිරුපද්‍රිතව අත්ලාන්තික් සාගරයට පතිත වූ අතර ගලවාගැනීමේ නෞකාවක් විසින් Ham ව බේරා ගන්නා ලදී. ගැටීම නිසා නාසයේ සුළු සීරීමක් පමණක් තිබූ බව පැවසේ.

එම ගමනින් පසුව Ham හට විශ්‍රාම යාමට අවස්ථාව හිමි විය. වොෂින්ටන් නුවර ජාතික සත්ව උද්‍යානයේ විශ්‍රාම දිවිය ගත කළ Ham වසර 17කින් අනතුරුව ජීවිතයෙන් සමු ගත්තේය. නිව් මෙක්සිකොහි ඔහුගේ දේහය වැළලු අතර ස්මාරකයක්ද එතැන ඉදිවිය. අභ්‍යවකාශය ජයගත් මිනිසා නොවන එකම වානරයා ලෙස Ham ඉතිහාසයට එක් වූයේ එලෙසයි.






                                        තරණයට පෙර පරීක්ෂණයන්ට භාජනය වෙමින් 

No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators