Sunday, November 1, 2015

සේයාරුවක පිටුපස - පාලන තන්ත්‍රයක් තනිව ප්‍රතික්ශේප කළ මිනිසා


තම අවට සිටිනා සියල්ලෝම එක් පාර්ශවයක් නියෝජනය කරන විටදී තනි මිනිසෙක් හට එකී පාර්ශවය ප්‍රතික්ශේප කළ හැකිද ? එසේ ප්‍රතික්ශේප කළ විට තනි මිනිසෙකු ලෙස ඔහුට මුහුණදීමට සිදු වන තත්වය කෙබඳුද ? එවන් මිනිසෙකු මෙම සේයාරුව තුළ සිටී. 1936 වසරේ ජර්මනියේ ජාතිවාදී නාසි පාලන වකවානුව තුළ "නාසි ආචාරය" ප්‍රසිද්ධියේ ප්‍රතික්ශේප කළ මිනිසා ඔහුය. රවුම් කර ඇති කවයෙන් ඔහුගේ පැහැදිලි රූපය හඳුනාගත හැක. තමා වටා සිටින සියල්ලෝම දකුණත ඉහළට ඔසවමින් නාසිවාදය වෙනුවෙන් සිය ආචාරය දක්වන විට ඔහු පමණක් තම දෑත් පපුවට කොට බැඳෙන සිටින ආකාරයත් එම මොහොතේ ඔහුගේ මුහුණින් දිස් වන අප්‍රසාදය මුසු බැල්මත් මෙහිදී හොඳින් නිරීක්ෂණය කළ හැකිය. ඔහු කවුද ? නාසිවාදීන් ඔහුගේ වතගොත සොයාගන්නා ලදී.


ඔහු නමින් "ඔගස්ට් ලැන්ඩ්මෙසර්" නම් විය. ජර්මනියේ හැම්බර්ග් නුවර වාසය කළ ඔගස්ට් නැව් නිෂ්පාදන සමාගමක සේවය කළ මිනිසෙකි. නාසි පාලන කාලය තුළ රැකියාවක් ලබාගැනීමේ අරමුණින් ඔහු නාසි පක්ෂයට බැඳුනත් ඔහු කිසිවිටෙක ජාතිවාදී මිනිසෙක් නොවීය. ඒ බව හොඳින්ම සනාථ වන්නේ 1935 වසරේදී ඔහු යුදෙව් ජාතික කාන්තාවක් සමග විවාහ වීමත් සමගයි. ඇය නමින් "ඉර්මා එක්ලර්" නම් විය. යුදෙව් කාන්තාවක් සමග විවාහ වීම එම සමාජ වකවානුවේ හැටියට දඬුවම් ලැබිය හැකි වරදකි. ඔවුන්ට ජර්මනිය තුළ ජීවත් වීමට තරම් වාතාවරණයක් නොවීය. ඒ වන විට ඔවුන් හට කුළුඳුල් දියණියද ලැබී තිබුණි. යුදෙවුවන්ට එරෙහි රාජ්‍ය මර්ධනය දැඩි වන්නට විය. ඔගස්ට් නාසි ආචාරය ප්‍රතික්ශේප කළ බවට ජායාරූප සාක්ෂිය ලැබෙන්නේ 1936 වසරේ ජුනි මස 13 වන දිනයි. ඒත් සමග ඔහු පිළිබඳව පරීක්ෂණ කිරීමට ජර්මන් බුද්ධි අංශ කටයුතු කරන ලදී. ඔගස්ට් සහ ඔහුගේ යුදෙව් ජාතික බිරිඳ පිළිබඳව සියලු තොරතුරු ඔවුන් විසින් සොයා ගනු ලැබේ. ඒ වන විටත් ඔගස්ට් සහ ඉර්මා එක්ව ජර්මනියෙන් විදේශයකට පැන යාමට සැලසුම්කොටගෙන සිටියහ. ඒ ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කරගැනීම පිණිසයි.


1937 වසරේ ඔගස්ට් සහ ඉර්මා ඩෙන්මාර්කයට පැන යාමට උත්සාහ කිරීමේදී ඔවුන් ගෙස්ටපෝවා නිළධාරීන්ට හසු විය. ඔවුන් සිරගත කළ අතර ඒ වන විට ඉර්මා හට දෙවන දරුවාද ලැබීමට ආසන්න වී තිබුණි. ඔගස්ට් සහ ඉර්මා වෙන් කර සිරගත කරන ලදී. Fuhlsbüttel සිර කඳවුරේදී ඉර්මා සිය දෙවන දරුවාට උපත ලබා දුන්නාය. ඇය සිර කඳවුරු කිහිපයකටම මාරුකර යැවූවත් ඔගස්ට් හට හැකි සෑම විටෙකම ලිපි ලියුවාය. 1942 වසරේදී ඇයව තවත් කඳවුරකට මාරුකර යැවූ අතර තවදුරටත් ඇය ලිපි එවුවේ නැත. 14,000 ක් පමණ මිනිසුන් ගෑස් කාමරවලට දමා ඝාතනය කළ Bernburg Euthanasia කඳවුරේ ඝාතනය කළ මිනිසුන්ගේ නම් ලැයිස්තුවේ ඇයගේ නමද විය. 1941 වසරේදී ඔගස්ට් සිරකඳවුරෙන් නිදහස් විය. බිරිඳ,දරුවන් කිසිවෙක් නොමැති අනාථයෙක් ලෙස ලැබූ නිදහස ඔහුට තවත් වේදනාවක් පමණක් විය. නාසි පාලනය අනතුරුව ඔහුට යුද්ධය සඳහා සහභාගී වන ලෙස බල කරන ලදී. ජීවත් වීමට තරම් බලාපොරොත්තුවක් නොතිබූ ඔහු යුද්ධය තෝරාගන්නේ බලාපොරොත්තු රහිත ජීවිතය මරණයෙන් කෙලවර වීම යහපතැයි සිතා සිතා විය හැක. 1944 වසරේ ඔක්තෝබර් මස 17 වන දින ක්‍රොයේෂියාවේ යුද සටනක් අතරතුර මියගිය ඔගස්ට් සිය බිරිඳ ඉර්මා සොයා ගියේය. සේයාරුවක පිටුපස කතාන්දරය එතෙකින් නිම විය.


_අයේෂ් ලියනගේ_ 

No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators