Tuesday, November 3, 2015

සංචාරක සටහන - සීතලදොළ ආරණ්‍යයට ගිය ගමන


අද උදේ බුකියට ලොග් උන වෙලාවේ පරණ මතකයකට අවුරුදු 3ක් කියලා සිහිගැන්වීමක් තිබුණා. මතකය වෙන මොකුත් ගැන නෙමෙයි පොඩිපහේ සංචාරයක් ගැන. ඒ තමයි සීතලදොළ ආරණ්‍යයට ගිය ගමන. ඒක සංචාරයක් උනාට සැබෑ ලෙසම අපි ගියේ ආගමික කටයුත්තක් මුල් කරගෙන. අපි කියලා කිවුවේ මම සහ මාගේ තවත් මිතුරන් තිදෙනෙක්. නම් ප්‍රසිද්ධ වනවාට අකමැති මිතුරන්ද ඉන්න නිසා නම් නොකියාම මේ ගැන ලියන්න හිතුවා. සීතලදොළ ආරණ්‍යය කියපු සැනින් බොහෝ දෙනෙක් මේ ආරණ්‍ය කොහේ තියෙනවාද කියා නොදන්නවා ඇති. සීතලදොළ ආරණ්‍ය පිහිටා තිබෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ. ගාල්ල නගරයේ ඉඳන් "උඩුගම" ප්‍රධාන පාරේ ගමන්කොට "නාකියාදෙනිය" මංසන්ධියෙන් හැරී කිලෝමීටර් පහක පමණ දුරක් යනවිට කඳු ගැටයක් මුදුනේ සීතලදොළ ආරණ්‍ය හමුවනවා. මෙම මාර්ගය තරමක් දුෂ්කර මාර්ගයක් වන අතර මෙම මාර්ගයේ පොදු ප්‍රවාහන බස්රථ ධාවනය වන්නේද නැත. ගාල්ල මාපලගම ප්‍රධාන මාර්ගයේ ගොස් "යටලමත්ත" මංසන්ධියෙන් හැරීද ආරණ්‍යයට සේන්දු විය හැක. මාර්ග දෙකෙන්ම ඇත්තේ එක සමාන දුරකි.


මේ වන විට වසර හතරක් පමණ අප වසරකට වරක් ලෙස මෙහි ගොස් ඇති අතර පසුගිය වසරේ සහ මේ වසරේ එහි යෑමට අවස්ථාවක් ලැබුනේ නැත. ප්‍රථම වතාවට අප සීතලදොළ යන්නේ 2010 වසරේදීය. එදා උදෑසන 9ට පමණ අප ගාල්ල නගරයෙන් උඩුගම බස් රථයක නැගී එහි යෑමට පිටත් වූ අතර එදින හොඳින් ඉර පායා තිබූ දිනයක් විය. නාකියාදෙනිය මංසන්දියෙන් බැස ත්‍රීවිල් රථයකින් අප ආරණ්‍යය බලා යන අතුරු මාර්ගයට ඇතුල් වූයේ හතර දෙනාම එක ත්‍රීවීලයේම පටවාගෙනයි. මාගේ මිතුරන් අතරින් ඇඟ පතින් සේම උස මහතින්ද ඉතා කුඩාම කෙනා වූයේ මම බැවින් හයේ හතරේ දෙදෙනෙකුගේ කකුල් දෙක මත හිඳගෙන යාමට මට සිදු විය. මාර්ගයේ මගක් දුරක් කොන්ක්‍රීට් අතුරා පිළිසකරකර තිබුණද මගක් දුර යත්ම අප ප්‍රවිෂ්ඨ වූයේ ගුරු පාරකටයි. එම පාර ආරම්භ වූ ස්ථානයේ සිට වල ගොඩැලි සහිත මාර්ගයේ ගමන් කිරීමට අපට සිදු විය. කිලෝමීටර් පහ හයක් ත්‍රීරෝද රිය වලවල් වල වැටෙමින් මග හරිමින් යන විට මිතුරන්ගේ කකුල් මත හිඳගෙන සිටි මා හට දැනුන අපහසුතාව ගැන වෙනම කිවයුතු නැත.


අප ගමන්කළ මග දෙපස වූ අලංකාරය පිළිබඳවත් නොපවසා බැරිය. දකුණුපස ඈතට වන්නට හිනිදුම ප්‍රදේශයේ කඳු පෙළක් දර්ශනය වූ අතර ගමන් ගත් මග දිගට වූයේ කටුපොල් වගාවයි. ඊට අමතරව රබර් වගාවද තැනින් තැන වූ නිවාස ආදිය වූයේ අඩු වශයෙනි. කටුපොල් රැගෙනයන ට්‍රැක්ටර් ආදිය නිතර දකින්නට තිබූ අතර අප ටිකෙන් ටික ප්‍රවේශ වූයේ උස් පෙදෙසකටයි. මේ ආකාරයට අවට සිරි නරඹමින්ද එකිනෙකාට උසුළු විසුළු කරමින්ද පැමිණි අපට විනාඩි 45ක පමණ කාලයක් ගත වූ තැන සීතලදොළ ආරණ්‍ය කඳු ගැටය පාමුලට පැමිණීමට හැකි විය. අප පැමිණි ත්‍රීරෝද රථයේ රියැදුරු මහතාගේ දුරකථන අංකය ඉල්ලගත්තේ නැවත පිටත්ව යාම සඳහා ඔහුව ගෙන්වාගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති නිසයි. යම් හෙයකින් මෙය කියවන ඔබ කාට හෝ මෙහි පැමිණීමට කැමැත්තක් ඇත්නම් සහ පෞද්ගලික වාහනයක නොපැමිණේනම් මේ ආකාරයට ත්‍රීරෝද රථයක් සම්බන්ද කරගැනීම වැදගත් වනු ඇත.



මේ වන විට අවට සිසාරා වැහි අඳුරක් පැතිරීගොස් තිබූ අතර හීනි පොද වැස්සක්ද වැටෙන්නට විය. වැහි අඳුරත් හීනි පොද වැස්සත් සමගම අවට ප්‍රදේශයේ මතු වූයේ අමුතුම සුන්දරත්වයකි. ඒ ආසන්නයෙන් කුඩා දොළ පාරක් ගලාගෙන ගිය අතර මෙම දොළ පාර නිසා මෙයට සීතලදොළ ආරණ්‍ය ලෙස නම් ලැබෙන්නට ඇතැයි සිතිය හැකිය. ආරණ්‍යයට ලඟාවීමටනම් කුඩා කඳු ගැටය තරණය කළ යුතුය. එම කඳු ගැටය වටා වූයේ රක්ෂිත වනයකි. නිවර්තන වැසි වනයක දැකිය හැකි ආකාරයේ ගස් කොළන් වැල් ආදියෙන් එම වනය සමන්විතය. අප සිව් දෙනා ආරණ්‍ය වෙත ගෙනා අඩුම කුඩුම ද්‍රව්‍යද රැගෙන කන්ද නැගීම පටන් ගත්තා. ඒ අවට වූයේ දැඩි නිස්කලංක බවක්. සතුන්ගේ හඬත් ගලායන දොළ පාරේ හඬත් හැරෙන්නට වෙනත් කිසිම කලබලකාරී හඬක් ඒ අවටින් අසුනේ නැත.


අවට නරඹමින් කඳු ගැටය තරණය කළ අපට විනාඩි විස්සක පමණ වේලාවකින් කඳු ගැටය මුදුනේ වූ අරණ්‍ය වෙත ලඟා වීමට හැකිවිය. එය ඉතා කුඩා ආරණ්‍යයකි. අප එහි ළඟාවන විට එහි වූයේ ස්වාමීන් වහන්සේලා තෙනමක් සහ උන්වහන්සේලාගේ උපකාරයට සිටින ආවතේව මහතෙකුත් පමණි. එහි නායක ස්වාමීන්වහන්සේ අපව පිළිගෙන අපගේ වතගොත විමසා ආගිය දෑ කතාබහ කරන්නට වූවේය. තේ පැන් වලින් සංග්‍රහකොට එයින් නොනැවතී දහවල් ආහාරය ලබාගන්නා ලෙසත් උන්වහන්සේ අපගෙන් ඉල්ලීම් කළ බැවින්ද එම ඉල්ලීම ඉවත හෙළිය නොහැකි නිසාවෙන් උන්වහන්සේලා දානය වැළඳුවේද යන්න විමසා අපත් ආහාර ගතිමු. කඳු මුදුනේ වූ දිය උල්පත් වල සිට පැමිණි ජලයෙන් ආරණ්‍යයේ ජල අවශ්‍යතාවය සපුරාගැනීම සිදු වූ අතර වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එම ජලය ඉතා සිසිල් බවින් යුතු විය. දිය බීමටත් මුහුණකට සෝදාගැනීමටත් අප එම උල්පත් ජලය භාවිතා කළෙමු. කා බී අහවරකළ විට නායක ස්වාමීන්වහන්සේ අපවද කැඳවාගෙන ඉහලින් පිහිටා තිබූ බුදු මැදුරට ගොස් වැඳ පුදාගැනීමට අවශ්‍ය කටයුතු එහි සලසා දුන්නේය.


බුදුන් වැඳ පැමිණි අප අනතුරුව ලඟා වූයේ ඒ ආසන්නයේම වූ ගල් කුල මතටයි. එම ගල් කුල මතට නැගි විට ඒ අවට සිසාරා වූ සෑම ස්ථානයක්ම ඉහළ සිට නැරඹිය හැකිය. ගල් කුලට නගින ස්ථානයට ලඟා වීමට කැලෑ පඳුරු අතරින් යා යුතු වූ විය. එහි කූඩෑල්ලන් බහුලව සිටින බව නායක හිමියන් කල් තියාම දැනුම් දුන්නේය. උන් වහන්සේ කියූ ආකාරයටම කූඩෑල්ලන් අපට ප්‍රහාර එල්ල කරන්නට විය. කූඩෑල්ලන්ගේ ප්‍රහාර සතුටු සිතින් ඉවසමින් අප ගල් කුල මතට නැග ඒ අවට වූ සුන්දරත්වය විඳ ගතිමු. වලාකුළෙන් වැසීගිය ඈතින් වූ කඳු වළල්ලත් වැහි අඳුරත් එම අවස්ථාවට ගෙන ආවේ වෙනස්ම අලංකාරයකි. එම ස්ථානයේ වෙහෙරක් නිර්මාණය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවක්ද ස්වාමින් වහන්සේ අප සමග පසු කලෙක පැවසීය. එතැනින් මදක් ඈතින් වූ බෝධීන් වහන්සේ අසලට සේම වනාන්තරය ඇතුලට වන්නට පිහිටි ගල් ගුහාවන් නැරඹීමටද අපට හැකි විය. එම ස්ථානයේ වූ නිස්කලංක බව පරිසරයේ සුන්දරත්වය බණ භාවනා කිරීමට ඉතා යෝග්‍ය බව අප සියලු දෙනාට එම අවස්ථාවේ ප්‍රත්‍යක්ෂ විය. නායක හිමියන් කියූ පරිදි එහි වැඩ වාසය කරන කිසිදු හිමි නමකට සතා සර්පයාගෙන් කිසි දිනෙක අතුරු ආන්තරාවක් සිදු වී නැත. සරලත්වය තුළ ස්වභාදහම සමග ජීවන අරමුණක ගමන් ගන්නා උන්වහන්සේලාට ස්වභාදහමේ ආශිර්වාදය නිතැතින්ම හිමි වීම අරුමයක් නොවේ.


මේ ආකාරයට අප වසර හතරක් පුරා සෑම නොවැම්බර් මසකම සීතලදොළ ආරණ්‍යයට පැමිණියෙමු. ඔබත් යම් ලෙසකින් මෙහි පැමිණීමට අපේක්ෂා කරන්නේනම් මෙම ස්ථානයේ වූ නිස්කලංක බව, පිරිසිදු බව රැකීමට වගබලා ගන්නා මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. වතුරවිල ආරණ්‍ය සේනාසනය යටතේ මෙම අරණ්‍යයය පිහිටුවා ඇති අතර පිට පළාත්වල සිට පවා පරිත්‍යාගශීලින් මෙම අරණ්‍යයට පැමිණ දාන මාන ආදිය ලබාදීම සිදුකෙරේ. මෙම අවට ජීවත්වන බොහෝ මිනිසුන් වතු කම්කරුවන් වන බැවින් එම ප්‍රදේශවාසීන්ටද ආර්ථික දුෂ්කරතා ඇතිබව නායක හිමියන් අප සමග පැවසීය. ඇතැම් පරිත්‍යාගශීලින් එම ප්‍රදේශවල වෙසෙන ඇතැම් ආර්ථික දුෂ්කරතා සහිත දරුවන්හට ආරණ්‍ය හරහා යම් යම් පරිත්‍යාග ලබා දීමද සිදුකෙරේ. තවත් එවන් පරිත්‍යාගශීලි අය සිටීනම් මෙම සංචාරක සටහන ඔවුන්ටද වැදගත් වනු ඇතැයි මම සිතමි. සිව්වතාවකට පසුවත් අප නැවතත් ඉදිරි දිනෙක එම සරල සුන්දරත්වය දැක ගැනීමට යාමට අපේක්ෂාවෙන් පසු වෙමු.


_අයේෂ් ලියනගේ_

                                      අරණ්‍යයට ප්‍රවිෂ්ඨ වන ස්ථානයේ වූ රබර් වතු යාය 

                                                      ආරණ්‍යයේ ප්‍රවිෂ්ඨ මාර්ගය

                                           අපට ප්‍රහාර එල්ල කළ එක් කූඩෑල්ලෙක්

                        නායක හිමියන් අපව බෝධීන් වහන්සේ වෙත කැඳවාගෙන යමින්


No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators