Sunday, December 13, 2015

ලෝක සාහිත්‍යයේ "සෝවියට්" සලකුණ

සෝවියට් සාහිත්‍ය අන් කවර සාහිත්‍ය ධාරාවකටත් වඩා ලාංකේය සාහිත්‍යයට සහ ලාංකේය පාඨකයාට සමීප බව මම විශ්වාස කරමි. සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටීමට මූලික වූ දේශපාලන පෙරළියත් සමග සෝවියට් සාහිත්‍යයේ මළගමද සිදුවූ බැවින් තව දුරටත් සෝවියට් සාහිත්‍යයේ ප්‍රභාව විඳීමට අපට හැකියාවක් නැත. අඩුම වශයෙන් නූතන රුසියානු සාහිත්‍යයේ එන ප්‍රශස්ත මට්ටමේ කෘති හෝ සිංහල භාෂාවට පරිවර්තනය වන්නේ ඉතා අවම වශයෙනි.ඇත්තේම නැති තරම්ය. ඒ කෙසේ වෙතත් 1991ට පෙර වකවානුවේ සහ 1917 රුසියානු විප්ලවයට පසු වකවානුවේ සෝවියට් සමූහාණ්ඩුව තුළ ක්‍රියාත්මක වූ සෝවියට් සාහිත්‍යය යනු ලෝක සාහිත්‍යයේ ස්වර්ණමය යුගයකි. රාජ්‍ය උපකාරය මත ගොඩ නැගුනු එවන් සාහිත්‍ය සම්ප්‍රදායක් ලෝකයේ නැති තරම්ය.


සමාජවාදය මුලිකාකොටගත් හර පද්ධතීන් මත මෙම සාහිත්‍ය ගොඩ නැගුණි. සෝවියට් සාහිත්‍ය බිහිවීමට අවශ්‍ය මූලික ආදර්ශ සැපයූයේ රුසියානු සාහිත්‍යයයි. පූර්ව විප්ලව යුගයේ වූ රුසියන් සාහිත්‍යය සෝවියට් සාහිත්‍ය ගණයට අයත් වන්නේ නැත. ඇලක්සන්ඩර් පුෂ්කින්ගෙන් ඇරඹි පූර්ව රුසියානු සාහිත්‍යයේ අවසානය ලෙස සැලකෙන්නේ මැක්සිම් ගෝර්කිය. නමුත් මැක්සිම් ගෝර්කි යනු පූර්ව රුසියානු සාහිත්‍ය සහ සෝවියට් සාහිත්‍ය යන යුග දෙකම නියෝජනය කළ සාහිත්‍යවේදියාය. තවද සෝවියට් සාහිත්‍යයේ පුරෝගාමියා ලෙස සැලකෙන්නේද මැක්සිම් ගෝර්කිය. වී.අයි ලෙනින් පැවසූ පරිදි ඔක්තෝබර් විප්ලවයේ අත්පොත වූයේ මැක්සිම් ගෝර්කිගේ "අම්මා" කෘතියයි. ඒ අනුව ගත්කළ සෝවියට් සාහිත්‍යයයේ හැඩය මවා පෙන්වූ මුල් ආකෘතිය "අම්මා" විය. පසුකාලීනව බිහි වූ බොහොමයක් සාහිත්‍ය කෘතීන් එය ගුරුකොටගත් බව පැහැදිළිය.


සෝවියට් යුගයේ බිහි වූ ලේඛකයින් අතර ප්‍රකට නම් ඇති ලේඛක ලේඛිකාවන් ගොන්නකි. ඒ අතර මිහයිල් ෂෝලහව්, නිකොලොයි ඔස්ත්‍රෝවුස්කි, පවුතොව්ස්කි, චින්ගීස් ආයිත්මාතව්, ඇලෙක්සෙයි තෝල්ස්තෝයි, අක්මදුලීනා, මායා ගැනීනා වැන්නන් ලෝක සාහිත්‍යය තුළ අතිශය ජනාදරයට පත් විය. සෝවියට් දේශපාලනය තුළ නිළදාරීවාදය හේතුකොටගෙන සමාජවාදී අරමුණු පසු කලෙක බැහැර වුවද සෝවියට් ලේඛකයින් එම අරමුණ සැබෑ ලෙසම අවබෝදකොටගත් පිරිසක් විය. එම නිසාම ඔවුන් පසුකලෙක බැහැරට යන අරමුණු සහ නිලධාරීවාදය පිළිබඳව සිය විවේචනශීලි මතවාදයන් කෘති හරහා ජනගත කරන ලදී. සෝවියට් සාහිත්‍ය බිහිවීමේ එක් වටිනාකමක් නම් ඒ හරහා අනෙකුත් රටවලත් උප සාහිත්‍ය ධාරාවන් බිහිවීමයි. ඊට දියහැකි හොඳම නිදසුනක් නම් "කිර්ගීස් සාහිත්‍යයි". අතීතයේ කිර්ගිස්ථානය කියූ සැනින් යමෙකුට මතක් වන්නේ තණ බිම් සහ කඳු වළලු වලින් වටවූ ගොපලු මිනිසුන් වෙසෙන දුෂ්කර බවින් පිරි රටක්නම් අද කිර්ගිස්ථානය කියූ සැනින් මතක් වන්නේ "චින්ගීස් ආයිත්මාතව්" නම් වූ සුන්දර සාහිත්‍යවේදියෙකි. ඔහුගේ ගුරු ගීතය, සමුගනිමු ගුල්සාරි, ජමිලා ආදී නම් වලින් සිංහල භාෂාවට පවා පරිවර්තනය වූ විශිෂ්ට කෘති බිහිවූයේ සෝවියට් උප සාහිත්‍යක් වූ කිර්ගිස්ථානයෙනි.


සෝවියට් සාහිත්‍ය බටහිර ලෝකය තුළ ජනප්‍රිය වූවාට වඩා ආසියානු සමාජය තුළ ජනප්‍රිය වීමට හේතුව කුමක්ද?


එවක විදේශ ආක්‍රමණයන්ට ගොදුරු වී සිටි බහුතරයක් ආසියාතික රටවල් තුළ අධිරාජ්‍ය විරෝධී ආකල්ප නිර්මාණය වන්නට විය. නිදහස නම් වූ පොදු අරමුණ වෙනුවෙන් සාමුහිකව එක් වීමේ දැඩි අවශ්‍යතාවයන් සමාජය තුළින් පැන නැගුණි. සෝවියට් කෘති වල වූයේ එවන් සමාජ පුරුෂාර්ථයන්ගෙන් යුතු අදහස්ය. ඔවුන්ගේ නවකතාව, කෙටිකතාව හෝ මොනයම් කෘතියක් බිහි වී තිබුනේද ඒවා තුළ සාමුහිකත්වය, අරමුණු ජය ගැනීම වැනි විප්ලවීය අදහස් කැටි වී තිබුණි. මෙවන් කෘතීන් ආසියානු කොලොනිවල බුද්ධිමතුන්ගේ අත්පොත් බවට පත් විය. චින්තනමය වෙනස්කම් සිදු විය. සමාජවාදී පක්ෂ බිහි වූ අතර කම්කරු අයිතීන් පිළිබඳව අදහස් මතු විය. ගොවි කම්කරු සටන් නිර්මාණය විය. ඉන්දියාව, ශ්‍රී ලංකාව වැනි රටවල වූ නිදහස් සටන් ව්‍යාපාර වල මෙම ලක්ෂණ හොඳින් දැකගත හැක. එපමණක් නොව එම රටවල ලේඛකයන් අතින් සෝවියට් අභාෂය මුල්කරගත් සාහිත්‍ය කෘතිද නිර්මාණය විය. මෙවන් තත්වයන් මත ආසියානු සමාජය තුළ සෝවියට් සාහිත්‍යය ජනප්‍රිය ධාරාවක් බවට පත් විය.


සෝවියට් සමූහාණ්ඩුව කළ වැදගත්ම සේවය නම් සෝවියට් සාහිත්‍ය කෘතීන් විදේශ භාෂා වලින් අනුවර්තනය සහ පරිවර්තනය කොට එම රටේම මුද්‍රණය කොට වෙනත් රටවලට බෙදා හැරීමයි. අනූව දශකයට පෙර මෙරටට පැමිණියේද සෝවියට් සමූහාණ්ඩුව විසින්ම මුද්‍රණය කළ කෘතීන්ය. රුසියාවේ වූ "ප්‍රගති" "රදුගා" වැනි ප්‍රකාශන සමාගම් එම කර්තව්‍ය සිදු කළ අතර එය එක් අතකින් සෝවියට් දේශපාලනය ලොව පුරා පැතිරවීමේ අරමුණින් ක්‍රියාත්මක වුවද එමගින් ලෝකයේ මිනිසුන්ට කියැවීම ඉගැන්වීය. ලෝකයේ කොතරම් සාහිත්‍ය ධාරා තිබුණද පෞද්ගලිකව මා සෝවියට් සාහිත්‍යය තරම් ප්‍රිය කරන වෙනත් සාහිත්‍යයක් නැත. කෙසේ හෝ දැන් සෝවියට් සාහිත්‍යක් නැත. සෝවියට් දේශයේ මුද්‍රණය කළ කෘති අපට එන්නේද නැත. නමුත් පරණ සෝවියට් පොත් රාක්කයේ තවමත් ඇත. එම පොත් පෙරලා පොත් පිටු සිඹ බලනවිට සෝවියට් සාහිත්‍යයේ මතක සුවඳ තවමත් සිතට දැනේ.


_අයේෂ් ලියනගේ_







2 comments:

  1. sathutui, nawatha paminima gana...

    ReplyDelete
  2. සෝවියට් සාහිත්‍ය අනෙක් කවර සාහිත්‍ය ධාරාවකටවත් වඩා ලාංකේය සාහිත්යට හා ලාංකේය පාඨකයාට සමීප බව මම ද විශ්වාස කරමි, විශ්වාසෙකටත් වඩා ඒක හදවතටම දැනෙන දෙයක්

    ReplyDelete

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators