Wednesday, December 23, 2015

ඇසිඩ්

"ඇසිඩ්" යන වදන ඇසූ සැනින් යමෙකු හට භීතියක් ඇති වීම පුදුමයක් නොවන්නේ ඇසිඩ් ප්‍රහාර හිංසනයන් වැඩි වශයෙන් සිදුවන කලාපයක අප ජීවත්වන නිසාය. දකුණු ආසියානු රටවල් හා සාපේක්ෂව ගත්කල ශ්‍රී ලංකාවේ ඇසිඩ් ප්‍රහාර ආශ්‍රිතව සිදුවන හිංසන පවතින්නේ ඉතා අවම මට්ටමකයි. ඉන්දියාව, බංගලාදේශය, නේපාලය සහ පකිස්ථානය යන රටවල මෙම තත්වය ඉතා දරුණු මට්ටමක පවතින අතර එම හිංසනයන්ට විරුද්ධව රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක් මෙම කලාපය තුළ ක්‍රියාත්මක වේ. විශේෂත්වය වන්නේ මෙම හිංසනයන්ට හසුවන බහුතරයක් කාන්තාවන් වීමයි. දකුණු ආසියාව තුළ ලිංගිකමය කාරණා සම්බන්දව සිදුවන පළිගැනීම් ලෙස මෙන්ම දෑ වැදි ආශ්‍රිතව සිදුවන ගැටුම් මේ ආකාරයට කාන්තාවන්ට බලපෑම් ඇතිකර තිබෙන බවට වාර්තා වේ. අංග විකල භාවයට පත් වීම, විරූපී භාවය හෝ මරණයට පත් වීමට තරම් මෙම හිංසනය ප්‍රභල වී ඇත. රාජ්‍ය නොවන සංවිධාන වල දත්තයන්ට අනුව මෙසේ අගතියට පත් කාන්තාවන් බහුතරය තරුණ වයසේ පසුවන්නියන් වීම විශේෂත්වයකි. ඔවුන් මෙසේ හිංසනයට පත් වී ඇත්තේ බොහෝවිට සිය සමීප හිතවතුන් අතින් වීම අනෙක් විශේෂ කාරණයයි.


1990 වසරේ සිට 2013 වසර දක්වා ලෝකයේ වැඩිම ඇසිඩ් ප්‍රහාර වාර්තා වී ඇත්තේ බංගලාදේශයෙනි. Acid Survivors Foundation ආයතනයේ වාර්තා වලට අනුව 1999 වසරේ සිට වාර්තා වූ සංක්‍යාව පමණක් තුන් දහස ඉක්මවයි. එම ප්‍රමාණයෙන් 82%ක ප්‍රතිශතය කාන්තාවන්ය. වයස අවුරුදු 10 සිට 19 දක්වා වයස් කාණ්ඩ වල ගැහැණු දරුවන් 60% ක් ඒ අතර සිටී. දකුණු ආසියානු කලාපයට අමතරව කාම්බෝජය, ඇෆ්ගනිස්ථානය, ඉරානය යන අනෙකුත් ආසියානු රටවලද මෙම තත්වය බහුල වශයෙන් වාර්තා වේ. කෙසේ වෙතත් රාජ්‍ය මට්ටමින් සහ රාජ්‍ය නොවන සංවිධාන මට්ටමින් මෙලෙස අගතියට පත්වන පිරිස් වෙනුවෙන් නීති ආධාර සේම, නැවත නැගී සිටීම සඳහා වූ ආධාර ලබා දීමත් ඔවුන් සමාජගත කිරීම උදෙසා වූ වැඩමුළු ආදිය ක්‍රියාත්මක වේ. Acid Survivors Trust International නම් බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානය අප්‍රිකානු කලාපයේ සහ ආසියානු කලාපයේ එසේ විපතට පත් වූ පිරිස් උදෙසා විශාල වැඩකොටසක් සිදු කරනු ලබයි. මීට අමතරව මෙම රටවල බිම් මට්ටම් තුළින් ආරම්භ වී ව්‍යාප්ත වූ ප්‍රාදේශීය සංවිධානද බොහෝ ඇත. 


Sheroes Hangout නමින් ඉන්දියාවේ අග්‍රාහි පවත්වාගෙන යන අවන්හල
කි. එය පවත්වාගෙන යනු ලබන්නේ මේ අයුරින් ඇසිඩ් ප්‍රහාරයන්ට ලක්ව විරූපී භාවයට පත් වූ නමුත් ජීවිත බේරාගත් තරුණියන් පිරිසකි. මා මෙහි දක්වන්නේ ඔවුන්ගේ ජායාරූප එකතුවකි. ඔවුන් රාජ්‍ය මට්ටමෙන් කිසිදු ආධාර උපකාරයක් නොලබා ස්වාධීනව නැගී සිටි සමූහයක් වන අතර ඔවුන් ලබන ලාබයෙන් රට පුරා සිටින අගතියට පත් කාන්තාවන් වෙනුවෙන් විවිද වැඩමුළුද සංවිධානය කරනු ලබයි. 2014 වසරේ දෙසැම්බර් මස ආරම්භ කළ මෙය මේ වන විටත් සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වේ. මෙම සේයාරූ ගත් ජායාරූපශිල්පියා වන will Noor යනු බ්‍රිතාන්‍ය ජාතික ශිෂ්‍යයෙක් සහ සමාජ විද්‍යා පර්යේෂකයෙකි. ඔහුගේ අත්දැකීම ඔහුගේම වචනයෙන් පවසන්නේනම් එය මෙසේය. 


"මගේ හිතට මහත් ගැටළුවක් ඇති වූයේ ඔවුන්ගේ මුහුණු හරිහැටි හඳුනාගැනීමට නොහැකි වීමෙන් උනත් මට ඒ අභියෝගයට මුහුණ දීමට අවශ්‍ය උනා. අග්‍රා බලා මෙම සංචාර පිටත්වීමට මාස හතරකට පෙර මම හින්දි භාෂාව යම් පමණකට හැදෑරුවෙමි. මුලින්ම මම කතා කළේ රිතූ නමැත්තිය සමගයි. මා කැඩුණු හින්දියෙන් මා හට අවශ්‍ය දේ විමසන විට ඇය එම වාක්‍ය සම්පූර්ණ කරමින් මා හට අවශ්‍ය පිළිතුරු ක්ෂණිකව ලබා දුන්නා. ඇත්තෙන්ම එය වචනයට වඩා හදවතින් කළ සංවාදයක්. මට දැනුනේ ජීවිත කාලය තුළ මා හට මුණ ගැසුණු සුන්දරම මිනිසුන් අතරින් විශේෂ පිරිසක් සමග කාලය ගත කළ බවක්. මේ සේයාරූ එකතුව යනු මා සහ ඔවුන් අතර සති ගණනක් පුරා ගොඩනගාගත් දැඩි මිත්‍රත්වයේ ප්‍රතිපලයයි. මට මේ ජායාරූප ඔස්සේ අවශ්‍ය වන්නේ අන් කිසිවක් නොවේ ඒ මුහුණු වල වූ කැළැල් වලට එහා ගොස් ගොඩ ගැනුණු ඒ බැඳීම කියාපෑමටයි. ඔවුන් රජයෙන් කිසිදු මුල්‍ය ආධාරයක් ලබන්නේ නැත. යම් හෙයකින් ඔබ ටජ් මහල නැරඹීමට ඉන්දියාවේ අග්‍රා බලා යනවානම් ඔවුන් සමගත් ආහාර වේලක් රස විඳීමට අමතක නොකරන්න." 










2 comments:

  1. අපේ රටේ එච්චර ලොකුවට නැති උනාට සීපා වලින් පස්සෙ මෙහෙත් ඕවා සාමන්‍ය වෙයිද දන්නෙ නෑ :P

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම... නොවුනොත් තමා පුදුමේ... ;)

      Delete

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators