Saturday, February 6, 2016

Alejandro González

දවසින් දවස හොලිවුඩ් සිනමාව තුළ විස්කම් කරන මෙම සිනමාවේදියා මෙක්සිකෝව වැනි රටක ඉපිද හොලිවුඩය තරණය කිරීමේත්, ඔස්කාර් සම්මානය තෙක් පැමිණි දුෂ්කර ගමනාන්තයේත්, සිනමා භාවිතාවේ විකසනයේත් එකිනෙක හා සහසමවන විශිෂ්ට බවක් තිබෙන බව කිවයුතුය. Alejandro González යන නාමය ලෝක සිනමා රසිකයන් ප්‍රථමයෙන් හඳුනාගන්නේ 2000 වසරේ තිරගත වූ 'Amores Perros' නම් මෙක්සිකානු සිනමාපටයත් සමගයි. වෙනස් චරිත ත්‍රිත්වයක් එක් සංධිස්ථානයක මුණ ගස්වන ආකාරයේ සමාජ යථාර්තය ඉස්මතු කළ කතා තේමාවකින් යුතු වූ 'Amores Perros' 2001 වසරේ හොඳම විදේශ සිනමාපටය වෙනුවෙන් වූ ඔස්කාර් සම්මානයට නිර්දේශ විය. එය මෙක්සිකානු සිනමා නිර්මාණකරුවෙකු ඔස්කාර් සම්මානයක් සඳහා නිර්දේශ වූ ප්‍රථම අවස්ථාවද වීම විශේෂත්වයකි.

 

1963 වසරේ අගෝස්තු මස 15 වන දින උපන් Alejandro කලා පවුලකින් පැවත එන්නෙක් නොවේ. වයස අවුරුදු 16යේ සිට 19 තෙක් භාණ්ඩ නෞකාවක කම්කරුවෙක් ලෙස සේවය කළ මොහු සංචාරයෙහි අත්දැකීම් සම්භාරයක් රැස් කරගත්තේය. නැව් රැකියාව නිසාවෙන් අත්ලාන්තික් සයුර තරණයකොට අප්‍රිකාව සහ යුරෝපය බලා සංචාරය කිරීමට ලැබීම වටිනා අත්දැකීමක් වුවත් ඔහුගේ සිත රැඳී තිබුණේ සිනමාව දෙසටයි. සිනමාව පිළිබඳව වූ කිසිදු ඇකඩමික් දැනුමක් නොමැති වීම හේතුවෙන් ඔහු බොහෝ අවස්ථාවලදී කණගාටුවට පත් විය. නමුත් තමා යෙදී සිටිනා රැකියාව සමග එය සාක්ෂාත් කරගත නොහැකි බවද ඔහු අවබෝදකොටගෙන සිටියේය. එබැවින් කෙසේ හෝ සිනමාව සම්බන්දව හැදෑරීය යුතුයැයි ඔහු තීරණය කරන ලදී. තමා සංචාරය ඔස්සේ ලබාගත් අත්දැකීම් සිනමා දැනුම වර්ධනය කරගැනීම පිණිස යම් දිනෙක වැදගත් වන බවද ඔහු දැන සිටියේය.


1984 වසරේ සිය නැව් රැකියාවට සමුදුන් Alejandro පෙරලා මෙක්සිකෝව බලා පැමිණෙන්නේ තම අපේක්ෂාව මුදුන්පත් කරගැනීමටයි. නැව් රැකියාවෙන් එකතු කරගත් මුදලත් සමගින් ඔහු එම වසරේදීම මෙක්සිකෝවේ "Iberoamericana" විශ්ව විද්‍යාලයට ඇතුල් වී සන්නිවේදනය හදාරනු ලබයි. එහිදී සිනමාව විෂයක් ලෙස හැදෑරීමේ අවස්ථාව ඔහුට හිමිවන අතර සිනමාවේ ප්‍රවීණයින් සහ බුද්ධිමතුන් ඇසුරු කිරීමේ වරමද හිමිකරගනී. අධ්‍යාපනය ලබන අතරතුර ඔහු හට මෙක්සිකානු WFM රේඩියෝ ආයතනයේ ආධුනික සේවකයෙකු ලෙස රැකියාව කිරීමේ අවස්ථාව හිමි විය. සංගීත අංශයේ ආධුනිකයෙකු ලෙස රැකියාව කිරීමට හිමිවීම හේතුවෙන් ඔහුට සංගීතය පිළිබඳව වූ දැනුමද පුළුල් කරගැනීමට එය අවස්ථාවක් විය. එතැනින් ඔහුගේ වෘතීය ජීවිතය ආරම්භ වූ අතර 1988 වනවිට ඔහු එම ආයතනයේ නාලිකා ප්‍රධානියා බවට පත් විය. එතැන් පටන් ඔහුට ලෝ ප්‍රකට සංගීතවේදීන් හා අනෙකුත් කලාකරුවන් සමග එකට කටයුතු කිරීමේ අවස්ථාව හිමිවිය. විශේෂත්වය නම් එම කාල වකවානුව තුළ ඔහු මෙක්සිකානු වෘතාන්ත සිනමාපට හයක් වෙනුවෙන් සංගීත නිර්මාණය කිරීමයි.


90 දශකයට පැමිණෙන විට Alejandro කෙටි චිත්‍රපට සහ වෙළඳ දැන්වීම් අධ්‍යක්ෂණය වෙත යොමු විය. එය ඔහුගේ සිනමා ජීවිතයේ හැරවුම් ලක්ෂයක් විය. මෙක්සිකෝවේ ප්‍රකට නිෂ්පාදන සමාගමක් වූ Z films ආයතනය හරහා තිර පිටපත් රචනා කිරීමත් කෙටි චිත්‍රපට අධ්‍යක්ෂණය කිරීමත් හරහා විශාල අත්දැකීමක් සහ දැනුමක් ලබාගැනීමට ඔහුට හැකිවිය. එම කාලය තුළ පෝලන්ත ජාතික වේදිකා නිර්මාණකරුවෙකු වූ "ලුද්වික් මාගියුලේස්" ගේ ඇසුර ඔහුට වේදිකාව පිළිබඳවද දැනුම් සම්භාරයක් ගෙනා ආ බව ඔහු පැවසීය. මේ අයුරින් පැමිණි ගමනේ එක් සන්ධිස්ථානයක් ලෙස ඔහු සිය ප්‍රථම වෘතාන්ත සිනමාපටය 1999 වසරේදී අධ්‍යක්ෂණය කරයි. ඒ "Amores perros" ය. ප්‍රථම වෘතාන්ත ඔහුගේ ප්‍රථම සිනමා නිර්මාණය මෙක්සිකානු සිනමා ඉතිහාසයේද හැරවුම් ලක්ෂයක් බවට පත් විය. එය හොඳම විදේශ සිනමා නිර්මාණය සඳහා වූ ඔස්කාර් සම්ම්නයට නිර්දේශ විය. මෙක්සිකානු නිර්මාණයක් එදා මෙදාතුර ඔස්කාර් සම්මානය සඳහා නිර්දේශ වූ ප්‍රථම අවස්ථාව එය විය. එය 2000 වසරේ ප්‍රංශයේ කෑන්ස් උළෙලේ Critics Weeks Grand Prize සම්මානයෙන්ද පිදුම් ලැබීය.

 

Amores Perros හි සාර්ථකත්වෙන් පසුව ඔහු සිය දෙවන වෘතාන්ත සිනමානිර්මාණය වෙනුවෙන් සූදානම් වූවේය. එහිදී ඔහුට අවශ්‍ය වූයේ ලෝක මට්ටමේ නිර්මාණකරුවන් සමග යමක් කිරීමටයි. සිනමාපටය "21 Grams" නම් විය. ප්‍රකට හොලිවුඩ් නළුවෙක් වූ Sean penn සහ නිළියක වන Naomi Watts මෙන්ම ප්‍රකට ලතින් නළුවෙක් වූ Benicio del Toro එම නිර්මාණයේදී Alejandro සමග නිර්මාණයට දායක විය. එම නිර්මාණයද ඔස්කාර් සම්මාන ද්විත්වයක් සඳහා නිර්දේශ විය. 2005 වසරේදී ඔහුගේ සාධනීය සිනමා සිත්තමක් වූ "Babel" ඔහු විසින් අධ්‍යක්ෂණ කරන ලදී. රටවල් 4ක රූගත කළ මෙම නිර්මාණය විශේෂ වන්නේ ලෝ ප්‍රකට නළු නිළියන් සේම අතිශය ආධුනික පුද්ගලයින්ද යොදා ගනිමින් නිර්මාණය කළ සිනමාපටයක් හේතුවෙනි. 2006 වසරේ නිකුත් වූ මෙම නිර්මාණය ඔස්කාර් සම්මාන හතක් සඳහා නිර්දේශ විය. කෑන්ස් උළෙලේ හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් වූ සම්මානය හිමිවිය.


2008 වසරේදී ඔහු නැවතත් "Biutiful" නම් සිනමා නිර්මාණය අධ්‍යක්ෂණය කොට තමා විසින්ම නිෂ්පාදනය කළේය. ලතින් නළු Javier Bardem එහි ප්‍රධාන චරිතය නිරූපනය කළේය. ඔහු එහි රංගනය වෙනුවෙන් වූ කෑන්ස් සම්මානය දිනාගත් අතර නැවතත් "Biutiful" ඔස්කාර් සම්මාන ද්විත්වයක් වෙනුවෙන් නිර්දේෂා විය. ඒ හොඳම විදේශ සිනමා පටය සහ හොඳම රංගනය යන අංශයගෙනි. මේ වනතුරු ඔස්කාර් සම්මාන ගණනාවක් සඳහා නිර්දේශ වුවත් Alejandro González හට Best picture සම්මානය දිනාගැනීමට හැකියාවක් ලැබුනේ නැත. එම අවස්ථාව එසේ නිර්දේශ වූ සෑම අවස්ථාවකම ඔහු අතින් ගිලිහී ගියේය. කෙසේ හෝ 2014 වසර වනතෙක් ඔහු යම් නිහඬතාවක් රැක්කේ කිසියම් වෙනසක් කලයුතුය යන අරමුණේ සිටි නිසා විය යුතුය. 



2014 වසරේ ඔහු නැවත කරළියට පැමිණෙන්නේ වෙනස් ආරක සිනමා ආකෘතියක් සමගයි. ඒ "Bird man" සමගයි. ""Bird man" තුළ වුයේ කතා සන්දර්භයේ වෙනසක් නොව සිනමා ආකෘතියේ වෙනසකි. පශ්චාත් නුතනවාදය තුළ ජීවත් වන කලාකරුවෙකුගේ පුද්ගල මනෝභාවී විපර්යාසය ඔහුගේ කතා සන්දර්භයට තේමාව වූ අතර තාක්ෂණික භාවිතාව නවමුවක්ම විය. එම චිත්‍රපටය තුළ ඔහු විසින් සංස්කරණය භාවිතා කළ ආකාරය සිනමා සම්මාන උළෙලවල ජූරිය පවා පුදුම කළ බව කියැවේ. කැමරා භාවිතයද ඒ තරමටම උසස් මට්ටමක විය. කෙසේ හෝ අවසානයේ වසර ගණනාවක කැපකිරීම සාර්ථක විය. 2015 ඔස්කාර් උළෙලේ සම්මාන හතරක් "Bird man" දිනාගනු ලබන්නේ Best Motion Picture of the Year සම්මානය, Best Achievement in Directing සම්මානය, Best Writing, Original Screenplay සහ Best Achievement in Cinematography යන සම්මාන ඇතුළත්වය.


Alejandro González නැවතත් තීරණාත්මක මොහොතක රැඳී සිටී. ඒ ඔහුගේ නවතම සිනමා නිර්මාණය වන The Revenant සමගයි. සම්මාන කිහිපයකම බලාපොරොත්තු ඒ සමග බැඳී ඇත. Best Picture ඇතුළුව හොඳම අධ්‍යක්ෂණය, හොඳම රංගනය, හොඳම සහාය රංගනය, හොඳම කැමරාකරණය, අංග රචනය, සංස්කරණය, Makeup and Hairstyling, Production Design, Sound Editing, Sound Mixing, Visual Effects යන සම්මාන 12කට මෙවර නිර්දේශ වී ඇත. Alejandroරසිකයන්ද මේ අතරින් බොහොමයක් The Revenant සතුකරගනු ඇතැයි බලාපොරොත්තු දල්වාගෙන සිටිනවා ඇත.

 

_අයේෂ් ලියනගේ_







3 comments:

  1. This man might be an one of your role models? ;)
    Isn't it young director? ;)

    ReplyDelete

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators