Wednesday, February 3, 2016

ආදරණීය ලුද්මිලා..., Людмила

ගව් කීපයක් දුරින් වෙඩි හඬ ඇසෙනවා. මහා සටනක් නුදුරේදීම එන බවක් ඒ වෙඩි හඬවල් අපට කියනවා. හැමෝගෙම මුහුණේ තියෙන්නේ අවිනිශ්චිත බවක්. මුවහත් කළ බයිනෙත්තු තුඩ දකින හැම විටෙකම මට මරණයත්, නුඹේ ප්‍රේමයත් මැවී පෙනෙන්නේ මා එතරම්ම මරණයට ළඟ නිසාද කියා මට හිතෙනවා. මට සිහි වෙනවා පහුගිය වසරේ සීත සෘතුව. ඒ අපි එකට ගත කළ අවසන් සීත සෘතුව. දෙසැම්බරයේ සීත සෘතුව ළඟ ළඟම එනවා. අලුත් සීත සෘතුව විප්ලවයේ ජයග්‍රහණය සමග සමරාවී. ඔව් අපිට ජයග්‍රහණය ඒකාන්තයි. නමුත් මට මා පිළිබඳව යම් අවිනිශ්චිත බවක් දැනෙනවා. සමහරවිට මේ දෙසැම්බරයේ මා ඔබ අසල නැති වෙයි. ඒත් දුක් වෙන්න එපා. අපි නිදහස වෙනුවෙන් හැලූ ලේ සීත සෘතුවට රතු පාවඩ එලාවී. ඒ මාවතේ යන්න. නිදහස ඒකාන්තයි.

 

හැම තත්පරයකම වෙඩි හඬ ළඟට එනවා. ඒ වෙලාවට නුඹේ නිල්වන් ඇස් සිහි කරන්න මම අපහසු උත්සහයක යෙදෙනවා. උඹ මසූර්කා නැටුමට ආස බව මට සිහි වෙනවා. ඒකට උඹ හරි හපනී. ඒත් පෝලන්තකාරයන්ගේ මසූර්කාව මට ඒ තරම් හුරු නැහැ.නුඹට කිසි බරක් පතලක් තිබ්බේ නැහැ ජීවිතේ ගැන. ඒත් මම එදත් අද දවස ගැන  පෙරමග ලකුණු දැක්කා. ඉතිං උඹ තරම් සැහැල්ලුවෙන් මට ඉන්න පුළුවන් උනේ නැහැ. ඒක නුඹට ප්‍රශ්නයක් උන බව දැනුනත් අද නුඹටම දැනෙනවා ඇති එදා මම කියූ දේවල් සත්‍ය බව. අපි ගෙවූ අවසන් සීත සෘතුවේ සාදයේදී මම උන්නේ වොඩ්කා මතින් මත් වෙලා උනත් හොරැහින් මං උඹ නටන දිහා බලං හිටියා. උඹට ඕන උනේ මා එක්ක නටන්න. ඒත් මම ඒ බව නොදන්නවා වගේ හිටියා. මම වොඩ්කා මතින්ම වාදනය කරන්න ගත්තා. නුඹට ඕන උනා වාදනයෙන් මාව ගලවාගෙන මාව නුඹේ තුරුළට ගන්න. දැන් මට නුඹේ තුරුළට දුවගෙන එන්න හිතුනත් මම ඉන්නේ ගව් ගානක් ඈත සටන් පෙරමුණක. ඕන උනත් ආයෙත් හැරෙන්න මට බැහැ.

 

කියන්න දේවල් අනන්ත තිබුනත් හිතට දැනෙන ඒ හැම දේම ලියන්න මට වෙලාව නැහැ. මේ ලිපිය නුඹට ලැබෙන්න බොහෝ කල් යාවි. ඒත් මතකයේ තියාගන්න මේ මොහොතෙත් මා නුඹව සිහි කළ බව සහ නැවත නැවතත් නුඹවම සිහි කරන බව. ඔක්තෝබරය ගෙවී යාවි. සීත සෘතුව පැමිණේවි. හිම දිය වේවි. සීත සෘතුවද ගෙවී යාවි. අවසානයේ වසන්තය පැමිණේවි. ඉතිං අවසන් වතාවට මම යමක් නුඹෙන් ඉල්ලන්නම්. යම් ලෙසකින් මම නැවත නොපැමිණියහොත් මා එදා වාදනය කළ බැලලයිකාව නුඹ අසලම පරිස්සමට තබාගන්න.                                                                              මීට නුඹේම
                                                                           _ඉවාන් පවුලූෂා_

written by - අයේෂ් ලියනගේ





6 comments:

  1. Me charitha thiyena potha mokakda kiyala kiyanawada?

    ReplyDelete
    Replies
    1. මේක පොතකින් ගත්ත එකක් නෙමෙයි. ඉවාන් පවුලුෂා සිංදුව අහලා තියේනම් මතක් වෙයි. ලුද්මිලා කියන චරිතයට පවුලුෂා අමතන විදිහ මම හිතින් මවලා ලිවුවා මිසක් පොතකින් ගත්තේ නැති බව සඳහන් කරන්න ඕන. ඔය ගීතයට පදනම් උනේ කලකට ඉහත කොළඹ විශ්ව විද්‍යාලයෙන් කරපු නාට්‍යයක්.

      Delete
  2. මශූර්කා නැටුමට ඔබ අද පමණක් එන්න පවුලූශා =D

    ReplyDelete
    Replies
    1. ඒ ගීතය ඔලුවේ තියාගෙන ලිවුවා ඔන්න.... ;)

      Delete
    2. අයේශ්, ඔයා ඇත්තටම දක්ශයෙක්..., සිංදුව අහලා විතරක්ම මෙහෙම එකක් ලියපු එක කොච්චර ලොකුද? ඇත්තටම හොඬටම හොඳයි

      Delete
  3. කොහොම ඇගයීමට ලක්කරන්නදැයි සිතාගත නොහැකි

    ReplyDelete

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators