පාසල් යන කාලයේ කියවුවාට පසුව මෑත දිනෙක යලිත් මේ කවි පන්තිය මතකයට ආවත් සමගම දැනුනේ කිසියම් සියුම් ආනන්දයක් වැනි හැඟීමක්. සරල පැදි පෙලත් ඒ තුළ කියැවෙන මහා ගැඹුරත් පරිසර වර්ණනාවත් සමගම ඒකාත්මික වන්නේ භාවනාවක් වැනි හැඟීමකින්. රත්න ශ්‍රී මහත්මා මේ පද්‍ය රචනා කරන්නේ ඔහුගේ ජීවිතයේ එක්තරා දුෂ්කර සමයක වීමත් මෙහි ඇති විශේෂත්වයක්. ඔහුට ඌව පළාතට දුෂ්කර මාරුවක් ලැබුණ එම වකවානුවේ ඔහුට තමා වෙසෙන පරිසරය සහ තම ජීවිතය ගලපාගැනීමට දැරූ උත්සහයක් තුළ මෙම නිර්මාණය බිහි වෙනවා. ජීවිතය කොතරම් දුෂ්කර වූවද පලා නොගොස් දුෂ්කරබව තුළම හමුවන සෞන්දර්ය තුළ ජීවත් වීම වඩා වැදගත් බව මේ තුලින් ගම්‍ය වෙනවා. අප සියලු දෙනාට ජීවිතයේ දුෂ්කර කාල වකවානු පසු කිරීමට සිදු වෙනවා. නමුත් ඒවා සමග ගැටීම ජීවත්වීමම බව "වස්සානය" අපට පසක් කර දෙනවා.
ඔය දෑල දොඩමලුය සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම්ද
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර නුඹ වාගේම හිනැහේය මා එක්ක
කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට
දිය කෙලින හැටි පුංචි මාලුවන් දුටුවාද
පුරපසේ සඳ එක්ක තරඟයට මෝරන්ට
හුලන්දා ඔය කිම්ද මල්වරව ඉල් මහට
සෙනේහය පිරී ගිය ඔය නයන නිල් පොකුණ
දිය නිලන වැසිසමේ රැළි නඟා උතුරාය
තඹර පෙති අතර හෙල්මැලි රේණු වැසි වසින
ඔබෙ සිනාවෙන් නිවේ හුනුව ගිය ලේ නහර
දෙවැට දිග කරඳ වැල් ආරුක්කු යට සැඟව
නිල් කුරුලු බිලිඳු නිදි ඇහැරවන්නේ කුමට
රැගෙන දෝතට පෙරා උණුහුමට හිරු එලිය
මිහිරි මවු කිරි වගේ පොවන්නෙමි නුඹලාට
රමණීය වන ගැබෙහි ගැබෙහි මොණරුනට පිල් වියන
සන්නාලියන් කොහොම ඇන්දාද දේදුන්න
වැහි වතුර ඉහිනවානම් ඔවුන් විහිලුවට
කුරුල්ලෝ ඉගිල්ලී වරෙන් නුඹ මා ළඟට
වැහි වළාකුලු රංචු කඳු මුදුන් වල ලගින
දැන් ඒවි තැනි බිමට සිතලයි මගෙ හිතට
වැසි සමේ රෑ ඇඳේ සිහිනයක් වී ඉන්න
ඔබ එන්න ඉතින් මගෙ හෙට දවස මට දෙන්න
ගිම්හානයේ ගිලන් වී කෘශව සුදුමැලිව
ඇදි ඇදී ඉකිගැසූ ගඟ නැවත පිරිපුන්ය
දුෂ්කරයි කියා හැරයායුතුද ජීවිතය
කටු පොකුරු සිපගනිමි හෙට මලක් වනු පිනිස
රත්න ශ්‍රී විජේසිංහ
Wednesday, August 20, 2014
Subscribe to:
Post Comments (Atom)
ඔවු සහෝ අපි දැන් මේ මොනවද කරන්නේ, ඉස්කෝලේ යන කාලෙ කරපු වැඩ මතක් වෙනකොට ඇඬෙනවා. අවිවාදයෙන්ම ඒක ජීවිතයේ සුන්දරම අවදිය. මේ කවිපෙළ blog එකේ දාපු එක ගැන සතුටුයි. ඔබට ජය!!!!!
ReplyDeleteසහන්
ඔබට බොහෝම ස්තුතියි සහෝදරයා.
ReplyDeleteමං ගොඩාක් ආස කරන කවි පංතියක්.. :)
ReplyDeleteHithata danena kavi panthiyk. harima lassanai.
ReplyDeleteමට මතක හැටියට මේ කවි පන්තිය 11 ශ්‍රේණිය සිංහල පාඩමක්. මගේ උපන් බස දෙමල වුනත් මං සිංහල සාහිත්‍ය කෘති වලට දැඩි කැමැත්තක් දැක්වූවා. ඒ අතර මේ කවි පන්තිය මගේ ප්‍රියතම කවි පන්තියක්. දුෂ්කරයි කියා හැරයායුතුද ජීවිතය,කටු පොකුරු සිපගනිමි හෙට මලක් වනු පිනිස" යන පද පේළි දෙක නිරායාසයෙන්ම මතකේ රැඳුනා, ජිවිතේ නිතර නිතර මගේ මුවේ රැඳුනා, සිංහල පාඩමට දැඩි කැමැත්තක් දැක්වීමට අපේ සිංහල ගුරුතුමිය ශ්‍රීමති ගුරු මවගේ දක්ෂ සහ තියුණු වාග් විලාශය විශාල රුකුලක් වුනා. උපතින්ම දමිල වුනා මට සිංහල විෂය සඳහා A සාමාර්ථක් ලැබුනේ එතුමිය නිසාමයි. නමුත් මා උ. පෙළ කරණ අවධියේ එතුමිය අප අතරින් සදහටම සමුගත්තා. එතුමිය හිහියට නැගෙන හැමවිටකම හදවතේ සියුම් රිදුමක් එක්ක මට දැනුත් ඒ වැකිය කියවෙනවා
ReplyDelete"දුෂ්කරයි කියා හැරයායුතුද ජීවිතය
කටු පොකුරු සිපගනිමි හෙට මලක් වනු පිනිස"
මගේ සිංහල වැරදි නම් සමාවෙන්න
ඔබ ද්‍රවිඩ භාෂාව උපතින් ලද්දෙක් වුවත් ඔබ සතු භාෂා රසවින්දනය සහ ඔබ සිංහල භාෂාව හසුරුවන ආකාරය සැබැවින්ම පැසසිය යුත්තක්. එහි කිසිදු වරදක් මට පේන්නේ නැහැ. හදවතින්ම සතුටු වෙමි. තව තවත් දැනුම සොයා යාමට ඔබට සුභ පතමි.....!!!
Delete