Friday, May 27, 2016

"තෙමුණු පොත්පත් පිළිසකර කිරීමට පුස්තකාල සේවා මණ්ඩලයෙන් උපදෙස්...."


"රිවිර" පුවත්පතේ මැයි 27 පළවූ ලිපිය


උදා වූ ආපදා තත්ත්වය තුළ ජිවිත ආරක්ෂා කර ගැනීම පිණිස භෞතික දේපළ අත්හැරීමට සිදුවීම නිසා මේ වනවිට බොහෝ අපහසුතා අත්විඳින ජනතාව අප්‍රමාණය. ජීවිතය පිළිබඳ මූලික ලේඛනය වන උප්පැන්න සහතිකය වන උප්පැන්න සහිතකයේ සිට විභාග සහතිකය,විවාහ සහතිකය,මරණ සහතිකය, ඉඩම් ඔප්පු ආදිය බඩුමුට්ටු මෙන් කඩ සාප්පුවලට ගොස් මිලදී ගත හැකි දෑ නොවේ.


ඒ අතර පාසල් දරුවන්ගේ පොත්පත් අහිමිවීම ඔවුන් දැඩි කම්පාවට හා අපහසුතාවට පත් කරන්නක් වී තිබීම විශේෂයෙන් සැලකිල්ලට ගත යුතුය. එබැවින් මෙවන් ව්‍යවසනයකදී පොත්පත්, ලිපිද්‍රව්‍ය ආදිය සංරක්ෂණය කරගැනීමට නිශ්චිත ක්‍රමවේදයක් පවතීදැයි සොයා බැලීමට අපි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයෙන් විමසීමක් කළෙමු.


එහි අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.සුනිල් මහතා ප්‍රකාශ කර සිටියේ ගංවතුර තත්ත්වයත් සමග ඊට අදාළ ප්‍රදේශවල විශාල වශයෙන් පොත්පත් ආදියට හානි සිදුවී ඇත්ද කියා සොයා බැලීමේ වැඩපිළිවෙලක් මේවන විට ආරම්භ කොට ඇති බවයි. ගෘහාශ්‍රිතව පවත්වාගෙන යන පුස්තකාල ආදියේ පොත්පත්වලට හානි සිදුවී ඇත්නම් එම පොත්පත්වල තැවරී ඇති මඩ සහ වෙනත් අපද්‍රව්‍ය ආදිය පිරිසිදු ජලයෙන් ප්‍රවේශම්කාරී ලෙස සෝදා ගැනීම ප්‍රථමයෙන් සිදුකළ යුතුය. එම පොත්පත් ගලාගෙන යන ජලයෙන් පිරිසිදු කරගත හැකිනම් එය වඩාත් ඵලදායි වන අතර බේසම් වැනි භාජන තුළ දමා පිරිසිදු කිරීමේදී ජලයේ දියවන මඩ සහ වෙනත් අපද්‍රව්‍ය නැවත වරක් එම පොත්වල තැවරීමට ඉඩ ඇත. එබැවින් එය එතරම් සාර්ථක ක්‍රමයක් නොවේ. ජල කරාමයකට සවිකළ විසිරි මලක් වැනි උපකරණයක් භාවිතාකොට පොත් සෝදා ගැනීම උචිතය.


අනතුරුව එම පොත් වියලා ගැනීම සිදුකළ යුතුය. පොත් වියළා ගැනීමේදී සැලකියයුතු කාරණාව නම් සේදූ පොත් මද පවනේ වියළා ගැනීමට කටයුතු කිරීමයි. ඇතැමුන් හිරු එළියේ වියළා ගැනීම සිදු කරනු ලැබූවද ඊට වඩා සාර්ථක ක්‍රමයක් ලෙස මඳ පවනේ තෙත පොත් වියළා ගැනීම ගැනීම යෝග්‍ය වේ. ඒ සඳහා විදුලි පංකාවක් වැනි උපකරණයක් වුවද භාවිතා කළ හැකිය. පිටු පෙරළමින් හොඳින් වියළෙන තෙක් තබා ගැනීමට ද කටයුතු කළ යුතුය.


පොත් වියළා ගත් පසුව පොත් මත කිසියම් බරක් තබා පිඩනයට ලක් කිරීම සිදු කිරීමෙන් පොතෙහි පිටු ඒකාකාරී සිටින සේ සකසාගත හැකිය. එවිට ප්‍රසාරණය වී තිබූ පොතක් පෙර තිබූ තත්ත්වයට ගැනීමට යම් හැකියාවක් ඇත. මෙම ක්‍රියාවලිය භාවිත කළහොත් පොතක් පුස් බැඳී භාවිතයට ගත නොහැකි ආකාරයට පත්වීම යම් මට්ටමකට වලක්වා ගත හැකිය.


ඉහත ආකාරයට පොතක් වියළා ගැනීම දින තුනක පමණ කාලයක් සිදුකළ යුතුය. කාලගුණ තත්ත්වය මත පොතක් වියලා ගැනීමට නොහැකි වන්නේනම් එම පොත් වියළා ගැනීමට සුදුසු තත්ත්වයේ වටපිටාවක් නිර්මාණය වනතෙක් එම පොත් හෝ ලිපිලේඛන පොලිතීන් හෝ ඉටි උරයක දමා ශීතකරණයේ ඉහළ කොටසේ වූ අධිශීත ස්ථානයේ හෝ වෙනත් අධිශීතකරණයක තැබීමද සාර්ථක පිළියමකි. කෙසේ නමුත් දේපළ හානි සිදුවී ඇති පරිසරයක මෙවන් ක්‍රියාමාර්ග කොයිතරම් ප්‍රායෝගික වේද යන්න ගැටලුවකි.


ගංවතුරක් වැනි ආපදාවකදී පොත්පත් විනාශ වූ විට ඇතිවන ප්‍රධානතම ගැටලුව වන්නේ දිලීර ක්‍රියාකාරිත්වය හේතුවෙන් පුස් ආදිය බැඳීමයි. ඒ සඳහා කළයුතු ප්‍රතිකර්ම ඇති නමුත් ඒවා නිශ්චිත ක්‍රමවේදයකට කළ යුතුය. "ටයිමෝල්" නම් රසායනික ද්‍රව්‍ය පොත්පත්වල වූ පුස් වැනි දෑ ඉවත් කිරීමට භාවිතා කරන නමුත් ගෘහාශ්‍රිතව "ටයිමෝල්" යොදාගෙන තනිව පොත්වල වූ පුස් ඉවත් කිරීමට යාම තරමක් අනතුරු සහගතය.


පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ නිලධාරීන් මෙම ක්‍රමවේදය භාවිතයෙන් එය නිවැරදි ලෙස සිදු කරන අතර ඔබට යම් ලෙසකින් එවැනි අවශ්‍යතාවක් ඇත්නම් ඔවුන් අමතා උපදෙස් ලබාගැනීම සිදුකළ හැකිය. පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සංරක්ෂණ කටයුතු භාර නිලධාරීහු ගංවතුරින් හානියට ලක් වූ ප්‍රදේශවලට පැමිණ ඔබ වෙත අවශ්‍ය සහන සැලසීමටත්, එම දැනුම ලබා දීමටත් ඕනෑම අවස්ථාවක සූදානම්ව සිටිති.


ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සංරක්ෂණ අංශයේ ප්‍රධානී උදය කබ්රාල් මහතා සඳහන් කරන්නේ මෙවන් විශාල ආපදා තත්ත්වයකදී මහා පරිමාණයෙන් පොත්පත් සංරක්ෂණය කිරීමේදී අපට පහසුකම් ඇත්තේ ඉතා අවම මට්ටමක බවයි. වෙනත් රටවල මෙවැනි අවස්ථාවලට මුහුණදීමට හැකි ආකාරයේ පහසුකම් බොහොමයක් ඇති අතර ඒ සඳහා භාවිතා කරන "ෆ්රීසර් ඩ්රයර්" නම් උපකරණයක් තවමත් මිලදී ගැනීමට හැකියාවක් ලැබී නැත. වර්තමානයේ ඇතිවී තිබෙන තත්ත්වය මත එවන් යන්ත්‍රයක් අවශ්‍යතාව දැනෙමින් තිබෙන බව ඔහු සඳහන් කළේය.


ලේඛන සම්බන්ධයෙන් වගකියනු ලබන ප්‍රධාන ආයතන වන ජාතික ලේඛනාගාරය, ජාතික පුස්තකාලය වැනි ආයතන රටේ ස්ථාපිතව ඇති බැවින් එවැනි එක් යන්ත්‍රයක් හෝ තිබීම වැදගත් බව ඔහු අවධාරණය කර සිටියේය.


කෙසේවුවත් පවතින තත්ත්වය මත ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය සංරක්ෂණ අංශයේ නිලධාරීන් හානියට පත් පොත්පත් සහ ලිපි ලේඛන නැවත භාවිතයට ගතහැකි මට්ටමට සකසා දීම සඳහා උපකාර කිරීමට සූදානම්ව සිටින බැවින් ඔවුන්ගේ සහාය අවශ්‍ය වන්නේ නම් පහත දැක්වෙන දුරකථන අංක ඔස්සේ ඔවුන් සම්බන්ධ කරගත හැකිය. 0714452244(අධ්‍යක්ෂ ජනරාල්), 0773376838(අංශ ප්‍රධානී සංරක්ෂණ), 0113056244
ලිපිනය - ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය, නො.14, නිදහස් මාවත, කොළඹ 7

සටහන - අයේෂ් ඩිෂාන් ලියනගේ






No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators