Sunday, March 20, 2016

"ඇය" අවසානයේ සියදිවි තොරකර ගත්තාය.



ඔබ ඇතැම්විට මීට පෙර මෙය අසා තිබෙනවා වෙන්නට පුළුවන්. නමුත් නිතිපතා අසන්නට දකින්නට ලැබෙන ඇතැම් පුවත් නැවතත් ඇය පිළිබඳව මතකය ස්මරණය කිරීමට මා පොළඹවනවා. මන්ද ඇයගේ අත්දැකීම ඔබගේ අත්දැකීමක් වීම වැලකීමට ඉන් මට යම් හෝ දායකත්වයක් දැක්විය හැකියැයි මා විශ්වාස කරන බැවිනි.


ඇයට මනා රූ සපුවක් විය. 1996 වසරේ නොවැම්බර් මස 27 වන දින කැනඩාවේ Port Coquitlam උපන් අමන්දා ටොඩ් තම කුඩාවිය ගත කළේ ඉතා සැහැල්ලුවෙනි. වයසින් වැඩෙත්ම ඇය නවයොවුන් වියට එළඹුණාය. කැනඩාව වැනි බටහිර රටක නවයොවුන් දැරියක් තාක්ෂණය සමගින් ඉක්මනින් අනුගත වීම අරුමයක් නොවේ. ඉතින් ඇයත් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ නව මිතුරන් ඇසුරු කරන්නටත් නව සබඳතා ගොඩනගා ගන්නටත් පසුබට වූයේ නැත. වරද වූයේ තාක්ෂණය භාවිතා කළ යුතු අයුරු ගැන ඇයට කිසිදු ආකාරයක මග පෙන්වීමක් නොලැබීමයි. 2009 වසරේදී ඇය ඉගෙනුම ලැබුවේ පාසලේ හත වසරේය. එවිට ඇය නවයොවුන් වියට එළඹුණා පමණි. වයස දහතුනකි. ඇය නන්නාඳුනන පුද්ගලයින් සමග සමාජ ජාල හරහා chat කරන්නට හුරු විය. එහි කෙළවර වූයේ එවන් නන්නාඳුනන යමෙක් ඇයට කළ නුසුදුසු යෝජනාවකි. එම පුද්ගලයා ඇයගේ රූ සපුව වර්ණනාකොට ඇයට ඉල්ලා සිටින්නේ ඇයගේ පියයුරු පෙන්වන ආකාරයේ ජායාරූවක් එවන ලෙසයි. නන්නාඳුනන මේ මිනිසාගේ යෝජනාවේ වූ දිග පළල අවබෝදකොටගැන්මට තරම් ඇයට මේරූ බුද්ධියක් නොවීය. ඇය එම යෝජනාවට අවනත වූවාය. එය ඇයගේ ජීවිතයේ තීරණාත්මක සිදුවීම විය.




කල් ගත විය. පෙරකී පුද්ගලයා ඇයට නැවත යෝජනාවක් ගෙන ආවේය. එම යෝජනාව වූයේ සජීවී නිරුවත් පෙනී සිටීමකට ඇයට බලපෑම් කිරීමයි. යම් හෙයකින් ඇය ඊට අවනත නොවේද ඇය ඊට පෙර ඔහු වෙත යැවූ නිරුවත් ලැම සහිත සේයාරුව ඇයගේ මිතුරන් වෙත යවන බවටත් අනෙකුත් සමාජ ජාල වෙත මුදාහරින බවත් එම පුද්ගලයා තර්ජනය කළේය. එවිට ඇයට තමා කළ වැරැද්දේ බරපතලකම වැටහින. එය පොලීසියට ගොස් පැමිණිලි කිරීමට තරම් විශාල තර්ජනයක් විය. පොලීසිය පරීක්ෂණ ආරම්භ කළ අතර එය ඒ වන විටත් අන්තර්ජාලය ඔස්සේ සංසරණය වී ඇති බව පොලීසිය ඇයට දැනුම් දෙන ලදී. ඇයට තම පාසල අහිමිවිය. දෙමාපියන් සමග පදිංචියද වෙනස් කිරීමට සිදු විය. කුඩා වයසක සිටි අමන්දා හට මේ සිදුවීමේ කම්පනය තදින් දැනුනි. ඇය මානසික අවපීඩනයට පත් වුවාය. අනතුරුව ඇය මත් පැන් පානයට සහ අනෙකුත් මත්ද්‍රවුය භාවිතයට යොමු විය.




මේ අතරතුරදී පෙරකී පුද්ගලයා ඇයගේ ජායාරූපය භාවිතා කරමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් ආරම්භ කළ අතර ඒ ඔස්සේ ඇයගේ නව පාසලේ මිතුරන් සම්බන්ද කරගන්ට විය. ඇයව නැවත වතාවත් කෙලෙසීමට ලක් වූ අතර එයින් අවස්ථාව ගත් තරුණයෙකු ඇයට ඔහුගේ නිවසට ආරධනා කරන්නේ ඇයගේ ගැටලුව සම්බන්දව කතාබහ කිරිමටයි. නමුත් ඔහු එහිදී ඇයට බලපෑම් කරන්නේ ඔහු සමග ලිංගික සම්බන්දයක් ගොඩනගා ගැනීමටයි. එය එසේ සිදුවිය. එම තරුණයාගේ පෙම්වතියට මේ බව සැලවූ අතර අය තවත් පහළොවක පමණ පිරිසක් සමග පැමිණ ඉන්පසු දිනෙක ඇයට සිහි නැතිවනතුරු පහර දෙයි. පාසල් භූමියේම තැනක වැටීසිටි ඇයව සොයාගත් ඇයගේ පියා ඇයව රෝහල්ගත කළේය. සනීප වී නිවසට පැමිණි ඇය පළමු වතාවට සියදිවි තොරකරගැනීමට උත්සාහ කළාය. නමුත් එම උත්සාහය අසාර්ථක විය. අමන්දාගේ පවුලේ සාමාජිකයින් නැවතත් සිය පදිංචිය වෙනස් කරන්නට යෙදුනි. නමුත් ඇයට ඇයගේ අතීතයෙන් පලා යාමට හැකි වූයේ නැත.


නැවත නැවතත් ඇය මගහැරගත් එකම කාරණාවක් විය. එනම් සමාජජාල භාවිතාවෙන් මිදීමට ඇයට තිබූ අපහසුවයි. ඇය සිටියේ ඇබ්බැහියක බව ඉන් ඔප්පු වේ. ඇයව හොඳින් දන්නා නමුත් නමුත් ඇය නොදන්නා යමෙක් සමාජජාලයක් තුළ සිටිමින් ඇයගේ ජීවිතය පාලනය කරන බව ඇයට නොදැනුනේ මන්ද යන්න ගැටලුවකි. යම් හෙයකින් ඇය මෙම තත්වය තුළ ෆේස්බුක් තුළින් ඉවත් වී ගියානම් ඇයට යම් සහනයක් ලබාගැනීමට අවස්ථාව තිබෙන්නට තිබුණි. නමුත් එය එසේ වූයේ නැත. ඇයව මනෝ උපදේශනයට යොමුකොට තිබුණි. එම උපදේශන ලබා එළියට පැමිණියත් සමාජ ගැරහීම් වලට ඇය ලක් විය. ඇයගේ මව මෙසේ පැවසීය




" ඇය හොඳින් මනෝ උපදේශනයට යොමු වී සිටියා. ඇත්තෙන්ම ඇය හොඳ මට්ටමකට පැමිණ සිටියා. නමුත් රෝහලෙන් එළියට පැමිණියාට පසුව ඇයට සමවයසේ සිසුන්ගේ අපවාද වලට මුහුණ දීමට සිදු වුණා. ඇයගේ තත්වය නැවත පහල මට්ටමට වැටුනා. මට හිතාගන්න බැහැ ඇයි ඒ අයට හිතන්න බැරි ඒ අය වගේම දරුවෙක්ගේ මානසිකත්වය ගැන... ඔවුන්ට එහෙම උනානම මොකද වෙන්නේ? ? ඇය කඳුළු සලමින් පැවසුවා.




2012 වසරේ ඔක්තෝබර් මස 10 වන දින සවස 6ට අමන්දාගේ නිසල සිරුර ඇයගේ කාමරයේ තිබී හමු විය. ඇය සියදිවි තොරකරගෙන තිබුණාය. පහළොස් වන වියේදී පිපෙන්නටත් පෙරම ඇය මිලින වූවාය. ඇය තමා සියදිවි තොරකරගැනීමට මොහොතකට පෙර සිය වෙබ් කැම් එක හරහා සජීවී ලෙස youtube හි පටිගතකිරීමක් කොට ඇත. සටහන් ලියූ කාඩ්බෝර්ඩ් පුවරු (Flash cards) ඔස්සේ ඇය ඇයගේ කතාව ලෝකයාට මුදා හැරියාය. ඇයව වලකන්නට කිසිවෙක් ඇය අසල සිටියේ නැත. අදටත් youtube හි එම වීඩියෝපටය ප්‍රචාරය වේ.



ඇයට තිබූ විකල්පය මරණය තෝරාගැනීම නොවුනත් එය එසේම සිදු විය. පොලිස් පරීක්ෂණ ආරම්භ වී එයට සම්බන්ද පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ පිළිබඳව සටහන් කිරීම පලක් නැත. මන්ද එයින් අමන්දාට ජීවිතය නැවත ලැබෙන්නේ නැත. ඇයට සිදු වූ කැළල ඉන් මැකෙන්නේද නැත. අවසානයේ මෙයින් උගතයුතු පාඩමක් ඇත. පරික්ෂාකාරී වන්න. ඔබ ගනුදෙනු කරනේ කා සමගද කියා දෙවරක් සිතන්න. තරුණියන් හැමවිටම දුරදිග බලා සමාජජාල භාවිතා කළ යුතුය. එමෙන්ම දෙමාපියන් තම නවයොවුන් වියේ දරුවන් පිළිබඳව සුපරික්ෂාකාරී විය යුතුය. තරුණයන් සේම වැඩිහිටි වියේ සිටින පිරිමින් අනෙකුත් තරුණියන් සේම කාන්තා පාර්ශවයන් කෙරෙහි මවක, සොයුරියක, දියණියක කෙරෙහි දක්වන ගෞරවාන්විත බවකින් සැලකිය යුතුය. එසේ වුවහොත් තාක්ෂණය තව දුරටත් මරණීය මෙවලමක් නොවනු ඇත.


_අයේෂ් ලියනගේ_


               




No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators