Wednesday, October 5, 2016

බිලියනපතියෙක් වූ කොරියන් කොල්ලා - ඩෑන් කෑන්

කොරියානු සම්භවයක් සහිත ඇමරිකානු ජාතිකයෙක් වූ ඩෑන් කෑන් පාසල් ගමන අවසන් කිරීමට ආසන්න වකවානුවේ රැකියා තිහකට ආසන්න ප්‍රමාණයකට අයදුම් කළේය. ඒ අතර වූ බොහොමයක් රැකියා ව්‍යාපාර ක්ෂේත්‍රයට සම්බන්ධ වූ රැකියාවන්ය.2009 වසරේදී කැලිෆෝනියාවේ ප්‍රකට විද්‍යාලයක් වූ ක්ලැරමන්ට් මැකිනා විද්‍යාලයෙන් ඔහු සිය ප්‍රථම උපාධියද සම්පූර්ණ කලත් ඔහු අයදුම් කළ රැකියා සියල්ල ඔහුව ප්‍රතික්ශේප කොට තිබුණි. ව්‍යාපාර ක්ෂේත්‍රය හා සම්බන්ධ රැකියාවකට පා නැගීමට තැබූ පළමු පියවරම අසාර්ථක වූයේ ඒ ආකාරයටයි. කෙසේ හෝ අවසානයේ ඔහුට සුළු රැකියාවක් කිරීමට අවස්ථාවක් හිමි වූ අතර එය ව්‍යාපාර ක්ෂේත්‍රය සමග යම් සබඳතාවක් තිබූ නිසා ඔහු ඒ සමග සම්බන්ධ වීමට තීරණය කළේය. සැන් ෆ්රැන්සිස්කෝහි පිහිටා තිබූ යුසර් වොයිස් නම් වූ ව්‍යාපාර ආයතනයේ සේවාදායකයන්ගේ ප්‍රතිචාර, යෝජනා, චෝදනා ආදිය වාර්තා කිරීම ඔහුට පැවරුණ රාජකාරියයි. ඒ ඔහුගේ ප්‍රථම රැකියාවයි.

2009 වසරේ සිය ප්‍රථම රැකියාව එලෙස ඇරඹු ඔහු 2016 වසර වනවිට කෘස් ඔටෝමේෂන් නම් වූ දැවැන්ත ඇමරිකානු සමාගමේ ආරම්භකයෙක් ලෙස සහ කොටස් හිමියෙක් ලෙස කටයුතු කරයි. තවමත් අවුරුදු 29ක් තරම් ලාබාල අවධියක සිටින මෙම තරුණයා වසර හතක් තරම් කෙටි කාලයක් තුළ ව්‍යාපාර ලෝකයේ ඉහළ මට්ටමකට පැමිණියේ ඔහු තුළ තිබුණා වූ අඛණ්ඩ කැපකිරීම මතයි. ඔහුගේ කෘස් ඔටෝමේෂන් ආයතනය පසුගියදිනෙක තවත් දැවැන්ත සමාගමක් වූ ඇමරිකානු ජෙනරල් මෝටර්ස් සමාගම සමග සම්බන්ධ වූ අතර ඔවුන් එක්ව මේ වනවිට රියදුරන් නොමැතිව ස්වයංක්‍රියව ධාවනය වන වාහන නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක්ද ආරම්භකොට ඇත. ඇමරිකානු ඩොලර් බිලියනයක ගණුදෙනුවක් සිදු කරමින් මෙම සමාගම් නව ව්‍යාපෘතිය සිදු කිරීමට එකඟතාවයට පැමිණ තිබේ.


ඩෑන් කෑන්ගේ පවුල් පසුබිම තුළින්ද ඔහුට කිසියම් ව්‍යාපාරික හුරුවක් ලැබී තිබීම ඔහුගේ ගමනට කිසියම් රුකුළක් වන්නට ඇත. ඔහුගේ මව 1990 වසරේ සිට උකස් භාණ්ඩ සම්බන්ධ වූ ව්‍යාපාරයක් සිදු කළ අතර ඔහුගේ වැඩිමහල් සොයුරා වූ ජස්ටින් ඔහුට පෙර ව්‍යාපාර ලෝකය හා සම්බන්ධ වී සිටියේය. ඔහුගේ සොයුරා අන්තර්ජාලය හා සම්බන්ධ ඔන්ලයින් ව්‍යාපාරයක යෙදී සිටීම ඩෑන් හට තවත් දිරි ගැන්වීමක් වන්නට ඇත. පවුලේ අය හැමවිටම ඩෑන් දිරිගැන්වූ අතර ඔවුන් පවුලක් ලෙස හැමවිටම එකට සිටීම ඔහුගේ ඉදිරි ගමනට විශාල ශක්තියක් විය. සිය සාර්ථකත්වය පිළිබඳව වරක් මාධ්‍ය මගින් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඩෑන් මෙසේ පැවසීය " මගේ මව පියා සහෝදරයින් නොසිටින්න අද මමත් මෙතැන නැහැ. ජීවිතයේ අපහසුම අවස්ථාවන් වලදී ඔවුන් මා අසළ සිටියා. මම හිතන්නේ වැදගත්ම දේ ඒක. මොන අදහස් තිබුණත් මොන අදහස් ක්‍රියාත්මක කළත් අපට අපේ හිතෛෂීන්ගෙන් ලැබෙන උපකාර වගේම ඔවුන් සමග පවත්වාගෙන යන සම්බන්ධතාවය ඉතාම වැදගත්."

ඩෑන්ගේ සමකාලීන ව්‍යවසායකයෙක් වූ නබීල් හයට් ඩෑන් පිළිබඳව මෙසේ පවසනවා. " ඩෑන් කියන්නේ අවදානමක් ගන්න බය කෙනෙක් නෙමෙයි. ඒක සාර්ථක ව්‍යවසායකයෙක් වෙන්න අවශ්‍ය මූලික ගුණාංගයක්. බොහෝ අය බිය වන තැන් වලදී,අත ගහන්න අපහසු තැන් වලදී ඩෑන් ඒ වැඩේ තමන්ගේ අතට ගන්නවා. ඔහු සිහින දකින්නෙක් විතරක් නොවෙයි. ඔහු ඒ වෙනුවෙන් වැඩ කරන කෙනෙක්"


කෘස් ඔටෝමේෂන් නම් වූ බිලියන සමාගම යනු ඔහුගේ කුළුඳුල් ව්‍යාපාරය නොවේ. එවන් බිලියන සමාගමක් ආරම්භ කිරීමට පෙර ඔහු අසාර්ථක ව්‍යයාපාර කිහිපයකටම අතගසා සිටියේය. යුසර් වොයිස් සමාගමේ වසර දෙකක පමණ කාලයක් සේවාදායකයන් සමග සම්බන්ධ වී සිටි ඔහු 2011 වසරේදී තමන්ගේම ව්‍යාපාරයක් වූ Appetizely නම් වූ ව්‍යාපාරය ආරම්භ කරන්නේ ඇපල් අයි ෆෝන් සඳහා මොබයිල් ඇප් නිර්මාණය කිරීමටයි. අවන්හල් සහ ඒවායේ පාරිභෝගිකයන් සම්බන්ධ කරනා ආකාරයේ ව්‍යාපෘතියක් ඒ හරහා සිදු වූ නමුත් එය සිතූ තරම් සාර්ථකත්වයක් නොලැබූ නිසා මාස ගණනක් තුළ එම ව්‍යාපාරය අවසන් විය. අනතුරුව ඔහු සැන් ෆ්රැන්සිස්කෝ නගරය කේන්ද්‍රකරගත් පුද්ගල සහායක නව දුරකථන ඇප් සේවාවක් ක්‍රියාත්මක කළ අතර එය ඔහුගේ පෙර වූ ව්‍යාපෘතියට වඩා සාර්ථකත්වයට පත් විය. එයින් ඔහුට සැලකියයුතු මට්ටමක මුදලක්ද උපයාගැනීමට හැකිවිය. නමුත් එයින්ද ඔහු සෑහීමකට පත් වූයේ නැත.




එම ව්‍යාපෘතිය අතරතුරදී ඔහුට සිය වැඩිමහල් සොයුරාගේ හිතවතෙකු මාර්ගයෙන් තවත් ව්‍යාපෘතියක් සමග සම්බන්ධ වීමේ අවස්ථාව හිමිවිය. එම ව්‍යාපෘතිය වූයේ රියදුරන් නොමැතිව රථ වාහන ධාවනය කළ හැකි ආකාරයේ මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කිරීමයි. එම ව්‍යාපෘතිය ඩෑන් හට නව අත්දැකීමක් වූ අතර වසර කිහිපයක් තුළ එය සාධනීය මට්ටමකට ගෙන ඒමට ඔවුනට හැකි විය. එහි ප්‍රථිපලයක් ලෙස 2014 වසරේදී කෘස් ඔටෝමේෂන් ආයතනය බිහි විය. එම ආයතනයේ ප්‍රාරම්භකයෙක් වූ ඔහු අනතුරුව එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා බවටද පත් විය. 2016 වනවිට ඇමරිකානු ජෙනරාල් මෝටර්ස් සමාගම සිය රියදුරන් රහිත මෝටර් රථ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ඇරයුම් කරන්නේ කෘස් ඔටෝමේෂන් තාක්ෂණ ආයතනයටයි. ඒ ඩොලර් බිලියනයක ගණුදෙනුවක් සිදු කරමිනි. මෙම ව්‍යාපෘතිය ඔවුන් හඳුන්වන්නේ මෝටර්රථ ක්ෂේත්‍රයේ විප්ලවයක් ලෙසටයි. එම විප්ලවය ඇමරිකානු සිලිකන් නිම්නයට පමණක් නොව සමස්ථ ලෝකය පුරාම පැතිරී යන විප්ලවයක් වනු ඇති බවට ඔවුන් විශ්වාස කරයි. 


කෘස් ඔටෝමේෂන් ආයතනය ජෙනරල් මෝටර්ස් ආයතනය සමග එක්ව තනි ආයතනයක් ලෙස ව්‍යාපෘති ඇරඹීමෙන් පසුව මාධ්‍ය විසින් ඩෑන් කෑන්ගෙන් විමසූ ප්‍රශ්න වලට ඔහු මෙසේ පිළිතුරු ලබා දුන්නේය. 

"ඇත්තෙන්ම මම කවදාවත් හිතුවේ නැහැ මම වෙළඳ සමාගමක හිමිකරුවෙක් වෙයි කියලා. අනෙක මම කොහෙත්ම හිතුවේ නැහැ ස්වයංක්‍රිය වාහන නිෂ්පාදනය කරන සමාගමක හිමිකරුවෙක් වෙන්න පුළුවන් වෙයි කියලා. මේ හැමදේම අනපේක්ෂිතයි. මම කරපු ලොකුම දේ වුණේ ආස කරන දේ මම හරියට කළා. හැමවිටම එහි නිරත වුණා. ඉතිං අද මම මෙතන ඉන්නවා."

ආරම්භක අවධියේ ඔබේ රැකියා අයදුම්පත් ප්‍රතික්ෂේප කළ ආයතන ගැන ඔබට කියන්නේ තියෙන්නේ කුමක්ද ? යන ප්‍රශ්නයට ඔහු ලබා දුන්නේ මෙවන් පිළිතුරක්.

"ඇත්තෙන්ම ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා"

(අන්තර්ජාලය ඇසුරෙන් සකස් කළේ ) :

___අයේෂ් ලියනගේ___

                                       ඩෑන් කෑන් සිය පවුලේ   සාමාජිකයින් සමග  


No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators