Saturday, November 26, 2016

කියුබානු ගිනි සිළුව - ෆිදෙල් කැස්ත්‍රෝ

කියුබානු ගිනි සිළුව ඔහුය. සමාජවාදය ස්වදේශිකත්වය හා මුහුකොට අධිරාජ්‍ය විරෝධී විප්ලවයකට ආදර්ශ සැපයූ විප්ලවීය නායකයා ඔහුය. ඇමරිකානු සී අයි ඒ සංවිධානය හයසිය වතාවක් ඝාතනය කිරීමට තැත් කළද මරන්න බැරි මිනිසා වූයේ ඔහුය. අද ඔහු ස්වභාවික මරණය වැළඳගෙන නික්ම ගොසිනි. වසර අනූවක් ආයු වළඳා ඉන් වසර පනස් හතක් කියුබාවට දේශපාලන නායකත්වය දී ඔහු නිහඬ විය. ඇමරිකානු මොඩලයේ ලිබරල් ඇසකින් බැලුවහොත් ඔහු සම්බන්ධව විවේචනාත්මක අර්ථකතන දිය හැක. නමුත් කැස්ත්‍රෝ සම්බන්ධව ඇමරිකානු මොඩලයෙන් මැනීමම තක්කඩිකමකි. කියුබාව මධ්‍යම ඇමරිකානු දූපතක්ව වසර පනස් ගණනක් මහා අධිරාජ්‍යවාදී ජනපදයේ මකර කටේ සිටිමින් රටක් ලෙස සෘජුව සිටියේ කෙසේද යන්න වෙනම හැදෑරිය යුත්තකි. සම්බාධක මධ්‍යයේ, කුමන්ත්‍රණ මධ්‍යයේ, මරණ වරෙන්තු මධ්‍යයේ කැස්ත්‍රෝ කියුබාව වසර පනස් ගණනක් ඇදගෙන ආවේය. 


ලිබරල් මතදාරීන් ඔලොක්කුවට කියන යමක් තිබේ. එනම් කියුබානු විප්ලවයෙන් වසර පනස් ගණනක් ගෙවී ගියද කියුබාව අදටත් සිටින්නේ වසර ගණනක් පිටිපස්සෙන් බවයි. එය ඇත්තකි. අදටත් කියුබාවේ තිබෙන්නේ හද්දා පැරණි තාක්ෂණයකි. ලෝකයේ අලුත්ම තාක්ෂණය කියුබානු ජනතාවගේ නිවසට පැමිණ නැත. නිව් යෝර්ක් නුවර වීදි පුරා ඉගිලෙන නවීන පන්නයේ මෝටර් රථ කියුබාවේ වීදි පුරා ඉගිලෙන්නේ නැත. නමුත් කියුබාව යනු ධනවාදී රටක නොලැබෙන සේවාවන් ජනතාවට සපයනා සුබසාධන රාජ්‍යයකි. ලෝකයේ ඉහළම සෞඛ්‍ය පහසුකම්, ලෝකයේ ඉහළම අධ්‍යාපනය එම රාජ්‍යයේ මිනිසුන්ට නොමිලයේ හිමිවේ. නමුත් ඉන් සෑහීමකට පත්නොවන ඇතැම් කොටස් ඇමරිකා එක්සත් ජනපදයට ගොස් කියුබානු පාලන තන්ත්‍රය විවේචනය කිරීම බැටිස්ටා පාලනය පෙරළුණු දා සිටම සිදුවන්නකි. යම් හෙයකින් අසීමිත සම්බාධකයන්ගෙන් කියුබාව පීඩාවට පත් නොකළානම් අද වනවිට කියුබාව ලොව ප්‍රබලම සමාජවාදී රටක් වීම නොවැලක්විය හැක්කකි. 


විප්ලවය ඇලජික් ඇමරිකාව ප්‍රමුඛ වූ බටහිර ජාතීන් කියුබානු විප්ලවයේ සාර්ථකත්වයට වාඩුව ගත්තේ ඔවුන්ව දශක ගණනාවක් එපිටින් තබා හුදෙකලා කිරීමෙනි. එය සාර්ථක විය. වසර පනස් ගණනවක් නොකඩවා ගෙන ආ ජාතික ප්‍රතිපත්ති කැස්ත්‍රෝ තනතුරින් නික්ම යාමත් සමග වෙනස් වන්නේ එහි ප්‍රතිපලයක් ලෙසයි. කෙසේ වෙතත් ප්‍රතිපල ලැබුණේ වසර පනස් ගණනක් ගිය තැනය. ඇමරිකාව මීයක් කඩන්නේ අත ලෙව කන්න නොවේ. මැදපෙරදිග ඉරාකයට, ඇෆ්ගනිස්ථානයට වසරින් දෙකින් ප්‍රතිපල එන්නට දුන්නු බෙහෙත කියුබාවට හරි ගියේ නැත. ඒ නිසා දීර්ග කාලයක් බලා සිටින්නට ඔවුනට සිදුවිය. ෆිදෙල් ලෙඩ ඇඳට වැටීමත් මල්ලී රාවුල්ගේ නායකත්ව ආගමනයත් ඔවුන් අපේක්ෂා කළ ප්‍රතිපල ලැබෙන කාලය විය. ෆිදෙල් ලෙඩ ඇඳේ සිටිද්දීම ඔබාමා කියුබාවට සම්ප්‍රාප්ත වූවේය. එතැන්සිට කියුබාවේ විදේශ ප්‍රතිපත්තිය වෙනස් විය. දැන් කියුබාව වෙනස් වෙමින් තිබේ. අනාගතයේ විප්ලවයේ නෂ්ටාවශේෂ ඉතිරිවනු ඇත. ෆිදෙල්ද යන්නට ගියේය. ධනවාදී ලෝකය තුළ එක්තැන්ව සිටි කියුබාව දැන් ටිකෙන් ටික ඇමරිකානු මොඩලයේ ආර්ථික පසුපස ගාටනු ඇත. තවදුරටත් විප්ලවයට ජය වේවා යැයි කියුබනුවෝ කියනු ඇත්ද ? අවමගුල් අවසන්වනතුරු ඔවුන් එසේ පවසනු ඇත. අනතුරුව විප්ලවයේ මතකයට ජයවේවා යැයි ඔවුන් කියනු ඇත.

ෆිදෙල්ගේ සමකාලීන සටන් සගයා වූ චේ ගුවේරා විසින් 1965දී ෆිදෙල් හට එවූ සමුගැනීමේ ලිපියේ වූ පාඨයක මෙසේ දැක්වෙයි. එය ඔහු සතු වූ නායකත්වය කියාපානා ලිඛිත සාක්ෂියකි. තවද එය විප්ලවවාදියකු තවත් විප්ලවවාදියකුට දුන් නායකත්ව සහතිකයකි.

" මාගේ අතීතය දෙස හැරී බලන විට මට හැඟෙනවා සහ මා විශ්වාස කරනවා මා බොහෝ සෙයින් අවංකව එමෙන්ම කැපකිරීමකින් යුක්තව විප්ලවයේ ජය වෙනුවෙන් කටයුතු කළ බව. මාගේ තිබූ එකම සහ බරපතලම කඩාවැටීම ලෙස මා සලකන්නේ "සියෙරා මෙස්ත්රා" හිදී මා හට විප්ලවවාදියෙකු හෝ නායකයෙකු ලෙසට ඔබ සතු වූ නායකත්ව ලක්ෂණ පිළිබඳව ඉක්මනින් අවබෝද කරගැනීමට තිබූ නොහැකියාවයි. මා ඉතා ආනන්දනීය දවස් ගණනාවක් ගතකොට තිබෙනවා. එමෙන්ම කැරිබියානු අර්බුදය අවස්ථාවේදී ඔබගේ පසෙකින් හිඳිමින් දීප්තිමත් දිනයන් සේම දුක්බර දිනයන්ද ජනතාව සමග ගත කිරීම ගැන මා හට අභිමානයක් දැනෙනවා. කිසිදු පැකිලීමකින් තොරව ඔබව අනුගමනය කිරීම ගැන මා ආඩම්බර වනවා. ඒ වාගේම ඔබ සිතන පතන ආකාරය අවබෝද කරගැනීමත්, අනතුරු දකින අයුරුත් මූලධර්ම දකින අයුරුත් ඔබගෙන් ඉගෙනීමට ලැබීම ගැන මම සැබවින්ම ආඩම්බර වනවා.........

...... ඔබ විසින් මා හට ඉගැන්වූ නිවැරදි විශ්වාසය නැවතත් මා සටන් බිම් කරා රැගෙන යනු ඇති................ ඔබ මට කළ ඉගැන්වීම් වලටත් ලබාදුන් ආදර්ශයන්ටත් මා කෘතපූරක වනවා මෙන්ම මාගේ අවසන් කාර්යය දක්වාමත් ඔබට විශ්වාසවන්ත වීමට උත්සාහ දරනවා............."



චේ ගියේය. ෆිදෙල්ද ගියේය. ඔවුන් යනවාත් සමග ලෝක ඉතිහාසයේ එක් එක් පරිච්ජේදයන්ද අවසන් වන්නේය. නමුත් විප්ලවයේ මතක සටහන් පමණක් ඉතිරි වන්නේය.

___අයේෂ් ලියනගේ___




No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators