Monday, November 7, 2016

දඩබ්බර ටෝල්ස්ටෝයි අධ්‍යාත්ම සුව සොයා ගිය අයුරු

ඇනා කැරනිනා, යුද්ධය සහ සාමය ආදී වූ අග්‍රගන්‍ය කෘතීන් ලෝකයට දායාද කළ රුසියානු මහා ලේඛක ලියෝ ටෝල්ස්ටෝයිගේ ජීවිතය පැතිකඩවල් ගණනාවකින් යුක්ත වූවකි. ඔහුගේ Child Hood කෘතියේ දැක්වෙන ළමා වියෙහි සහ ගැටවර වියෙහි වූ අත්දැකීම් ඔහුගේ මුරණ්ඩු තරුණ අවධිය හා සසඳද්දී බොහෝ වෙනස්කම්වලින් යුක්තයි. ඔහුගේ තරුණවියේ ජීවිතය ආගමික නැඹුරුවකින් යුක්ත වූ මහළු අවධිය සමග සසඳන කළ එය ඊට හාත්පසින්ම වෙනස් වූවකි. 

මිනිසෙකුගේ ජීවිතය ඔහු ලබන අත්දැකීම් සමගත්, වියපත්වීම සමගත් බොහෝ පරිවර්තනයන්ට ලක්වන බවට ඔහුගේ ලේඛක දිවිය ලෝකයට ආදර්ශ සැපයීය. ස්වභාවයෙන් තරමක් ප්‍රචණ්ඩකාරී සහ කෝපකාරී මිනිසෙක් වූ ටෝල්ස්ටෝයි සිය ජීවිතයේ සැඳා සමය ගතකළේ පෙරදිග තාපසයෙකු ජීවත් වූ ආකාරයටයි. ඊට බලපෑ බොහෝ කරණා තිබූ අතර ඒ අතරින් ඔහු විශ්වාසකළ පරිදි ඔහුගේ වෙනසට හේතු වූ එක් කාරණාවකි නිර්මාංශ ජීවිතය. 

ලියෝ ටෝල්ස්ටෝයි නිර්මාංශ ආහාර රටාවක් සහිත දිවියකට පිවිසුණේ ඔහුගේ ජිවිතයේ අවසන් වසර 25 තුළයි. සිය පනස්වන වියේදී විලියම් ෆ්‍රේ නම් වූ ධනාත්මක චින්තකයාගේ ඇසුරට වැටුන ටෝල්ස්ටෝයි නිර්මාංශ දිවියකට හුරුපුරුදු වන්නේ ෆ්‍රේගේ මිතුරු ඇසුරත් සමගයි. 1885 වසරේදී ටෝල්ස්ටෝයිගේ පුත්‍රයා වූ සර්ජි ව්ලොවිච් සිය පියාට පෙර නිර්මාංශ දිවියට හුරුවී ඒ මග ගමන් කිරීම ටෝල්ස්ටෝයි හටත් ඒ මග යෑමට බලපෑමක් වූ බව පැවසෙයි. 

ටෝල්ස්ටෝයි සඳහන් කරන අන්දමට නිර්මාංශ දිවියකට හුරුවීමත් සමගම ඔහුගේ අභ්‍යන්තරයේ වූ ප්‍රචණ්ඩකාරී ගති ස්වභාවයන් සේම කෝපකාරී මනෝභාවයක් පහවී ගොස් ඇත. මිනිසුන් සහජීවනයෙන් යුතුව ප්‍රචණ්ඩ ගති දුරලා ජීවත් වන්නේනම් ලෝකය පවතිනවාට වඩා යහපත් වනු ඇති බවට ඔහු තදින්ම විශ්වසකොට තිබේ. එසේ වීමටනම් මිනිසුන් මස් මාංශ අනුභවයෙන් පූර්ණ වශයෙන් වැලකී සිටියයුතු බව ඔහු තදින් විශ්වාසකොට ඇත. 


සිය ජීවිතයේ අවසන් භාගයේ ටෝල්ස්ටෝයි මෙවන් විශ්වාසයක සිටි නමුත් ඔහුගේ මුල්කාලීන ජීවිතය මීට හාත්පසින්ම වෙනස් වූවක්. 1860 සහ 70 යන කාලයේ ඔහු තදින් දුම් ඉරීමට ඇබ්බැහි වී සිට ඇත. වොඩ්කා,වයින් වැනි විවිධ වර්ගයේ මත්පැන් පානයටත් මස් මාංශ ආහාරයටත්, ඊටත් එහා ගොස් සතුන් දඩයම් කිරීමටත් ඔහු හුරුවී සිටියේ සිය තරුණවියේ දඩබ්බරකම්හි තරම පෙන්වමිනි. කෙසේවෙතත් 1880 කාලයේ ෆ්රේ ගේ සුවිශේෂී හමුවීමත් සමග ඔහුගේ ජීවිතයේ වූ වෙනස අදහාගැනීමටත් නොහැකි තරම්ය. දාර්ශනිකයකු බඳු ටෝල්ස්ටෝයි අනෙකකුගේ දර්ශනයක් නිසාවෙන් වෙනස් පුද්ගලයකු වූවායැයි සිතීමත් පුදුමසහගතය.


ජීවිතයේ වෙනස ආරම්භ වූ සමයේ පටන් ඔහුගේ දෛනික චර්යාවන් වෙනස් වන්නට විය. උදෑසනම ඇහැරීමටත්,තම වාසස්ථානය අස් පරස් කිරීමටත්, දර පැලීම ටත්, නල ළිඳෙන් වතුර පොම්පකර විශාල භාජනවලට ගෙන ඒමටත් ඔහු ටිකෙන් ටික හුරු විය. සපත්තු මැසීමටත් තමන්ගේ සපත්තු ආදිය තනිව මසාගැනීමටත් ඔහු හුරුවිය. 


මත්පැන් පානය සහ දුම් ඉරීමේ පුරුද්ද සදහටම අත්හැර දැමීය. එතැන්සිට ඔහු නිර්මාංශ පැවැත්ම ප්‍රවර්ධනය කරන්නට වූවේය. ඔහු ලියූ පොත පත හරහාද නිර්මාංශ පැවැත්ම ප්‍රචාරණය කිරීමට ඔහු වගබලා ගත්තේය. කල්යත්ම ටෝල්ස්ටෝයිගේ දියණියත් නිර්මාංශික වූවාය. කෙසේවෙතත් ටෝල්ස්ටෝයිගේ බිරිඳ වූ සොෆියා අන්ද්රෙව්නා ටෝල්ස්ටෝයිගේ මේ නිර්මාංශ රටාවට මුලදී එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. නමුත් ඇයට පවුලේ උදවිය වෙනුවෙන් නිර්මාංශ ආහාර සැකසීමට සිදු වූවාය. 


ටෝල්ස්ටෝයි සිය නිවස අත්හැරගොස් ඈත පෙදෙසක වූ ඇස්ටපෝවෝ  දුම්රිය ස්ථානයේදී මියගිය පසුව සොෆියාද නිර්මාංශ දිවියකට හුරුවූ බව පැවසේ. කෙසේහෝ දඩබ්බරයකු වූ මහා ලේඛක ටෝල්ස්ටෝයි නිර්මාංශිකයකු ලෙස අධ්‍යාත්ම සුවයක් සොයා ගිය කතාව ඒ අයුරින් නිමවිය.



                        ටෝල්ස්ටෝයි සිය බිරිඳ සොෆියා සමග

No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators