Monday, February 20, 2017

ලොව ඇති භයංකාරම ස්ථාන

ලෝකයේ අරුම පුදුම ස්ථාන ඇත. ඒවා අතරින් ඇතැම් ස්ථාන හා බැඳි විවිධ කතන්දරද ඇත. ඒ අතරින් බොහෝ කතා බහට ලක්වූ ලෝකයේ භයංකාර ස්ථාන කිහිපයක් මෙම සටහනට ඇතුලත් වේ. මෙම සියලු ස්ථානයන් ඉතා ගුප්ත ස්වභාවයකින් යුතු භීතිය මතුකරනා ස්ථාන ලෙස ඇතැමුන්  සලකයි. මේවා සම්බන්ධව කියැවෙන සිත සලිතවන කතා කොතරම් දුරට සත්‍යදැයි අපි නොදනිමු. නමුත් විවිධ පුරාවෘත සහ මිත්‍යාවන් එම කතන්දරවලට මුල්වී ඇත.


ජේකොබ් ගේ විල - 
ඇමරිකාව 






ජේකොබ් ගේ විල ලෙස හැඳින්වෙන මෙය පිහිටා ඇත්තේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේය. මෙහි පළල අඩි 12කි. ගැඹුර අඩි 30කි. පතුලේ සිට සැතපුමක් දක්වා දික් වූ භූගත ඇළ මාර්ගයකට මෙම අද්භූත ජේකොබ් විල සම්බන්ධ වී ඇත. මෙහි අද්භූත බව කොතෙක්ද යත් ඉතා පළපුරුදු කිමිදුම්කරුවන් 8 දෙනකු මෙම විලේ කිමිදීමට ගොස් සිය ජීවිත අහිමි කරගෙන ඇත. ඔවුන් සියලුදෙනා මෙම විල සම්බන්ධව පර්යේෂණය කිරීමට ගිය පිරිස් බව පැවසේ. මෙහි කිමිදී මරණය අභියසට ගොස් අහම්බයකින් ජීවිත බේරාගෙන පැමිණි කිමිදිම්කරුවන්ද සිටී. ඔවුන් පවසා ඇත්තේ මෙහි කිමිදීම රැයේ දුටු භයංකර සිහිනයකට සමාන බවයි.



මරණයේ බිම -
කාම්බෝජය


කාම්බෝජයේ පිහිටා ඇති මෙය 'මරණයේ බිම්කඩ' ලෙස  හැඳින්වේ. කාම්බෝජයේ සිටි ඒකාධිපතියා වූ  පොල්පොට්  සිවිල් යුද සමයේ කමරුජ් ගරිල්ලන් ලවා මිනිසුන් මිලියන දෙකක් ඝාතනය කිරීමට කටයුතු කළේය.  දරුවන් ගැහැණුන් මහල්ලන් ලක්ෂ ගණනින් මේ බිමෙහි වැළලී ඇත. මෙහි අදත් මරා දැමූ මිනිසුන්ගේ ඇටකටු හා හිස්කබල් හමුවේ. පාළු රාත්‍රීන්වල මෙම බිම්කඩෙහි මර ලතෝනි ඇසෙන බවටද අසන්නට ලැබේ. දහස් ගණනක් මරා දැමූ බිමක එවැනි දෑ සිදුවෙනවාය යන්න පුදුමයක්ද නොවේ. කාම්බෝජයේ සිදුවූ ඝාතන දෙවන ලෝක යුද සමයේ හිට්ලර් සිදුකළ ඝාතනවලට දෙවැනි නැතැයිද කියැවේ.



පොවෙග්ලියා දූපත - 
ඉතාලිය



ඉතාලියේ පිහිටා ඇති පොවෙග්ලියා දූපත මානසික අබාධ සහිත පුද්ගලයින් රඳවා තැබූ සහ ඔවුන් ආශ්‍රයෙන් පර්යේෂණ සිදුකළ ස්ථානයකි. මෙය භයංකර ස්ථානයක් ලෙස සලකනුයේ එම පර්යේෂණ සිදුකළ කණ්ඩායමේ ප්‍රධානියා වූ වෛද්‍යවරයාද දරුණු මානසික රෝගයකින් පෙළුණු පුද්ගලයකු වීම නිසයි. ඔහු නිරෝගී පුද්ගලයින් පවා ඔහුගේ පර්යේෂණවලට යොදාගෙන ඇති බව පැවසේ. බොහෝ දෙනෙක්ට මෙම පිස්සු දොස්තරගේ පර්යේෂණ හේතුවෙන් ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුව ඇත. මෙම පර්යේෂණ කාලයක් තිස්සේ ලෝකයෙන් සැඟව තිබී ඇත. කෙසේ හෝ 1968 වසරේදී මෙම දූපත අත්හැර දැමූ දුපතක් ලෙස පාලුවට යන්නට දී ඇත. අදටත් සංචාරකයින් පවා පොවෙග්ලියා දුපතට සංචාරය කිරීමට විශාල මැළිකමක් දක්වන බව පැවසේ. 



උමං සොහොන - 
ප්‍රංශය 




පැරිසියේ පිහිටි උමං සොහොන 13 වැනි සියවසේ සිට පැවත එන්නකි. මේවා හුණු ගල්, හිරිගල් ආදියෙන් නිර්මාණය වූ ස්වභාවික උමං ලෙස සැලකේ. මුල්වකවානුවේ මෙම උමං තුළ මෘත දේහ තැන්පත් කිරීමක් සිදුවූයේ නැත. පැරිස් නුවර පිහිටි සොහොන් බිම්වල ඉඩකඩ සීමාසහිත වූ කලෙක ඊට විකල්ප ලෙස මෙම උමං පද්ධතිය තුළ මළ සිරුරු තැන්පත් කරන්නට කටයුතු යොදා ඇත. නිසි පරිදි අඩුක්කොට මිනී තැන්පත්කොට ඇති මෙම උමග දුටුවන් ත්‍රාසයට පත්කරන දර්ශනයකින් යුතුය. 




මරණයේ වනාන්තරය - 
ජපානය 




අඕකිගහරා වනය පිළිබඳ සවිස්තර වාර්තාවක් මීට පෙරද  කවුළුව ලිපියක පළ විය. මෙය දිවිනසාගන්නන්ගේ වනය ලෙස හැඳින්වේ. 1950 වසරේ සිට 500කට වැඩි පිරිසක් මෙම වනයේදී සිය දිවි අහිමිකොටගෙන ඇත. ඉන් හරි අඩක් දිවිනසාගෙන ඇත්තේ 2010 වසරෙන් පසුව වීම විශේෂත්වයකි. ණය බරින් පීඩිත වූ බොහෝ පිරිසක් මෙම වනයට පැමිණ දිවිනසාගෙන ඇති බව ඒ ගැන කළ සමීක්ෂණ වාර්තාවන්ගෙන් හෙළි වේ. ජපන් රජය සෑම වසරකම මෙම වනය අලුත් කරන්නට පියවර ගනී. නමුත් මෙහි දිවි නසාගැනීම් නැවත්වීමට ඔවුන් පියවරගෙන නැත. ලෝකයේ ඇති භයංකාරම ස්ථාන අතර මෙම වනාන්තරය ඉදිරියෙන්ම ඇත. 





අද්භූත බෝනික්කන්ගේ දිවයින - 
මෙක්සිකෝව 


බෝනික්කන්ගෙන් පිරී ඇති මේ දිවයින පිහිටා ඇත්තේ මෙක්සිකෝවේය. මෙම දිවයින සොයාගත්තේ කුඩා දැරියක් බව පැවසේ. ඇයගේ ආත්මය මෙම දිවයිනේ සැරිසරන බවටද මතයක් ඇත.මෙක්සිකානු වැසියන් සිය නිවෙස්වල ඇති කැඩුණු බිඳුණු බෝනික්කන් මෙම දිවයිනට
ගෙන
ගොස් දමයි. 

එසේ ගෙනැත් දැමූ බෝනික්කන්ගෙන් මෙම දිවයින පිරී පවතී. කාලෙකට පෙර මෙම දිවයින සංචාරකයින් සඳහා විවෘත නොවුනත් අදවනවිට සංචාරක ආකර්ෂණය දිනාගැනීමට බෝනික්කන්ගේ දිවයින සමත්ව ඇත. බෝනික්කන් පිළිබඳ විවිධ අද්භූත කතා මැවී තිබෙන අතර මෙම දිවයින සම්බන්ධවද එවැනි කතන්දර බොහොමයක් නිර්මාණය වී ඇත. රාත්‍රී කාලයේ මෙම දිවයිනේ සිටින බෝනික්කන්ට පණ එන බව එවැනි කටකතාවකි. 

No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators