Tuesday, March 28, 2017

අසරණයන්ට පිහිට වූ පාතාල නායකයා

ඇල් කැපෝන් නම් වූ ඔහු මුළු ඇමෙරිකාවම හොල්ලපු පාතාල නායකයෙක්. මාෆියා කල්ලි රජකම් කළ ඇමෙරිකාවේ චිකාගෝවේ ගෝඩ් ෆාදර් වුණේ ඇල් කැපෝන්. කැසිනෝ සහ වෙනත් කළු සල්ලි ව්‍යාපාර ඔහුට තිබුණා. දේශපාලන බලය, නීතියේ බලය හැම දේම ඔහුට සල්ලිවලට මිලදී ගන්න ඕන තරම් හැකියාව තිබුණා. මුළු චිකාගොවේම කිසිම හයි කාරයෙක් ඇල් කැපෝන්ට උඩින් යන්න හැදුවේ නෑ. ඒ ඔහුට තිබුණ බලය නිසා. හැබැයි ඇල් කැපොන් කියන්නේ ප්‍රතිපත්තිගරුක මිනිහෙක්. කොයි තරම් දරුණු පාතාල නායකයෙක් වුණත් සමහර තැන්වල උණුවෙන හිතක් ඔහුට තිබුණා. ඇමෙරිකාවට බලපෑ දරුණු ආර්ථික අර්බූදය අවස්ථාවේදී ඔහුගේ මේ මානුෂීය ගුණය මතු වුණා. ඒ ආර්ථික අර්බූදය හැඳින්වුණේ "ග්‍රේට් ඩිප්රෙෂන්" (Great Depression) නමින්. 1930 දශකයේ ආරම්භ වුණු මේ ආර්ථික අහේනිය නිසා ඇමෙරිකාවේ දහස් ගණනක් මිනිස්සු සාගතයෙන් පෙලුණා. සාමන්‍ය පංතියේ කුඩා දරුවන් කුසගින්න නිසා මියගියා. ඇමෙරිකන් රජයටවත් මේ ගැටලුවට පිළියමක් දෙන්න බැරි වුණා. 



කුසගින්නේ මියයන මිනිස්සු දැකපු ඇල් කැපෝන්ට මෙය දරාගන්න බැරි වුණා. තමන්ට තියෙන ධනය වියදම් කරලා මිනිස්සුන්ට කන්න දෙන්න පුළුවන් විදිහක් ඔහු සොයන්න ගත්තා. රස්සා නැති වුණු, වීදිවල ජීවත්වන අසරණයන්ටම වෙන්වුණු කුස්සියක් හදන්න අවසානයේ ඔහු තීරණය කළා. ඒ කුස්සියට නම ලැබුණේ Al Capone's soup kitchen කියාලා. ඇල් කැපෝන්ගේ සුප්හලෙන් ලැබුණේ සුප් විතරක් නෙමෙයි. කෑම ජාතිත් මිනිස්සුන්ට ලැබුණා. 1931 වසරේ චිකාගෝවේ ආරම්භ කළ මේ නොමිලේ ලබා දෙන ආහාර වේල එතැන් පටන් බොහෝ කාලයක් යනතෙක් නොකඩවා ලබා දෙන්න ඔහු කටයුතු කළා. දහස් ගණනක් මිනිස්සු මේ නොමිලේ ලබාදෙන ආහාර වේලෙන් තමන්ගේ කුස් පුරවා ගත්තා. මිනිස්සු අතර ඇල් කැපෝන්ව හඳුන්වන්න ගත්තේ රොබින් හුඩ් විදිහටයි. රජයටවත් කරන්න බැරි වුණු විදිහේ සේවයක් ඔහු මිනිස්සු වෙනුවෙන් කළා. එදා වේල හොයාගන්න බැරිව ඉඳපු අසරණ මිනිස්සු දහස් ගණනකට මේක මහා මෙරක් තරම් දෙයක් වුණා. 


දිනක් චිකාගෝ ට්‍රිබියුන් පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වුණේ ඇල් කැපෝන්ගේ අවන්හල ගැන. එහි මෙහෙම සඳහන් වුණා. " කැපෝන්ගේ අවන්හල 120000 කගේ බඩගින්න නිවයි". ඔහුගේ අවන්හල ඉදිරිපිට දිනපතා තුන් වේලටම දහස් ගණනක් පෝලිම් වී සිටිනු දැකගත හැකි වුණා. පුවත්පත්වලින් කැපෝන්ගේ මේ සත්ක්‍රියාව ගැන මහා ඉහළින් වර්ණනා කළා. ඔවුන් පැවසුවේ ඇමෙරිකානු රජයටවත් කරගන්න බැරිවූ අහාර සැලැස්මක් ඇල් කැපෝන් සිදුකරමින් සිටින බවයි. මේ ක්‍රියාවත් සමගම ඔහුට විශාල ජනප්‍රියත්වයක් ලැබෙන්න ගත්තා. ඇතැම් විරුද්ධවාදීන් කිවේ මෙය කැපෝන් තමන්ගේ කළු සල්ලි සුදු කරන්න ගත්ත උත්සාහයක් කියලයි. කවුරු කෙසේ කීවත් මිනිස්සු හිටියේ කැපෝන්ගේ පැත්තේ. විවේචන කළ කාටවත් ඔහු කළ සේවය කරන්න බැරි වුණා. 


හැම හොඳ මිනිහෙක්ගේම ළග නරකක් තිබෙනවා වගේම හැම නරක මිනිහෙක් ළඟත් හොඳ ටිකක් හෝ තිබෙනවා කියා කැපෝන් ඔප්පු කර පෙන්වූවා. සීත කාලයේ මිනිස්සුන්ට දෙන කෑම වේල වැඩිකරන්න ඔහු කටයුතු කළා. මිනිස්සුන්ට පෙනුනේ කැපෝන් දෙවියෙක් වගේ. ඔහු මිනිස්සුන්ට රස්සා දුන්නා. වීදිවලට ඇවිත් මිනිස්සු එක්ක කතා කළා. ඔවුන්ව වැළඳ ගත්තා. පාතාල නායකයෙක් වුණත් ඔහු තුළ ඉඳපු සංවේදී මනුෂ්‍යයෙක් එළියට ආවා. 1950 වසර වෙනතෙක් මේ අවන්හල චිකාගෝවේ තිබුණා. කැපෝන් මියගියේ 1947 වසරේදී. හැබැයි ඒ අනිත් පාතාල නායකයෝ වගේ කාගේ හරි වෙඩි පාරකින් නෙමෙයි. ස්වභාවික ලෙස අසනීප වී තමයි ඔහු මිය ගියේ. සමහරවිට ඒ ඔහු මිනිස්සු වෙනුවෙන් සැබෑ හැඟීමකින් කටයුතු කළ නිසා වෙන්න ඇති. කැපෝගේ ජීවිතය සම්බන්ධ කරගෙන පස්සේ කාලෙක බොහෝ නිර්මාණ පවා බිහි වුණා. සුප්‍රකට ගෝඩ් ෆාදර් චිත්‍රපටයේ මාලන් බ්‍රැන්ඩෝ රඟන දොන් කොරලියොන්ගේ චරිතයටත් ඇල් කැපෝන්ගේ ජීවිතයෙන් ආදර්ශ ගත් බව පැවසෙනවා. 


___අයේෂ් ලියනගේ___



                                                            ඇල් කැපෝන්ගේ අවන්හල 


No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators