Wednesday, September 27, 2017

නින්ජාවරු ගැන කතාවක්

නින්ජාවරුන් පිළිබඳ සංකල්පය ලෝකයේ අතිශය ජනප්‍රිය සංකල්පයකි. හොලිවුඩ් සිනමාවේ නින්ජා සංකල්පය සුලබය. නමුත් ජපානයේ උපත ලැබූ මුල් නින්ජා කලාව හොලිවුඩ් නින්ජාවරුන් තරම් ප්‍රකට නැත. ආරම්භයේ සිටම නින්ජා කලාව රහස් සහ ගුප්ත කලාවක් විය. ජපානයේ මෙය " ෂිනොබි" යන නාමයෙන්ද හඳුන්වනු ලැබේ. පහළොස්වැනි සියවසේ ජපානයේ "සෙන්ගොකු" පාලන සමයේ " සමුරායිවරුන්ගෙන් " කැඩුණු එක්තරා කණ්ඩායමක් මෙම නින්ජා කලාව නිර්මාණය කළ බව ඉතිහාසයේ සඳහන්ය. ඔවුන්ටම අවේනික වූ සටන් ශෛලීන් අනුගමනය කළ නින්ජාවරුන් දරුණු ගණයේ නාඳුනන කුලී ඝාතකයන් සහ රණකාමීන් ලෙස සිය සේවය සපයා ඇත. එදා සිටි ලෙසටම නින්ජාවරුන් වර්තමානයේත් සක්‍රීයද ?



නින්ජාවරුන් අතීතයේ පටන්ම සිය අනන්‍යතාවය සඟවාගෙන සිටි නිසා වර්තමානයේ පවා ඔවුන් විවෘතව සමාජගත වීමට ඇති ඉඩකඩ අඩුය. තවමත් සමුරායි සටන් කලාවේ නියමයන් ආරක්ෂා කරන සටන්කරුවන් ජපානයේ සේම ලෝකය පුරා සිටින බැවින් සටන් කලාව පිළිබඳව පර්යේෂණ කරන්නන් පවසන්නේ නින්ජාවරුන් වර්තමානයේ නිසැකවම ජීවත් වන බවයි. ඔවුන්ගේ තර්කය වන්නේ සමුරායිවරුන් පරම්පරාගතව පැවත එන්නේනම් සමුරායිවරුන් ඔවුන්ගෙන් බිඳීගිය නින්ජාවරුන් ලෝකයෙන් වඳවී තිබෙන්නට කිසිම ඉඩක් නැති බවයි. "නින්ජුට්සු" නම් සටන් කලාව නූතනයේ ප්‍රකට සටන් කලාවකි. නින්ජුට්සු නිර්මාණය වූයේ නින්ජාවරුන්ට අවේනික අත්මාරක්ෂක සටන් කලාවක් ලෙසයි. සටන් කලාවක් ලෙස නින්ජුට්සු පැවත අවේනම් පරිපූර්ණ නින්ජාවරුන් ලෝකයේ සිටින බවට එය හොඳ සාක්ෂියක් බව පර්යේෂකයෝ පවසති. 



නින්ජා වත්පිළිවෙත් පිළිබඳව දාහත්වැනි ශතවර්ෂයේ ලියැවුණු "ශොනින්කි " නම් ලේඛනය 2011 වසරේදී " ට්රු පාත් ඔෆ් ද නින්ජා" නමින් කෘතියක් ලෙසින් එළි දැක්වුණු අතර එහි නින්ජා රහස් පිළිබඳව දීර්ඝ විස්තර ඇත. ඇන්තනි කමින්ස් නම් ලේඛකයා සහ ජපන් ජාතික යොෂි මිනාමි එක්ව දීර්ඝ පර්යේෂණයකට පසු සම්පාදනය කළ එම කෘතියේ නින්ජාවරුන්ගේ වත්මන් ක්‍රියාකාරිත්වය පිළිබඳවත් සියුම් ඉඟි සපයා ඇත. ජපානය තුළ ක්‍රියාත්මක වන "යකුසා" නම් වූ අන්තර්ජාතික අපරාධ කල්ලිය නින්ජාවරුන් සිය කුලී ඝාතකයන් ලෙස යොදා ගත් බවට සැක මතු වන තැන් කිහිපයක්ද ඉතිහාසයෙන් හමුවේ. ඇතැම් මිනීමැරුම් සාක්ෂි නැති ඝාතන ලෙස තිබීමත්, කපා දැමූ ශරීරවල තිබූ කඩු පහරවල්වල විශේෂතා අනුව ඒවා නින්ජා ප්‍රහාරයන්ට සමාන බවත් අපරාධ පරීක්ෂකයින් සොයාගෙන තිබුණි. ඝාතන චෝදනා යකුසා වෙත එල්ල වුවද එයට යොදවාගත් කුලී ඝාතකයින් ගැන අනාවරණය කරගත නොහැකි විය. 1990 දශකයේ ජපානයෙන් මෙවන් සිදුවීම් ගණනාවක් වාර්තා වී තිබුණි. 



නින්ජා සටන් කලාවේ ප්‍රවීණයන් අදත් සිටීද? එම ප්‍රශ්නයට පිළිතුර සිටීය යන්නය. නින්ජා සටන් කලාවේ ජීවමාන ගුරුවරයෙක් වන්නේ "ආචාර්ය මසාකි හට්සුමි"ය. ඔහු ජපන් ජාතිකයෙකි. ජපානයේ චීබා ප්‍රදේශයේ නින්ජා සටන් පාසලක්ද පවත්වාගෙන යන හට්සුමි "මෙජි විශ්ව විද්‍යාලයේ" ආචාර්යවරයෙකි. "බුජින්කාන්" නම් වූ අන්තර්ජාතික සටන් සංවිධානයේ ආරම්භකයා වන්නේද ඔහුය. ඔහුගේ නින්ජුට්සු සටන් ඉගැන්වීම් ලෝකයේ ප්‍රකටය. යූ ටියුබ් අඩවියේ ඔහුගේ සටන් රැගත් දර්ශන බොහොමයක් ප්‍රචාරය වන අතර ඒවාට ලෝක මට්ටමේ ඉහළ ප්‍රතිචාර ඇත. ඊට අමතරව "ජිනිචි කවකාමි" ද දැනට සිටින නින්ජුට්සු ප්‍රවීණයෙකි. මෑත ඉතිහාසයේ ජපානයේ සිටි අංග සම්පූර්ණ නින්ජාවරයෙක් ලෙස ප්‍රකට වුයේ "සෙයිකෝ ෆුජිටා" ය. ඔහු මේ වනවිට මියගොස් සිටියද ප්‍රසිද්ධ සමාජයේ සිටි අවසන් නින්ජාවරයා ලෙස ජපන් ජාතිකයන් සලකන්නේ ඔහුවය.


ඉහත සඳහන් කළ සියල්ලෝම ජනප්‍රිය සංස්කෘතියේ සිටින නින්ජා සටන් කරුවන්ය. නමුත් සැබෑ නින්ජාවරුන් සිය අනන්‍යතාවය කිසි ලෙසකවත් හෙළි කරන්නේ නැත. යම් සටනකට ගියහොත් ඔවුන් සාක්ෂියක් තබන්නේද නැත. ඔවුහු සිය සටන් රහස් මරණය තෙක්ම රහස් ලෙසම තබාගනිති . ඉහළ හික්මීමත්, ඉවසීමත් ප්‍රගුණ කරන ඔවුහු අදෘශ්‍යමානය. නින්ජාවරයෙක්ගේ සටන් ප්‍රගුණ කිරීමේ අවසන් අධියරේදී ඔහුට අනෙකට නොපෙනෙන ලෙස චලනයන් කළ හැකි බව පැවැසේ. මෙතරම් සූක්ෂම සටන් කලාවක අවසන් පුරුක් අප්‍රසිද්ධ සමාජයේ නොසිටීයැයි කාට කිව හැකිද?


___අයේෂ් ලියනගේ___

( ජනයුගය පුවත්පතේ - වැලිකතර අතිරේකයේ පළවූ ලිපියකි )




                                                                                                   සෙයිකෝ ෆුජිටා 

                                                                                                          මසාකි හට්සුමි 







No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators