Tuesday, September 12, 2017

"බොබ් මාර්ලේගේ" කෝපි රහ බලන්න එන්න

බොබ් මාර්ලේ කියූ විට ඔහුගේ නම නොදන්නා සංගීත රසිකයෙක් නැති තරම්. 60, 70 සහ 80 යන දශකවල ලෝකයේ රෙගේ උන්මාදයක් ඇති කරපු මාර්ලේගේ නමට කෝපි එක්ක ලොකු සම්බන්ධයක් තිබෙන බව ඇසුවොත් ඔබ අනිවාර්යෙන්ම පුදුම වේවි. නමුත් ඒක ඇත්තක්. "මාර්ලේ කොෆී" නමින් අලුත්ම කෝපි සන්නාමයක් අද වෙනකොට ලෝකයේ ජනප්‍රිය වෙමින් තියෙනවා. මේ "මාර්ලේ කෝපි" පිටිපස්සේ ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි බොබ් මාර්ලේගේම පුතා. ඒ පුතාගේ නම තමයි " රොහාන් ඇන්තනී මාර්ලේ". 


මෙයා තමයි බොබ් මාර්ලේගේ හයවෙනි ළමයා. සංගීතය පැත්තට තාත්තා වගේ දක්ෂයෙක් නොවුනත් රොහාන්ට හොඳ ව්‍යාපාරික දැනුමක් තියෙනවා. කාලයක් ඇමරිකන් ෆුට් බෝල් ක්‍රීඩකයෙක් විදිහටත් ඉඳපු රොහාන් සංගීත අංශයේ වැඩ උනත් එහෙන් මෙහෙන් කළා. ඒත් ඒවත් හිතූ තරම් සාර්ථක වුණේ නැති නිසා රොහාන් තීරණය කළා ව්‍යපාර පැත්තට අත ගහන්න. කොහොම හරි පටන් ගන්න ව්‍යාපාරය පවත්වාගෙන යන්න නම් හොඳ නමක් හදාගන්න ඕන. හොඳ නමක් හදාගන්න එක ලේසි නෑ. ඔහොම කාලය ගෙවෙද්දී තමයි රොහාන්ට මතක් වෙන්නේ හොඳම නම තියෙන්නේ තමන් ළඟ කියලා. ඒ තමයි "මාර්ලේ"කියන නම. ලෝකෙම දන්න තමන්ගේ වාසගම අරගෙන රොහාන් පටන් ගත්තා කෝපි බිස්නස් එක. 


2009 අවුරුද්දේදී රොහාන් පටන් ගත්තා "මාර්ලේ කෝපි" සමගම. හොඳම වර්ගයේ කෝපි කාබනික පොහොර යොදාගෙන ජැමයිකාවේ "බ්ලූ මවුන්ටන්" කඳුකර පළාතේ වගා කරන්නත් රොහාන්ට පුළුවන් වුණා. 2011 අවුරුද්දේදී ජැමෙයිකාවේ පොර්ට්ලන්ඩ් පැරිෂ් කියන පළාතේ අක්කර පනස් දෙකක් අරගෙන කෝපි වගා කරන්න රොහාන් උත්සාහයක් ගත්තා. ඒ උත්සාහය සාර්ථක වුණා. හිතුවේ නැති තරම් මාර්ලේ කෝපි ජනප්‍රිය වෙන්න ගත්තා. ජැමෙයිකාවේ විතරක් නෙමෙයි ලෝකේ අනෙක් රටවලටත් කෝපි යවන්න තරම් රොහාන්ගේ "මාර්ලේ කෝපි"වලට ඉල්ලුමක් හැදුණා. 



අද වෙද්දී අවුරුද්දකට ඩොලර් මිලියන දහයක අදායමක් ලබන්න තරම් මාර්ලේ කෝපි ජනප්‍රියයි. අදටත් ලෝකේ පුරා මාර්ලේ කෝපි ජනප්‍රිය කරන්න රොහාන් ලොකු උත්සාහයක් ගන්නවා. ඒකට ඔහු යොදාගෙන තියෙනවා තාත්තගෙම ජනප්‍රිය සින්දුවක්. සින්දුවේ නම තමයි " වන් කප් ඔෆ් කොෆී". මේ සින්දුව මාර්ලේ කෝපි ප්‍රවර්ධනය කරන්න රොහාන් යොදාගත්තා. ඒ වැඩෙත් ජනප්‍රිය වුණා. කොහොමහරි අද වෙද්දී මාර්ලේ කෝපි පවුලේ ව්‍යාපාරයක් බවට පත් වෙලා. පවුලේ අනෙක් සහෝදර සහෝදරියන්ගෙනුත් මාර්ලේ කෝපිවලට සහයෝගය ලැබෙනවා. අද වෙද්දී ලෝකයේ ඉඳපු අංක එකේ කෝපි සමාගම් විධායක නිලධාරියෙක් වුණු බ්‍රෙන්ට් ටෝව්ස්ව තමන්ගේ සමාගමට බඳවාගන්නත් රොහාන් කටයුතු කරලා. දැන් වෙද්දී කෝපි පාන වර්ග වන ඇමරිකානෝ, ලතේ,කැපචිනෝ,එස්ප්‍රේසෝ වගේ විවිධ ජාතියේ වර්ගය මාර්ලේ කෝපි නමින් වෙළඳපොළට එනවා. ඉතිං අපි ඉමු. මාර්ලේගේ සංගීතය වගේම මාර්ලේගේ කෝපි ව්‍යාපාරයත් කොහොමද ලෝකේ අල්ලන්නේ කියලා. 


___අයේෂ් ලියනගේ ___




                                                               රොහාන් මාර්ලේ 





No comments:

Post a Comment

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators