Tuesday, November 14, 2017

අරුම පුදුම චීන පුස්තකාලය මෙන්න

චීනය කියන්නේ හරි අමුතු විදිහේ අලුත් දේවල් ලෝකයට හඳුන්වා දෙන ජාතියක් කිවුවොත් වැරදි නෑ. අනෙක් කිසිම රටක් නොකරන විදිහේ දේවල් කරලා ලෝක අවධානය ලබාගන්න චීන්නු හරි දක්ෂයි. මේකත් ඒ වගේ වැඩක්. මේකනම් බොහොම වැදගත් වෙන්නේ පොත පත කියවන අයට තමයි. මොකද මේක පුස්තකාලයක්. මේ පුස්තකාලේ තියෙන විශේෂතාව වෙන්නේ මෙය ඉදිකරලා තියෙන වෙනස්ම ගෘහ නිර්මාණ ක්‍රමවේදයකට. බැලූ බැල්මට එය හොඳින්ම පෙනෙනවා. මේ සම්පූර්ණ ගොඩනැගිල්ල ගෝලාකාර ස්වරූපයක් ගන්නවා. මහා දැවැන්ත ඉඩ කඩක තනිකර බෝලයක් වගේ නිර්මාණය කරපු මේ නිර්මාණය ඔවුන් 2008 වසරේ නිර්මාණය කරපු බර්ඩ් නෙස්ට් ඔලිම්පික් ක්‍රීඩාංගනය සිහිගන්වන බවකුත්  ඇතැමුන් කියනවා.

මේ මහා පුස්තකාලය පිහිටලා තියෙන්නේ චීනයේ සංස්කෘතික දිස්ත්‍රික්කය විදිහට හඳුන්වන ටියැන්ජින් කියන ප්‍රදේශයේ. ටියැන්ජින් නගර සංවර්ධන සහ සැලසුම් ආයතනය ලන්දේසි ගෘහ නිර්මාණ ආයතනයක් එක්ක එකතු වෙලා තමයි මේ දැවැන්ත පුස්තකාලය නිර්මාණය කළේ. මෙහි පොත් මිලියන 1.2ක් ගබඩා කළ හැකි බව පැවසෙනවා. මෙහි ඕනෑම ආකාරයකට පොතක් රසවිඳින්න පුළුවන් විදිහේ පරිසරයක් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. කෙනෙකුට ඕනෑනම් හිඳගෙන කියවන්න පුළුවන්. තවත් කෙනකුට ඕනෑනම් සුවපහසු සෝපාවක හාන්සි වී පොත් කියවන්න පුළුවන්. ඒ ඒ කලාප වෙන් වෙන්ව නිර්මාණය කරලා තියෙනවා. අලුත් තාක්ෂණය භාවිතා කරන අයට ඊ බුක් කියවන්න වෙනම පරිශ්‍රයක්, භෝජනාගාර, කෝපි අවන්හල් මේ හැමදෙයක්ම එකම තැනකින් විඳගන්න මේ පුස්තකාලයෙන් පාඨකයන්ට අවස්ථාව ලැබිලා. මේ නිසාම දැන් ලෝකයේම ඉන්න පොත් කියවන පාඨක පිරිස් බොහොමයක්  මේ පුස්තකාලය ගැන අවධානයෙන් ඉන්න බවකුත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

___අයේෂ් ලියනගේ___






No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators