Sunday, November 19, 2017

සර් ආතර් කොනන් ඩොයිල් ගැන නොදන්න කතා

සර් ආතර් කොනන් ඩොයිල් කියූ සැනින් ෂර්ලොක් හෝම්ස්ගේ නමත්, ෂර්ලොක් හෝම්ස් කියූ සැනින් කොනන් ඩොයිල් යන නමත් ඕනෑම සාහිත්‍ය රසිකයෙක්ගේ මතකයට නිතැතින්ම සිහි වන්නකි. ඉතා උසස් සාහිත්‍ය කියවන වියතෙක් වුවත් සිය සාහිත්‍ය පරිශීලනයේ මුල් වකවානුවේදී ආතර් කොනන් ඩොයිල් ලියූ රහස් පරීක්ෂක කතා කියවා ඇතුවාට සැක නැත. මේ කියන්නට යන්නේ සර් ආතර් කොනන් ඩොයිල් නම් වූ ලේඛකයා පිළිබඳව එතරම් ප්‍රකට නොවූ කාරණා කිහිපයක් පිළිබඳවයි. 


ලේඛනයේදී ඔහු ආතර් කොනන් ඩොයිල් ලෙස සිය නම භාවිතා කළද ඔහුගේ සැබෑ නම වූයේ ආතර් ඉග්නාසියස් කොනන් ඩොයිල් යන්නය. උසස් පාසලෙන් ආධ්‍යාපනය හමාර කළ ඔහු ලේඛනයට පිවිසි පසු ඉග්නාසියස් යන නම ඉවත් කොට ආතර් කොනන් ඩොයිල් යන නම භාවිතකොට ඇත. ඔහු ක්‍රීඩාවට බොහෝ ඇලුම් කළ අයෙක් වූ අතර ක්‍රිකට් සහ පා පන්දු ක්‍රීඩාවන් ඔහුගේ ප්‍රියතම ක්‍රීඩාවන් විය. නමුත් හිම කඳු මත ලිස්සා යන ස්කයින් ක්‍රීඩාවටද ඔහු ඇබ්බැහි වී සිටියේය යන්න එතරම් ප්‍රකට කරුණක් නොවීය. ඔහුට එම ක්‍රීඩාවේ යෙදීමට ස්විට්සර්ලන්තයට පැමිණීමට සිදුවූ අතර මෙම ක්‍රීඩාව පිළිබඳව සවිස්තර වාර්තවක් ලියූ පළමු බ්‍රිතාන්‍ය ජාතිකයා වන්නේද ඔහුය. 1893 දී ඔහු ස්විට්සර්ලන්තයට ගොස් හිම කඳු මතින් ලිස්සා යන ක්‍රීඩාව පුහුණු වූ අතර ඒ වෙනුවෙන් විශාල කැප කිරීමක් කළ බවද පැවැසේ. 


කොනන් ඩොයිල් හුදෙක් වෛද්‍යවරයෙක් හෝ ලේඛකයෙක් පමණක් වුයේ නැත. ඔහු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව පවා නියෝජනය කළ දේශපාලන චරිතයකි. 1890 දී කම්කරු පක්ෂ නියෝජිතයකු ලෙස ඔහු ඉදිරිපත් වූ අතර එවර ඔහු පරාජයට පත් වූවේය. නමුත් 1906 වසරේදී ඔහුට ගෞරව සාමාජිකත්වයක් සහිතව මැතිවරණයකින් තොරව පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාව උදාවිය.


කොනන් ඩොයිල් වෘත්තියෙන් අක්ෂි සම්බන්ධ වෛද්‍යවරයෙක් වූ නමුත් තමාව හමු වීමට එකදු රෝගියෙක් හෝ පැමිණ නැති බව ඔහු සිය ස්වයං ලිඛිත චරිතාපදානයේ ලියා ඇත. මේ හේතුව මත ඔහුට ලිවීමට අවශ්‍ය කාලය හිමි වූ අතර ෂර්ලොක් හෝම්ස් බිහි වූයේ එහි ප්‍රතිපලයක් ලෙසයි. යම් හෙයකින් ඔහු ඉතා කාර්යබහුල වෛද්‍යවරයෙක් වූවානම් අද අපට රස විඳින්නට ෂර්ලොක් හෝම්ස් නමින් චරිතයක් නොතිබෙන්නට ඉඩ තිබිණි. 


කොනන් ඩොයිල් යම්තාක් දුරකට මිත්‍යාව සහ මයාත්මක කාරණා විශ්වාස කළ අයකු ලෙස සැලකෙයි. ඒ සම්බන්ධව ලියැවුණු පොත පත ඉතා අසාවෙන් මිලදී ගෙන පරිශීලනය කළ ඔහු ඕනෑම වේලාවක අනපේක්ෂිත ප්‍රාතිහාර්යයන් සිදුවිය හැකි බවට විශ්වාස කළ අයෙකි. නමුත් ඔහු නිර්මාණය කළ ෂර්ලොක් හෝම්ස් චරිතය යනු අවිද්‍යාව ප්‍රතික්ෂේප කළ සහ විද්‍යාත්ම බුද්ධිය මෙහෙයවූ තර්කානුකුල චරිතයකි. 


1893 වසරේදී ඔහු තමා විසින්ම නිර්මාණය කළ අතිශය ජනප්‍රිය චරිතය වූ ෂර්ලොක් හෝම්ස්ගේ චරිතය මරණයෙන් කෙළවර කරන්නට කටයුතු කළේය. එය ඒ වකවානුවේ ඉතා ආන්දෝලනයකට තුඩු දුන් කාරණාවක් වූ අතර පාඨකයින් සිය අප්‍රසාදය පළකොට ඔහුට ලිපි දහස් ගණනින් ඒවා ඇති බවද පැවැසේ. එම වකවානුව වනවිට ඔහු තරමක් මානසික පසුබෑමකට ලක්ව සිටි අතර තදින් මත්පැන් පානයටත් ඇබ්බැහි වී සිටියේය. සිය පියාගේ වියෝවෙන් ඔහු දැඩි කම්පනයකට පත්ව සිටි නිසා එසේ වන්නට ඇතැයි පැවැසේ. නමුත් වසර දහයක් ගිය තැන නැවතත් ඔහු ෂර්ලොක් හෝම්ස්ගේ චරිතයට පණ දෙන්නට තීරණය කළේය.වෙළඳපොළ තුළ ෂර්ලොක් හෝම්ස් නම් චරිතයට තිබූ දැඩි ඉල්ලුමත්, පාඨක ඉල්ලීම් ආදියත් සලකා බලා ෂර්ලොක් හෝම්ස් මරණයෙන් ගැලවුණු ආකාරය ඔහු ලියා පළකළේය. 


සර් ආතර් කොනන් ඩොයිල් 1930 වසරේදී හෘදයාබාධයකින් මියගියේය. මියයන අවස්ථාවේ ඔහු සිය ගෙවත්තේ ඇවිදිමින් සිටි අතර එක් අතකින් කුඩා මලක්ද අනෙක් අතින් සිය පපුවද අල්ලාගෙන එක්වරම බිම ඇදවැටී ඇත. අවසන් මොහොතේ ඔහු සිය බිරිඳට මෙසේ කියූ බව සඳහන්ය. " ඔබ හරිම ලස්සනයි"


___අයේෂ් ලියනගේ___




1 comment:

  1. | මෙච්චර දෙයක් දැනන් හිටියෙ නෑ..ඊලඟට 100 film එක ගැන හොද විචාරයක් බලාපොරොත්තු වෙනවා..

    ReplyDelete

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators