Friday, April 27, 2018

නිහඬ සිත්තරා



ගාලු කොටුවේ රැම්පාර්ට් තීරය සංචාරකයන්ගෙන් පිරිලා තිබුණා. ඒ දෙසැම්බරයේ එක දවසක්. හවස පහත් හයත් අතර මම රැම්පාර්ට් තීරයේ ඇවිදිමින් හිටියා. ගාලු කොටුවේ ඇවිදින කෙනෙක්ට ඇවිදින්න තියෙන්න හොඳම වෙලාව ඒක. ඒ වෙද්දී බටහිර පැත්තෙන් ඉර බැහැගෙන යනවා. අහසේ එක තීරයක් තද රතු පාටයි. ඒ දර්ශනය දකිද්දී පින්සල් පාරකින් ඇඳපු දිය සායම් චිත්‍රයක් මතක් වෙනවා. 


සංචාරකයෝ රැම්පාර්ට් තීරයේ තැනින් තැන ඇවිද්දා . සමහරු බෙන්ච් උඩ වාඩි වෙලා අහස දිහා සමවැදිලා වගේ බලන් ඉන්නවා. තවත් සමහරු කට්ටි පිටින් සෙල්ෆි ගන්නවා. තවත් අය තමන්ගේ කැමරාවෙන් ඇහැ යන යන තැන්වල ජායාරූප ගන්නවා. ඔය අතර මගේ ඇහැ ගැටුණේ වෙනස්ම මනුස්සයෙක් ළඟ. ඒ චිත්‍ර ශිල්පියෙක්. ලංකාවේ චිත්‍ර ශිල්පියෙක් නෙමෙයි. විදෙස් චිත්‍ර ශිල්පියෙක්. ගාලු කොටුවේ ගල් බැම්මක් ළඟට වෙලා කැන්වස් රඳවනයක් තියාගෙන, තෙල් සායම් පැලට් එක අතේ තියාගෙන ඔහු හැලහොල්මනක් නැතුව චිත්‍රයක් අඳිනවා. ඔහුගේ වටේ ඉඳගෙන කීප දෙනෙක් බලන් ඉන්නවා. 


මමත් ඔහු ළඟට කිට්ටු කළා. තෙල් සායම් පැලට් එකේ තිබුණේ වර්ණ කීපයක් විතරයි. ඒ වෙද්දීත් ඔහු චිත්‍රයෙන් භාගයකටත් වඩා ඉවර කරලා තිබුණා. සිත්තරා අඳින්නේ හැන්දෑවේ අහස. ටික වෙලාවකට කලින් මට මතක් වුණු දිය සායම් චිත්‍රය තෙල් සායම් චිත්‍රයක් වෙලා මගේ ඉස්සරහා මැවිලා තියෙනවා. සිත්තරා අඳින විලාසය බලන් ඉන්න හිතෙනවා. ඔහු වටපිටේ ඉන්න කිසි කෙනෙක් දිහා බැලුවේ නෑ. අහස දිහා බලනවා. කැන්වස් එක දිහා බලනවා. අඳිනවා. මිනිස්සු ඒ දිහා බලනවා. නයිස් වර්ක්. සමහරු ඉංග්‍රීසියෙන් එහෙම කියාගෙන ගියා. 


ඔහුට එහා පැත්තේ හිටියා ගෑනු කෙනෙක්. සැරයක් දෙසැරයක් එයා සිත්තරා එක්ක හස්ත මුද්‍රාවෙන් කතා කළා. ඊට පස්සේ ඒ ළඟම ඉඳපු ලංකාවේ කෙනෙක්ට පැහැදිළි කළා. ඒ වෙලාවේ මට තේරුණා මේ සිත්තරා කතා කරන්න බැරි මනුස්සයෙක් කියලා. ඒ ළඟ ඉඳපු ලංකාවේ මනුස්සයා ගයිඞ් කෙනක් වෙන්න ඇති. මම ඔහුට කිට්ටු වෙලා මේ මනුස්සයා ගැන ඇහුවා. 


මෙයාගේ නම අන්තෝනියෝ. ඉතාලියේ ඉඳන් ඇවිල්ල ඉන්නේ. මෙයාට ඉපදුණු කාලේ ඉඳන්ම කතා කරන්න බැරිලු. පොඩි කාලේ ඉඳන්ම චිත්‍ර ඇඳපු කෙනෙක්. 


එතකොට මෙයාගේ රස්සාවත් මේකමද ?


මෙයා ඒ රටේ එයා වගේම අබාධිත ළමයින්ට චිත්‍ර උගන්නන ගුරුවරයෙක්ලු. හැම අවුරුද්දකම මෙයා කොහේ හරි රටක ගිහින් භුමි දර්ශන චිත්‍ර අඳිනවා. ඊට පස්සේ එයාගේ රටේ චිත්‍ර ප්‍රදර්ශන තියනවලු. ඒ ලැබෙන සල්ලිවලින් කොටසක් මේ වගේ අබාධිත ළමයි වෙනුවෙන් වැඩ කරන ආයතනවලට දෙනවා. එයා මේ අවුරුද්දේ තෝරාගෙන තියෙන්නේ ලංකාව. මේ මාසේ අග මෙයා ආයේ ඉතාලියට යනවා. 


ගයිඞ් මහත්තයා අන්තෝනියෝ ගේ විස්තරේ ඔය විදිහට කිවුවා. ඒ වෙද්දී ටිකක් අඳුර වැටිලා තිබුණා. අන්තෝනියෝ එයාගේ සිතුවම අවසන් කරලා තිබුණා. ටික වෙලාවකින් තමන්ගේ කළමනා ටික අකුලගත්ත ඔහු යන්න ලෑස්ති වුණා. ඒ වෙලාවේ තමයි අන්තෝනියෝ වටේ ඉන්න අය දිහා බැලුවේ. ඔහු හැමෝටම හිනාවකින් සංග්‍රහ කරලා අත වනලා යන්න ගියා. රෑම්පාර්ට් එකේ ඈතට ඈතට යද්දී අන්තොනියෝගේ රූපෙත් චිත්‍රයක් වගේ පෙනුණා. කිසිම හඬක්වත් පිට කරන්නේ නැතුව මිනිස්සු වෙනුවෙන්,සමාජෙ වෙනුවෙන් නිහඬව ආදරය කරන මිනිස්සු කොයි තරම් මේ ලෝකේ ඉන්නවද? මට එහෙම හිතුණා.


අයේෂ් ලියනගේ

( මෙය රිවිර පුවත්පතේ "ෆැන්ටසි ලේන්" අතිරේකයේ මීට ඉහත පළවූ ලිපියකි )


No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators