Saturday, October 20, 2018

කවුද මේ කශෝගී...???

මේ දිනවල බටහිර මාධ්‍ය අතර කතාබහට ලක්වෙන වඩා විවාදාත්මක මාතෘකාව වන්නේ මාධ්‍යවේදී ජමාල් කශෝගීගේ ඝාතනයයි. මේ වනවිට එය සැබෑවටම ඝාතනයක් බව සෞදි රජය පිළිගෙන තිබේ. උපතින් සෞදි ජාතිකයකු වන කශෝගී 2017 වසරේදී සෞදි රාජ්‍යයෙන් පිටව ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචියට පැමිණි අයෙකි. එසේම වොෂිංටන් පොස්ට් සහ නිව් යෝර්ක් ටයිම්ස් වැනි පුවත්පත්වල තීරු ලිපි ලියන්නෙක් ලෙස ප්‍රකට වූ ඔහු සෞදි රජයත් රජ පවුලත් විවේචනය කිරීම හේතුවෙන් සෞදියේ රාජ උදහසට ලක් වූවකු ලෙසත් ප්‍රකටය. ඔක්තෝබර් මස 2 වැනිදා කශෝගී ඝාතනය වන්නේ තුර්කියේ පිහිටි සෞදි කොන්සල් කාර්යාලය තුළදීය. ඒ සිය සෞදි බිරිඳගෙන් දික්කසාද වීමට අදාළ ලියැකියවිලි ගෙන ඒමට කොන්සල් කාර්යාලටය පැමිණි අවස්ථාවේදීය. එය ලෝකයෙන් වසන් කිරීමට සෞදි රජය කොතෙකුත් උත්සාහ දැරුවද අන්තර්ජාතික මාධ්‍ය කළ මහා මෙහෙයුම හමුවේ එය නිෂ්පල උත්සාහයක් බවට පත්විය. අදවනවිට එය ඝාතනයක් බව පිළිගන්නට සෞදි රජයට සිදු වී ඇත. මේ සටහන ජමාල් කශෝගීගේ ජීවිතය පිළිබඳ සංක්ෂිප්ත පසු විපරමකි. 



              


කශෝගී උපත ලැබුවේ 1958 වසරේ ඔක්තෝබර් මස 13 වැනිදා සෞදි අරාබියේ මෙඩිනාහිදීය. ඔහු එරට ප්‍රභූ පවුලක සාමාජිකයකු ලෙස සැලකේ.


1982 වසරේදී ඔහු ඇමරිකාවේ ඉන්ඩියානා රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන් සිය ප්‍රථම උපාධිය සම්පූර්ණ කරගත්තේය. ඒ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධියකි. 


ජමාල් කශෝගී තුර්කි සම්භවයක් ඇත්තෙකි. ඔහුගේ සීයා සෞදි රජු වූද , සෞදි රාජ්‍යයේ නිර්මාතෘ වූද Ibn Saud රජුගේ පෞද්ගලික වෛද්‍යවරයා ලෙස සේවය කළ පුද්ගලයාය.


පසුකාලීනව සෞදි රජය විවේචනය කළද මුල් වකවානුවේ ඔහු ඉස්ලාම් අන්තවාදී මත දරන්නකු ලෙස ප්‍රකටව සිටියේය. පලස්තීනයේ හමාස් සංවිධානයට උදව් උපකාර කළ ඔහු ඇමරිකානු ප්‍රතිපත්ති විවේචනය කළ අයෙකි.


මාධ්‍යවේදියකු වීමට පෙර ඔහු පොත් ප්‍රකාශන ආයතනයක ප්‍රාදේශීය කළමනාකරුවකු ලෙස සේවය කළේය. 


බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරිය මෝටර් රථ අනතුරකින් මියයන අවස්ථාවේ ඇය සමඟ සිටි ඇයගේ අනියම් පෙම්වතා බව කියන Dodi Fayed යනු කශෝගීගේ ඥාති සොයුරෙකි.


සෞදි ගැසට් පුවත්පතේ ප්‍රාදේශීය වාර්තාකරුවකු ලෙස මාධ්‍ය වෘත්තියට එළැඹි ඔහු අනතුරුව මාධ්‍ය ආයතන ගණනාවක සේවය කොට 2003 වසරේදී "අල් වටාන්" පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙස පත්විය. 2017 වසරේ සෞදි අරාබිය හැර යනතෙක් ඔහු එරට සහ අරාබිකරයේ මාධ්‍ය ආයතන ගණනාවක ප්‍රධානියකු ලෙස සේවය කළේය.


ජමාල් කශෝගී අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන්ගේ පෞද්ගලික හිතවතකු බවද පැවසේ. සෝවියට් හමුදා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළ සමයේ කශෝගී මුල්වරට ඔසාමා බින් ලාඩන් සමඟ සම්මුඛ සාකච්ජාවක් පැවැත්වීමට ඇෆ්ගනිස්තානයට ගොස් තිබේ. බින් ලාඩන් සාම ප්‍රවාහයට ගෙන ඒමට කශෝගී අවස්ථා ගණනාවකදීම දැඩි වෙහෙසක් ගෙන තිබේ. 


පසුකාලීනව රැඩිකල් මතදාරියකු ලෙස ජමාල් කශෝගී කැපී පෙනුණි. Democracy for the Arab World නම් වූ දේශපාලන සංවිධානයේ ආරම්භකයා වන්නේද කශෝගීය.


සෞදි අරාබිය තුළ භාෂණයේ හා ලේඛනයේ නිදහස වෙනුවෙන් හඬ නැගීමත්, ඔටුන්න හිමි සල්මාන් කුමරුගේ ඇතැම් ක්‍රියා විවේචනය කිරීමත් හේතුවෙන් ඔහු අවසන් කාලයේ සෞදි උදහසට ලක් වී සිටියේය. මෙම ඝාතනයට මුල් වූ ප්‍රධානතම හේතුව එය බව පැහැදිළිය. සෞදි රජය මෙය ඝාතනයක් බව පිළිගැනීමත් සමඟ ඉදිරි ක්‍රියාමාර්ග කුමක් වනු ඇත්දැයි කියා ලෝකයම විමසිල්ලෙන් බලා සිටී.


අයේෂ් ලියනගේ



No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators