Friday, April 12, 2019

කළු කුහරයේ රහස් හෙවූ ගණන්කාරිය


අභ්‍යවකාශ විද්‍යාවේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් පසුගියදා ඉතිහාසයේ පළමු වරට කළු කුහර නැතිනම් Black hole හි ජායාරූපයක් කාචගත කරගැනීමට විද්‍යාඥයින් සමත් වුණා. මෙය අභ්‍යවකාශ විද්‍යාවේ සේම මානව ඉතිහාසයේද විශාල පිම්මක් බව බොහෝ විද්‍යාඥයින්ගේ මතය වී තිබෙනවා. බොහෝ කාලයක පටන් සංකල්පයක්ව තිබූ කළු කුහර මානව ඇසින් දකින්නට ලැබීම සැබැවින්ම විශ්මයක්. මේ ව්‍යාපෘතිය පිටුපස සිටි විශිෂ්ටයින් ගොන්නක් අතරේ සිටි එක් තරුණියක් පිළිබඳව මුළුමහත් ලෝකයේම ජනමාධ්‍ය අවධානය යොමුකොට තිබුණා. ඇය නමින් කැටී බෝමන්. 

කවුද මේ කැටී ?



2016 වසරේ ලෝ සුප්‍රකට මැසචුසෙට් තාක්ෂණ සරසවියේ ආචාර්ය උපාධියට සූදානම් වෙමින් සිටි කැටී බෝමන් නවෝත්පාදක පිළිබඳ සංවාද සිදුකරන TED x Talk නම් ප්‍රකට වැඩසටහන අතරතුරදී කළු කුහරයක් ජායාරූපගතකරන්නේ කෙසේද යන්න ලෝකයාට පැවසූ ශිෂ්‍යාවකි. ඇය එහිදී කළු කුහරයක් ජායාරූපගත කිරීමට අවශ්‍ය සැලැස්මක් ඇල්ගෝරිතම් ගණිත ක්‍රමයකින් ලෝකයාට පෙන්වූවාය. එතැන් සිට වසර තුනක් ඉක්ම ගිය තැන මානව ඉතිහාසයේ පළමු වරට කළු කුහරයේ ජායාරූපය දකින්නට ලෝකයාට අවස්ථාව හිමිවිය. එම මෙහෙයුම සිදුවූයේ කැටී බෝමන් ඇතුළු ඇයගේ කණ්ඩායම ඉදිරිපත් කළ එකී ගණිත ක්‍රමයට පිංසිදු වන්නටය.




ව්‍යාපෘතිය සාර්ථකයි -


අප්‍රේල් මස 10 වැනිදා Event horizon telescope ව්‍යාපෘති කණ්ඩායම සිය අත්හදාබැලීමේ සාර්ථක ප්‍රතිපලය ලෝකයට හෙළි කරමින් දැවැන්ත කළු කුහරයක ජායාරූපය ප්‍රසිද්ධ කළේය. එය ඔවුන් හැඳින්වූයේ A super massive black hole යන අරුතෙනි. පෘතුවිය වටා ඇති අධිතාක්ෂණික දුරේක්ෂ කැමරා අටක් ඒ වෙනුවෙන් යොදාගෙන තිබූ අතර තාරකා විද්‍යාඥයින්, භෞතික විද්‍යාඥයින්, ගණිතඥයින් සහ ඉංජිනේරුවන් දෙසීයකගේ ශ්‍රම දායකත්වයෙන් මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගෙන ඇත. 



කැටීගේ භූමිකාව -


බිබීසී සේවය වාර්තා කරමින් කියා සිටියේ කැටී MIT ශිෂ්‍යාවක්ව සිටි අවධියේ සිටම මෙම ව්‍යාපෘතිය හා සම්බන්ධව සිටි බවකි. එහිදී ඇය සහ ඇයගේ කණ්ඩායම සංස්ලේෂණ දත්ත සමීක්ෂණය කරමින් ව්‍යාපෘතියට අවශ්‍ය ගණිතමය සහාය ලබා දුන්නාය. මෙහිදී ගණනය කිරීම් සිදුවූයේ petabytes සමීකරණ අනුව වූ අතර එය ඉතා සංකීර්ණ ගණිත ක්‍රමයක් බවද පැවසේ.


එහිදී ඇය ඇල්ගොරිතම් ක්‍රම ගණනාවක් අධ්‍යයනය කරමින් CHIPR ඇල්ගොරිතම් ක්‍රමවේදය ඔස්සේ තව තවත් පර්යේෂණ සිදු කළ බව CNN පුවත් සේවයට පවසා ඇත. 




ජයග්‍රහණය බෙදාගත් කැටී -


ඇයගේ භූමිකාව පිළිබඳව මාධ්‍ය විමසූ අවස්ථාවේ ඇය ඉතා නිහතමානීව මෙසේ පැවසුවාය.



" කාටවත් මේ ව්‍යාපෘතියේ තනි අයිතියක් හිමි නෑ. අප වටා හැම අංශයකම විශිෂ්ටයින් ගොන්නක් සිටියා. ඔවුන් සියලු දෙනා මේ ජයග්‍රහණයේ කොටස්කරුවන්."



තවමත් 29 හැවිරිදි වියේ පසුවන කැටී කැලිෆෝනියා තාක්ෂණ ආයතනයේ සහකාර මහාචාර්යවරියකි. ඇය අනාගතයේ තව තවත් නව මානයන් ඔස්සේ ලෝකය වෙනුවෙන්, තාක්ෂණය වෙනුවෙන් නව සොයාගැනීම් සිදුකරනු ඇත. එපමණක් නොව තරුණියක ලෙස ලෝකයාට ඇය පණිවිඩයක්ද දී ඇත. ලෝකය ජය ගන්නට , විශ්වය ජය ගන්නට ස්ත්‍රී පුරුෂ සමාජභාවය තවදුරටත් කේන්ද්‍රීය සාදකයක් නොවේ. ඔබ ඔබේ දැනුම විශ්වාස කරන්න.


___අයේෂ් ලියනගේ___




No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators